‘මරපිය, මරපිය’ කියලා හිටං.
මාත් විග විගහට එතෙංට කිට්ටු කොරාම දැක්කේ වියත් දෙකක් විතර ඇති පළා පොළගෙක් ගල් බැම්ම දිහාවට ඇදෙනවා. උක්කුං එක්ක අමරේ බලාන උගේ විස්තරේ කියනවා. පාට ගැන කියනවා, පුල්ලි ගැන කියනවා. තව එකෙක් පොල්ලක් හොයනවා. තව කලුවා, ගල් ගෙඩියක් උස්සං එනවා. මමත් පොළගා දිහා බලාන. ඌ ඇදුනා බැම්ම අස්සට. ආයේ හොයනවා බොරු. පොළගා වහංවුන බව දැක්ක රාළහාමි බාප්පා කියනවා,
‘ඕකට තමයි බොලව් කියංනේ, විස ගෝර සරුපයා දැක නෑර මෝඩයා. කියලා.’
බාප්පම ඒක විස්තර කොරංට ගත්තා.
‘ඒකේ තේරුම සරුපයෙක් දැක්කම මෝඩයෙක් යවංට එපා කියන එක. මෝඩයා සරුපයා නොමරා වෙන දේවල් කොරනවලු. උගේ රූප ලක්සන කියවනවලු. සරුපයා ඒ අතරේ. නොදැනිම වහංවෙනවලු. තොපි වගේ මෝඩ රැලක් යවපු හංදා නෙව බොලව් ඌ යහතිං ගියේ. හරිහමං එකෙක් යැව්වනං හෙම සරුපයාව මරලා.’
රාළහාමි බාප්පා ඒක, ඒ කියංනෙ ,
‘විස ගෝර සරුපයා දැක නෑර මෝඩයා’
කියන එක තේරුං කොරව්වේ ඔහොම. සරුපයෙක් දැකලා ඌව මරංට මෝඩයෙක් යවංට එපා කියලයි උංදෑ කීවේ. රාළහාමි බාප්ප කීව පැහැදිලි කිරීම ලියලා පෙංනනවනං හෙම ඒකට පිල්ලං යොදංට වෙංනෙ මෙහෙම.
‘විස ගෝර සරුපයා දැක, නෑර මෝඩයා’
තව දවසක් සරුපයෙක් මරපු විලියොං, බලාන උංන උං දිහාවට හැරිලා උඩ වාක්කිය කිව්ව විදිහ තේරුං කොරංට නං ඒකට පිල්ලං යොදංට වෙන්නේ මෙහෙම,
‘විස ගෝර සරුපයා, දැක නෑර මෝඩයා’
“සරුපයෙක් දැක්කොත් ඌව නොමරා මිස යවංට එපා මෝඩයෝ” ඒකයි ඒකෙං අදහස් කොරව්වේ.
අනෙක් අතට සරුපයා මැරුව එක සමාජ යහපතක් වග ඒ කියපු විදිහෙං ඇගෙව්වා. කොහොමිං කොහොම හරි උඩ කියාපු තැං දෙකේදිම කොරව්වෙ “සරුපයෙක් දැක්කොත් මරාපියව්” කියන එකමයි.
ආරච්චි මාමාගේ තුං මාසේ දානෙට වැඩියේ “වටගොඩ විපස්සී” හාමුදුරුවෝ. මාත් ගොහිං උංනා බණ අහංට. විපස්සී හාමුදුරුවෝ බණ කීවේ අමුතුම තාලෙකට.
‘සුපිංවතුනි සප්ත මහා සා...ගරේ; ඉමක් කොනක් නෑ..............’
එහෙම කියලා හිටං උංවහංසේ ටිකක් නිස්සද්දව ඉංනවා. ආයේ ඒ කොරලා හිටං මෙහෙම කියනවා,
‘මම ගියෑයිං දංනවා.’
ඒ කොරලා දිගටම පුදුම ලස්සන උපහැරනත් එක්ක හරිම වටින දර්ම කරුනු එකතු කොරලා සංසාරේ කොතරම් දිගද කියන වග තේරුං කොරනවා. උපාසක අම්මලා “සාදු, සාදු” කියනවා.
එළියට වෙලා අහං ඉංන “නුගපිටියේ ගෙදර ජයතුවා” ළග ඉංන උගෙ නඩේ උංට කියනව.
‘විපස්සි හාමුදුරුවෝ ඔය මුහුදෙ ගොහිං තියෙන වග නෙව කියංනේ’ කියලා ඒ කොරලා හිටං ‘හැක් හැක් හැක්’ ගගා හිමීට හිනාවෙනවා.
විපස්සී හාමුදුරුවෝ දිගටම දර්ම කරුණු කියන ගමං ආයෙත් කියනවා,
‘මේ සුපිංවතුං දැනගංට ඕනේ; එංගලංතේ කියලා රටක් තියෙනවා.............’
එහෙම කියලා හිටං උංවහංසේ ආයෙත් ටිකක් නිස්සද්දව ඉංනවා. ආයේ ඒ කොරලා හිටං මෙහෙම කියනවා
‘මම ගියෑයිං දංනවා.’
උපාසක අම්මලා ‘සාදු, සාදු’ කියනවා. ජයතුවා,
‘හැක් හැක් හැක්’ ගගා හිමීට හිනාවෙනවා.
ඉතිං බොලව් විපස්සී හාමුදුරුවොත් කිව්ව කියාපල්ලකො සරුපයි මරංට කියලා, අර පද ටික තව පදත් දාල හෙම, ඒ බණ ගෙදරදීම මෙංන මෙහෙම,
පොළොව පිට තුඹසයා
තුඹස තුළ නාගයා
විස ගෝර සරුපයා
දැක නෑර මෝඩයා
උපාසක අම්මලා ‘සාදු, සාදු’ කිව්වා. විලියොං හිනාවෙලා ඔලුව හෙල්ලුවා. රාළහාමි බාප්පා කට කොනෙං හිිනාවෙලා කොල්ලො දිහාව බැලුව. ජයතු ඇස් ලොකු කොරං බලං උංනා. විපස්සී හාමුදුරුවෝ කියනවා.
‘සුපිංවතුනි, ඕක දහං ගැටයක්. මේ මනුස්ස ජීවිතේ නැත්තං මේ බඹයක් තරං සරීරේ තමයි පොළොව පිට තියෙන තුඹස; ඒ තුඹසේ ඉංන නාගයා තමයි, මේ අපි හැමටම තියෙන නොහික්මුන නොදැමුන හිත; මේ හිත බෝම වියාකූලයි ප්‍රතක්ජනයිංගේ; ඉතිං මේක නාගයෙක් වගේ, වයිර , ද්වේස, මෝහ මේ හැම විසක්ම පිරිලා. අංන ඒ විස ගෝර සරුපයා අදුනගෙන එහෙම නැතිනම් දැකලා; මෝඩයෙක් වගේ අහක බලාගංට එපා. මේ සුපිංවතුං මේ හිත නමැති විස ගෝර සරුපයා දමනය කරංට ඕනේ. එහෙම නොකරන එක තරං මෝඩකමක් තවත් නැහැ......’
මට ආයිබොවං, විලියොං ගැනයි, රාළහාමි බාප්ප ගැනයි දුක හිතුනා. මම ඒ පැත්තවත් බැලුවේ නෑ. මේ දහං ගැටේ නොදැන අපේ විස ගෝර හිතට ඉඩ දීලා අපි කොයිතරං නං මිහිපිට උංන සරුපයි මරා දාල ඇතිද? හැබෑ සරුපයා තාම තංනාව, ආසාව විසිං ගොඩ නැගුව හුබහක් වගේ තියෙන අපේම සරීරේ ඇතුලේ නෙවෙද?