Showing posts with label හුණු කිල්ලෝටය. Show all posts
Showing posts with label හුණු කිල්ලෝටය. Show all posts

Wednesday, April 13, 2011

උදාවන අලුත් අවුරුද්ද...............................

 ‘අහේතු කාලෙන කජ්ජේන පුහුලං’ ලු නොවෑ.


එහෙම කීවේ මොකෑ කියල දංනවද? මහනුවර දිහාවෙ යංට එපෑයෑ බොලාලා අවුරුදු බලංට. නුවර වීදී යටකොරං හිටං මහා ජන සංනිපාතේ.  මේ අද ඊයේ දවස් ටිකට දැක්ක දේවල් ටිකක් උඹලට කියංට; උංදැලැනං කයි බොලව් අවුරුදු, අවුරුදු ගානකටම ඇතිවෙංට.


උඹලට කියංට පහුංදාක නුවර මාර්කැට්ටුව ඇතුලේ කිරි සප්පයෙකුත් වත්තං කොරා ගත්තු ගෑණීයක් තොර තෝංචියක් නැතුව කරේ දා ගත්තු බෑග් මල්ලකුත් මිනිස්සුංට පෙංන පෙංනා ‍විලාප තියනවා. ඒ ඇත්ති‍ගේ ගංතුලානෙ ගතිය ඇදුං කඩමාලුවල ඉදං සර්වාංගෙංම පේනවා. බෑග් මල්ල කපල හිටං ඇතුලෙ තිව්ණ රුපියල් හත්දාහක්ම හොරකං කොරලලු බොලව්. අවුරුද්දට අඩු වැඩිය ගෙනියංට තිවුණ සල්ලි කියංනෙ. මිනිහෙක් සතෙක් කෑ මොර දෙංනේ මොකෑ කියලා විපරං කොරන එක අපේ රටේ ඇත්තංගෙ ජංම ගතියක් නෙව.  ඉතිං මේ ගෑණු උංදෑ දිහත් මේ මොකෑ කියලා  යන එන ඈයො බලනව. බැග් මල්ල කපලා හිටං අසමත්ජාතියෙක් සල්ලි ටික අරං විත්තිය කණ වැටුනම කවුරුත් කොරව්වේ මොකක්ද කියලා දංනවද? ගෑණූ උදවිය තමංගෙ බෑග් මල්ල ආරස්සා වෙලා තියෙනවද බැලුව. පිරිමි උදවියත් පස්ස පැත්තට තට්ටු කොරලා පොකැට් එක තියෙනවද බැලුව.  ඒ වුනාට මොකෑ රුපියල් හත්දාහ ගත්තු එකානං හොදට අවුරුදු සමරංට ලක ලෑස්ති වෙනවා ඇති මයෙ හිතේ.

අනිත් අතට ටවුමෙ ඇදුං කඩවලයි සුපැර් මාර්කැට්වලයි උංනු මිනිසු කංදරාව. මම දැක්ක නෙව,  මේ නුවර උං ගත්තු ඇදුං ආයිත්තං විතරක් යෑ අඩුම කුඩුම කෝකටත් හිලව්වෙංට දුංනෙ දාහ දෙදාහෙ කොළ නෙව. හප්පා...... බලාන ඉංදැංදිං ලාච්චු පිරිල ඉතිරෙනව  නෝට්ටු කොලවලිං.  මුදලාලි ඇත්තොලනං කයි අවුරුදු; අවුරුදු ගානකටම ඇතිවෙංට.


මේ දොලොස්වෙනිදා හවහ නගරෙදි දැකපු දෙයක් අහපල්ලකො. අවුරුදු අටේ දහයෙ තරමේ දරුවො දෙංනෙකුත් එක්කං උංගෙ අම්මයි අප්පයි ටවුමට අවුදිං. අවුරුද්දට අඩුම කුඩුම ගෙනියංට. මෙච්චර වෙලා එක්කහු කොර ගත්තු දේවල් පොඩි බෑග් මලු දෙකක දාගෙන හිටං පොඩි උං දෙංන එල්ලං ඉංනව. මුං උංනෙ රත්තරං බඩු කඩයක් ළග. මේ කොල්ලංගෙ අප්පගේ අල්ල උඩ ගෑනී ගලවල දුංනු කරාඹුවක්. මිනිහා අත දික්කොරං ඉංනව. ගෑණී අනෙක් කණේ කරාඹුවත් ග‍ලවනව. ‍උනුත් කයි අවුරුදු; අවුරුදු ගානකටම ඇතිවෙංට. නේද ආයිබොවං.

කොළඹ වීදියෙද කොහෙද තියෙන කැවිලි කඩේ අතිරස, මුං කැවුං ගංට තිවුන තදබදේ දැක්කනං. අනිත් අතට රටබීම සාප්පු ළග තදබදේ. වෙන මොකටද ඉතිං ඒවත්, අවුරුදු ගානකටම ඇතිවෙංට අවුරුදු කංට මිසක්.


---------------------------------------------
ඒ සංදියේ මේ ගංවල අවුරුද්ද පටං ගත්තෙ මෝඩයගෙ දවසටත් කලියෙං ආයිබොවං. අවුරුද්ද ගැන පයිංඩෙ කොහා කියංටත් කලියෙං කුට්ටම අනංට පටං ගංනවා ගොරක ගහ මුල. හයිය හක්තිය තියෙන ගස්වල ඔංචිල්ලා. වැඩියෙංම ඔංචිල්ලා බැංදෙ සියඹලා ගස්වල. රතිංන පුපුරණ සද්දෙ ඒ අස්සේ වටපිටාවෙ අවාරෙට පොල් වැටෙංනැහෙ ඇහෙංට පටං ගංනවා ඕං.  අංතිමෙ බක්මහ අකුණු ගානට හරි හරියට තරගෙට රතිංනා සද්දේ. ඒ විතරක් යෑ අතිරහ, මුං කැවුං, කොකිස් බැදෙන සුවද. ඔංන ඕවා දැක්කට දැණුනට පස්සෙං පහු තමයි කොහාටත් මතක්වෙංනෙ හුරුවං බාංට කාලේ නොවෑ කියල හිටං. කෝරලේ ගෙදර එරබදු ගහේ මල් පිපෙංට ගංනෙත් ඊට පස්සෙං පහුයි කියමුකෝ.


ඒව ඔක්කෝම ඔය කීව විදියට සිද්ද වෙලා දැං වැඩි කාලයක් නෑ බොලව්. ගොරක ගහ කපල දාලා දැං අවුරුදු පාලොහක්  විතර ගෙවුන. ගම පුරාම තිව්න සියඹලා ගස් පෝරණුවලට දරට කැපුව. මිනිසුන්ට ඒවයෙ තිව්න වටිනාකම අමතක වුනැයි කියමුකො.  මේ වෙනතුරා කොහා අහල ගං හතකවත් හුරුවං බානවා මටනං ඇහුනෙ නෑ ඕං. ඒ විතරක් යෑ රේඩියෝ ටෙලිවිෂොංවල කීවට පෙන්නුව ඇරෙංට එරබදු මලක් ඇහැ ගැටුනෙනං නෑ බොලව්.


දැං සොබාදර්මෙං කොහා වදවෙංට අරංලු. එරබදු මල් පිපෙං නැති එකටත් අපේ රටෙ මහදැනමුත්තො එක එක කයි කතංදර කියනවා උඹලත් දකිංට ඇති, අහංට ඇති, කියවංට ඇති මයෙ හිතේ. ඉතිං ආයිබොවං මට නං හිතෙංනේ ගංවල මිනිස්සුංට අවුරුද්ද දැනෙන හැටි වෙනස් වෙලා. එහෙමත් නැත්තං අවුරුද්ද එක්ක මිනිස්සු ජීවත්වෙච්චි රටාව වෙනස් වෙලා. මේ වෙනස සොබාදර්මයාට තේරුං ගංට බෑ. මේක කොහාට දැනෙංනේ නැතුව ඌ කොහේ හුරුවං බාංටද. එරබදු ගහට ඒ වෙනස තේරුංගංට බැරිකොට කොහෙද ආයිබොවං එරබදු ගහේ මල් පිපෙංනෙ. ඒ කාලේ අලුත් අවුරුද්දට මිනිස්සු හැබෑවටම සතුටු වෙනවා දැකපු සොබාදර්මයා මිනිසුත් එක්කං සතුටු වුනා. අවුරුද්දක් වියහියදමට තියෙන මිළමුදල අවුරුද්ද වෙනුවෙං වියහියදං කොරංනෙ අපෙ ඇත්තෝ හැබෑ සතුටකිංද? ඒකාලේ කැවුං ගෙඩියක් හදලා, ඇදුමක් කැඩුමක් අරං, රතිංනයක් දාල, ඔංචිල්ලාවක් නැත්තං රබං පදයක් ගහලා , දොළහ පෙතක් හරි ඔළිද ලෑල්ලක හරි කිරීඩාවක් කරල හිටං හීනියට ලබපු  සතුට මැද්දට කොයි තරංනං දේවල් බාහිරිං රිංගලාද ආයිබොවං


---------------------------------------------------
ඒ කොහොමිං කොහොම වුනත් අයිබොං  එරබදු ගහ මලිං බර කරංට තරමටම, කොහා හුරුවං බාංට පෙළඹෙන තරමටම මේ සිංහල දීපෙ ඇත්තංගේ හිත්වල සතුට ඇතිකරන අලුත් අවුරුද්දක්ම සිද්ද වෙංට කියලා හිටං ගැමියා ප්‍රාර්ථනා කොරනවා එහෙනං.

Friday, November 12, 2010

රා පොළේ කාපියව් බීපියව්




‘කාපියව් බීපියව් සුකාපියව් සුත්ත පිට පෙරලා බලාපියව්.’
ඔය විදිහට කිසිම බයක් හැකක් නැතිව කියවගෙන පාරේ යංට පුලුවං කොයි එකාටද?  ඒත් විලියොංටනං ඒක මහ කජ්ජක් නෙවෙයි බොලව් “නිකලන්දේ රා පොළෙං” සල්ලං වෙච්ච වෙලාවට. විපස්සි හාමුදුරුවෝ එක දවසක් දෙසුවා කලියුගේ ගැන. “ලෝක විනාසෙ වෙංට කලියෙං ඇතිවෙනවයි කියන කලියුගේ ඉංන බේබද්දොත් රාමතෙං කියංනේ බුදු බණ” කියලා හිටං.  බේබද්දා කීවේ ඇබ්බැහියක් විදිහට  සුරා පානෙ කරන එකාට.
විලියොං අරම කියපු වෙලාවක ආයුබොවං මීරුප්පේ ගෙදර මැණිකෙට නහුතෙට තදවෙලා විලියොංට කීව,
‘කුනුහම්බ නොකියා පලයං විලියොං’
 කියලා හිටං. එතකොට රා මතෙංම විලියොං ඔළුව පාත්කොරලා කියාපි,
‘මොන කුනු හම්බයක්ද මැනිකේ; මම කිව්වේ කංට බොංට සැපෙං ඉංට සූත්තර පිටකෙ පෙරළලා බලංට කියලා නෙව, විපස්සී හාමුදුරුවෝ දෙසපු බණක් විනා කුණු හරුපයක් නෙවේ මැණිකේ’
කියලා හිටං. මේකා, මේක ධර්මෙට සම්බන්ද කොරාපි. මීරුප්පෙ මැණිකේ අහකට වුනාට කරබාගෙන, හිතෙං “සාදු සාදු”කියංට ඇති මයෙ හිතේ.
නමෙං “ධර්මසේන” වුන “ධර්මේ”  ගියෙත් නිකලනංදේ රා පොළටම තමයි. බොලව් සුරාව පමාවට හේතුවක්ලු නෙව. පංච සීලෙත් ඒක තියනවනෙ ආයුබොවං. ධර්මෙට ගෑනි, දරු මල්ලො හිටියට පිලිවෙලක් නෑ, හරිහමං විදිහට ගේ දොර නෑ. හරකා බාන හිටියට උංටත් සාත්තුවක් පිලිවෙලකට නෑ. ඒ වුනාට රා මතෙං ධර්මේ කීවේ “සුරාව මද පමනිං ගැනිල්ල පංච සීලෙමුත් අනුමතයි” කියලා හිටං. වෙලාවකට මේකා නාලාගිරිය වගේ බීගත්තම. මේකගේ ඇස් පහදංට විපස්සී හාමුදුරුවංටත් බැරි වුනා නෙව.
නිකලංදට යංට පාර වැටිලා තිවුනේ “මඩිත්තේ ගල් ඒදංඩෙං”  එගොඩට. හවහට ඒ දංඩ පනින එක ගමට වහංවෙලා කොරංට කොයි රා ගුඩ්ඩටවත් පාසු වුනේ නෑ. හැමෝටම කිලියෙං රා   පොළට යංනේ විලියොං. සමහරදාට හෙංදිරික්කා මල් පිපෙන වෙලාවට මේකා රාත් බීලා ගමටත් අවුදිං ගම මැද රා මතෙං වැටිලත් අහවරයි. එහෙව් වෙලාවට ගමේ වුං කියංනේ,
‘මේකා නිකලංදෙ රා සේරම බීලද කොහෙද? අපි ගියාට අද බොංට දෙයක් නැතිව ඇති බොලව් ’
 කියල හිටං.
පුදුමේ කියංනේ ආයුබොවං රාමතේ වැඩිකමට ගම්මැද්දෙම වැටෙංට මුං ඒ දංඩෙං පල්ල නොවැටී මෙගොඩට එන එක. මෙහෙම රා මතෙං දපල ඉංන එවුං දිහා බලලා මීරුප්පෙ මාමා කීව පුරාන සීපදයක කෑල්ලකත් තියෙනවා, 

                             රාමතේ මොටදැ මග පෙරලුමක්     නැතී
ජීවිතේ මොටදැ නෑනා කෙනෙක්     නැතී

කියලා. රා බොනවනංහෙම බොංට ඕනෙලු බොලව්  පාරේ පතබෑවෙංටම. ඒ පදේ හැටියටනං ඒක කියලා තියෙංනේ සහේට ගංට නෑනෙක් නොහිටි එකෙක්. ඒකා රා ගුඩ්ඩෙක්‍ වෙංට ඇත්තේ හෙනං ඒ හිංදා වෙන්ටැ මයෙ හිතේ. ඒ වගේම ගමේ උංට රා බොංට එක එක විදිහේ හේතු කාරනා තියෙන වග උං උං කීවා. විලියොං බීවේ ගම මැද්දට අවුදිං හයිරං පෙංනංට. තිසර රා බීවේ තනිකඩකම නිසාවෙං කියලයි හැමෝම කීවේ. පෙළවහක් කොරාගංට බැරිවුන එකේ දුක නිවා ගත්තේ ඌ ඒකෙං. ලොක්කා බීවේ ඇගේ පතේ වේස නිවා ගංට. ගමේ වෙරවීරීයෙං වැඩකොරන ගොඩක් උංට බොංට මේක හේතුවක් වග පෙනුන. සමහරු පුරස්නවලට බයෙං ඒවයිං වහංවෙංටත් බිව්වා. ඒම උං අදුනගංට ලේසි වුනේ උං කීවා කතාවක්,


"ඕන යකෙක් බයයි බොලව් සුරා යකාට" කියලා හිටං.


ඒත් රනා  බිව්වෙ ගෑණිට තියෙන සෙනෙහෙවංතකමට. මේකට රනාම කතාවක් කියනවා.

“ඉස්සර කාලේ වැද්දෙක් හිටියලු සුරා වැද්දා කියලා. (අපේ සුරා ගුරා හෙම නෙවේ.) මේකා වැද්දෙක්. එක දවසක් මේ වැද්දා කැලේ යද්දිං පිපාසෙ අල්ලලා. මේකාට නෙවේ බොලව් දිය ඇබිත්තක් හම්බවුනේ. ඉතිං බොලව් මේකාට රුප්පාවක ගොට්ට ගැහිලා තිව්න ‍කොලවල පල්වෙච්ච වතුර ටිකක් තිබිලා මේකා මේක බීවා කියමුකො. ඒකෙං මූ මත්වෙංට ගත්තා. හවහ පැලට ගාටලත් මේකට මතේලු. මතේ උනාට බොලව් එකේ තිවුනේ පුදුම සුවයක්ලු. මේකට දැනුන සුවේ කොච්චරද කියනවනම් බොලව් ගැනීත්  තුරුලට අරං ලෝකාස්වාදේ යෙදුනා කියාපල්ලකො. වැද්දගේ ගෑනී කිවලු බොලං ‘මෙපමන කලක් මේක කොරාට අද වගේ සුවයක් දැනුනේ නෑ නොවෑ’ කියලා. එදා ඉදලා මේ සුරා වැද්දා හැමදාම බැද්දට ගාටලා අර පල්වෙච්චි වතුර හෙව්වලු. ඒ වතුර තිව්නේ කිතුල් ගස් යටලු. කිතුල් මල පුපුරලා වැහුන තෙලිදිය නොවැ මේ රුප්පාවේ ගොට්ටෙ පල්වෙලා තියෙංනේ. බොලව් මේ මසුරං වටින අවුසදේ ලැබුන දා ඉදං  වැද්දට රජ මගුල්ලු. වැද්දිගෙනුත් සැළකිලි ලු. රනා ඕක කිය කියා තමයි සුරාවේ ආනිසංස ගැන දොඩව්වේ.”

(හැබැයි රනාගේ ගෑනිත් යස අගේට උංනා තමා සතුටෙං.)

නිකලංදේ රා බොංට තියලා තිව්නේ පොල්කටු. පොල්කටු ගානට තමයි මිළ නියම කොරව්වෙත්. සමහර දවසට කට ගැස්මට මයියොක්කා තිව්නා. පෙළක් උං කට ගැස්මට කියලා ගම්මිරිස් ඇටයක් හක්කෙං හපං රා බිව්වා.

ඉතිං ගමේ සුරා සොඩුංට කල්ප වුක්සේ උනේ කිතුල. කිතුලේ මල පැංනොත් ඉතිං වැඩක් නෑ ඕං. කල් යල් බලලා මල කපලා බෙහෙත් ටික තියා ගංට ඕනේ.  ඔය පොල් ගහ, පුවක් ගහ උහට උහේ හැදෙංට හැදෙංට මලත් ගහේ උහට යනවා. ඒත් බොලව් කිතුල් මල හැදෙංනේ අමුතුම කිරමයකට. ඉස් ඉස්සෙල්ලම මල එංනේ ගහේ මුදුනෙං වෙංට, ඔහොමිං ඔහොම පාතිං පාතට මල් හත අටක්ම වැටුනයිං පහු කරටිය  අහලිං අවසානෙට මල එනවා.

ඉතිං කොහොමිං හරි තලා ගත්තු කිතුල් මලෙං තෙලිජ්ජ ටික මුට්ටියට වැටුනයිං පහුවට  ඒක රා වෙංට පැහෙංට අරිංට ඕනේ. නිකලංදේ ඔය රාජකාරිය බාරදීලා තිව්නේ අපෙ ගමේ හා‍දයෙකුට. මිනිහ දඩු දිග කලු හාදයෙක්. ඌට අප්ප තියාපු නම  “ප්‍රේමවංශ”. කට උරුවට හැමෝම කීවේ “පේංමාංස” කියලා හිටං. මිනිහට නෑහෙංට කීවේ “දඩු පේමෙ” කියලා හිටං. රාජකාරිය ඉවරකරලා මේ දඩු පේමේ ගෙදර එංනේ තෙලිජ්ජ කළේකුත් උස්සං. මිනිහගෙ වත්තේ ඒක පැහෙංට තියෙනවා. උදැහැනැක්කෙම හිස් බඩ බොංට. දඩු පේමේ ළග තිව්නා බෝම මුවාත තිව්න මල් පිහියක්. කොලපතකිං තනාපු කාවරයක දමාලා හිටං. දඩු පේමේ කැහැපොට ගහගත්තු ගමංම තමයි උංනෙ. මල් පිහියත් පිටිපස්සෙං ඉනේ ගහං.

නිකලංදේ රා පොළේ ආරස්සාව ගැනත් බෝම සැලකිල්ලක් තිවුනා. නානප්පකාර කරුනු කාරනා හිංදා. ඇයි කියංනං.  හොර හතුරො බොලල්ලා. ඉතිං දැං හංදි ගානේ තියෙන රට බීම තැබෑරුං වගේ රාත්තිරියට රා කළගෙඩි, කිතුල හොර හතුරංගෙං බේරා ගංට වටකොරලා අගුලුලංට යෑ. මුට්ටියෙං හොරෙං බොන වගක්  දැනුනොත් ඉතිං “වක්කඩ පෙන” දානවම තමයි.  එහෙම නැත්තං මුට්ටියට වක්කඩ පෙන දාපු වගක් බොරුවට හරි ගමේ පතුරෝනවා. කුඹුරෙ ලියද්දෙං ලියද්දට වතුර වැටිල එතැන එක්කාසු වෙන පෙනවලටයි වක්කඩ පෙන කීවේ. එහෙම නැත්තං තවත් උගුලක් විදිහට කිතුලේ හෙලට යංට තියෙන ඉනි මගේ ලී බාගෙට කඩල තියෙනවා. හෙමත් නැත්තං කිතුලේ මුදුනෙ නූලකිං පො‍ළගෙක් එල්ලනවා මේවා කොරව්වේ හොර හතුරංගෙං මුට්ටිය බේරගංට ආයුබොවං.

‘යකෝ මේක බොන එක මූලවාතෙට ගුණ දෙනවා. හුජ්ජ බොක්කට ගුන දෙනවා. බොක්කට ගුන දෙනවා. ඒ විතරක් නෙවේ බොල පායංටත් ගුන දෙනවා.’

“උගුඩුවෙක් වගේ සුරා සොඩෙක්” වෙලා උන්න අපේ “රජා බාප්පා” රා බීලා කීවේ එහෙමයි. උංදැ වල පල්ලේ ගියේ  යෝදයෙක් වගේ. කිතුල් ගහක් වගේ බෝම සරුසාර සරීරයක් උංදට තිව්නා.

පස්සෙං පහු පොලෝසියෙං වුන අරියාදුවලට බයෙං ගමේ රා පොළ අතුරුදං වෙච්චි. කිතුල් රා බීලා කිතුල් ගස් වගේ බෝම  සරුවට උංනු යෝදයො වගේ උං  රට බීම තැබෑරුමට ගොඩවෙංට වෙච්චි. උං බොලව් බලාන ඉංදැද්දිං කේඩෑරි වෙලා අංසබාගෙ හැදිලා වළපල්ලේ ගියපි.

අපෙ ගං පළාත්වල තවමත් තැනිං තැන තියෙන කිතුල් ගස් ගමේ පිරිමි දිහා සෝකෙං බලං ඉංන ගමං මොකක්දො කතංදරයක් කියන වගක් මට හිතෙනවා ආයුබොවං.

ඒ හැමදේම ගමෙං අතුරුදං වුනත් විස්වාස කොරහල්ලා ඔය මොකාටවත් නෑල්ලෙංට දඩු පේමේගෙ රා මුට්ටියෙං ඉදලා හිටලා, මායි එගොඩවත්තෙ අක්කුවයි දෙංනා දඩු පේමේටත් කොටහ ඉතුරු කොරලා හිටං “නලපාන ජාතකේ” සිහි කොර කොර “පැපොල් බට” දාලා හොරාට රා බීව අතීතේ මයෙ හිතෙං මැරෙනකංම අතුරුදං කොරංට බෑ ආයුබොවං.


ඇත්තමයි ඒ අතීතේ මතක් වෙන කොට පපු කැවුත්ත හෝස් ගානවා ආයුබොවං.

Monday, November 1, 2010

විස ගෝර සරුපයා දැක නෑර මෝඩයා


මේ කියන සිද්දිය, සිද්දවුන වෙලාවේ අපි රොක්වෙලා උන්නේ, දානෙ ගෙදරක. රාළහාමි බාප්ප කිව්ව එක පාරටම,

‘මරපිය, මරපිය’ කියලා හිටං.

මාත් විග විගහට එතෙංට කිට්ටු කොරාම දැක්කේ වියත් දෙකක් විතර ඇති පළා පොළගෙක් ගල් බැම්ම දිහාවට ඇදෙනවා. උක්කුං එක්ක අමරේ බලාන උගේ විස්තරේ කියනවා. පාට ගැන කියනවා, පුල්ලි ගැන කියනවා. තව එකෙක් පොල්ලක් හොයනවා. තව කලුවා, ගල් ගෙඩියක් උස්සං එනවා. මමත් පොළගා දිහා බලාන. ඌ ඇදුනා බැම්ම අස්සට. ආයේ හොයනවා බොරු. පොළගා වහංවුන බව දැක්ක රාළහාමි බාප්පා කියනවා,

‘ඕකට තමයි බොලව් කියංනේ, විස ගෝර සරුපයා දැක නෑර මෝඩයා. කියලා.’

බාප්පම ඒක විස්තර කොරංට ගත්තා.

‘ඒකේ තේරුම සරුපයෙක් දැක්කම මෝඩයෙක් යවංට එපා කියන එක. මෝඩයා සරුපයා නොමරා වෙන දේවල් කොරනවලු. උගේ රූප ලක්සන කියවනවලු. සරුපයා ඒ අතරේ. නොදැනිම වහංවෙනවලු. තොපි වගේ මෝඩ රැලක් යවපු හංදා නෙව බොලව් ඌ යහතිං ගියේ. හරිහමං එකෙක් යැව්වනං හෙම ‍සරුපයාව මරලා.’

රාළහාමි බාප්පා ඒක, ඒ කියංනෙ ,

‘විස ගෝර සරුපයා දැක නෑර මෝඩයා’

කියන එක තේරුං කොරව්වේ ඔහොම. සරුපයෙක් දැකලා ඌව මරංට මෝඩයෙක් යවංට එපා කියලයි උංදෑ කීවේ. රාළහාමි බාප්ප කීව පැහැදිලි කිරීම ලියලා පෙංනනවනං හෙම ඒකට පිල්ලං යොදංට වෙංනෙ මෙහෙම.

‘විස ගෝර සරුපයා දැක, නෑර මෝඩයා’

තව දවසක් සරුපයෙක් මරපු විලියොං, ‍බලාන උංන උං දිහාවට හැරිලා උඩ වාක්කිය කිව්ව විදිහ තේරුං කොරංට නං ඒකට පිල්ලං යොදංට වෙන්නේ මෙහෙම,

‘විස ගෝර සරුපයා, දැක නෑර මෝඩයා’

“සරුපයෙක් දැක්කොත් ඌව නොමරා මිස යවංට එපා මෝඩයෝ” ඒකයි ඒකෙං අදහස් කොරව්වේ.

අනෙක් අතට සරුපයා මැරුව එක සමාජ යහපතක් වග ඒ කියපු විදිහෙං ඇගෙව්වා. කොහොමිං කොහොම හරි උඩ කියාපු තැං දෙකේදිම කොරව්වෙ “සරුපයෙක් දැක්කොත් මරාපියව්” කියන එකමයි.

ආරච්චි මාමාගේ තුං මාසේ දානෙට වැඩියේ “වටගොඩ විපස්සී” හාමුදුරුවෝ. මාත් ගොහිං උංනා බණ අහංට. විපස්සී හාමුදුරුවෝ බණ කීවේ අමුතුම තාලෙකට.

‘සුපිංවතුනි සප්ත මහා සා...ගරේ; ඉමක් කොනක් නෑ..............’

එහෙම කියලා හිටං උංවහංසේ ටිකක් නිස්සද්දව ඉංනවා. ආයේ ඒ කොරලා හිටං මෙහෙම කියනවා,

‘මම ගියෑයිං දංනවා.’

ඒ කොරලා දිගටම  පුදුම ලස්සන උපහැරනත් එක්ක  හරිම වටින දර්ම කරුනු එකතු කොරලා සංසාරේ කොතරම් දිගද කියන වග තේරුං කොරනවා. උපාසක අම්මලා “සාදු, සාදු” කියනවා.
එළියට වෙලා අහං ඉංන “නුගපිටියේ ගෙදර ජයතුවා” ළග ඉංන උගෙ නඩේ උංට කියනව.

‘විපස්සි හාමුදුරුවෝ ඔය මුහුදෙ ගොහිං තියෙන වග නෙව කියංනේ’ කියලා ඒ කොරලා හිටං ‘හැක්  හැක් හැක්’ ගගා හිමීට හිනාවෙනවා.

විපස්සී හාමුදුරුවෝ දිගටම දර්ම කරුණු කියන ගමං  ආයෙත් කියනවා,

‘මේ සුපිංවතුං දැනගංට ඕනේ; එංගලංතේ කියලා රටක් තියෙනවා.............’

එහෙම කියලා හිටං උංවහංසේ ආයෙත් ටිකක් නිස්සද්දව ඉංනවා. ආයේ ඒ කොරලා හිටං මෙහෙම කියනවා

‘මම ගියෑයිං දංනවා.’

උපාසක අම්මලා ‘සාදු, සාදු’ කියනවා.  ජයතුවා,

‘හැක්  හැක් හැක්’ ගගා හිමීට හිනාවෙනවා.

ඉතිං බොලව් විපස්සී හාමුදුරුවොත් කිව්ව කියාපල්ලකො  සරුපයි මරංට කියලා, අර  පද ටික තව පදත් දාල හෙම, ඒ බණ ගෙදරදීම මෙංන මෙහෙම,

පොළොව පිට තුඹසයා
තුඹස තුළ නාගයා
විස ගෝර සරුපයා
දැක නෑර මෝඩයා

උපාසක අම්මලා ‘සාදු, සාදු’ කිව්වා. විලියොං හිනාවෙලා ඔලුව හෙල්ලුවා.  රාළහාමි බාප්පා කට කොනෙං හිිනාවෙලා කොල්ලො දිහාව බැලුව. ජයතු ඇස් ලොකු කොරං බලං උංනා. විපස්සී හාමුදුරුවෝ කියනවා.

‘සුපිංවතුනි, ඕක දහං ගැටයක්. මේ මනුස්ස ජීවිතේ නැත්තං මේ බඹයක් තරං සරීරේ තමයි පොළොව පිට තියෙන තුඹස; ඒ තුඹසේ ඉංන නාගයා තමයි, මේ අපි හැමටම තියෙන නොහික්මුන නොදැමුන හිත; මේ හිත බෝම වියාකූලයි ප්‍රතක්ජනයිංගේ; ඉතිං මේක නාගයෙක් වගේ, වයිර , ද්වේස, මෝහ මේ හැම විසක්ම පිරිලා. අංන ඒ විස ගෝර සරුපයා අදුනගෙන එහෙම නැතිනම් දැකලා; මෝඩයෙක් වගේ අහක බලාගංට එපා. මේ සුපිංවතුං මේ හිත නමැති විස ගෝර සරුපයා දමනය කරංට ඕනේ. එහෙම නොකරන එක තරං මෝඩකමක් තවත් නැහැ......’

මට ආයිබොවං,  විලියොං ගැනයි, රාළහාමි බාප්ප ගැනයි දුක හිතුනා. මම ඒ පැත්තවත් බැලුවේ නෑ. මේ දහං ගැටේ නොදැන අපේ විස ගෝර හිතට ඉඩ දීලා අපි කොයිතරං නං මිහිපිට උංන සරුපයි මරා දාල ඇතිද? හැබෑ සරුපයා තාම තංනාව, ආසාව විසිං ගොඩ නැගුව හුබහක් වගේ තියෙන ‍අපේම සරීරේ ඇතුලේ නෙවෙද?

විපස්සී හාමුදුරුවො තේරුං කොරාපු දහං ගැටේට පිල්ලං යොදංට ඕනේ කොහාටද කියලා මමනං දංනේ නැහැ ආයුබොවං. 

Saturday, October 23, 2010

බූරු පොළ

ගමේ ඈයෝ අඩුම කුඩුම ගන්ට “සති පොළ”ට ගියේ බෝම සතුටෙං. මොකද "කීයක් හරි අඩුවෙං බඩුවක් ගංට පුළුවං" කියන හිතුවිල්ල එයාලගේ තිබුණා. ඒවගේම අළුත් බඩු, අමුතු බඩු, ලාභ බඩු,  සිදාදියේ බඩු, ගමේ බඩු තියෙන තැනක් විදිහට සති පොළ සැළකුවා. තොයිල් පොළ, නාන පොළ මේ වගේ ගොඩක් පොළවල් අතරේ ගමේ හිටපු හැටියෙ මළ ගෙදරකදී හරි නැතිනම් අවුරුදු කාලෙට හරි මතුවුන පොළක් තමයි “බූරු පොළ”. මේකටත් සමහරු ගියේ හරිම සතුටෙං. "කීයක් හරි හොයා ගංට පුළුවං" කියන හිතුවිල්ල එයාලගේ තිබුණා.

සමහරු මළ ගෙදරකට ගියේ මේකටමයි. ඉස්සරනම් මල ගෙදරක රාත්තිරිය  ගෙවෙනකං වෙස්සන්තර කතාව කිව්වට  මෑත ඒක දැකපු තැනක් නං නෑ ඕං. යම් මළ ගෙදරක රැයක් ගෙවෙනකං මිනිසු ඉංන එක ඒ ගෙදර අයට ගමේ ලොකු  තත්වයක්. ඉතිං කොහෙං හරි පැදුරු කෑල්ලක් හොයං  විදුළි එළියක් තියෙන තැනකිං හරි පැට්ටෝල් ලාම්පුවක් (පැට්රොමැක්ස්) එකක් කිට්ටුවෙං හරි බූරු පොළ දා ගන්න එක සිරිතක් වගේ වෙලා තිබුනා. සමහර වෙලාවට ගෙදරම ඈයෝ පැදුරු කෑල්ලක් එළලා තිබුනා මේ වෙනුවෙංම එළියකුත් එක්ක. ඉතිං පස්සෙං පහු සමහරුංගේ රස්සාවම වුනේ නැතෑ මළ ගෙදරවල බූරු ගහන එක. මුං වුර්තියටම බූරු කාරයෝ.  සමහරු මේකටම පුරුදු වුනු උං රැලක් විදිහට පුල්ලි තියපු බූරු කුට්ටමුත් අරගෙනම තමයි මළගෙවල ගියේ. පුල්ලි තියපු තැංවලිං අල්ලලා කුට්ටම කැපුවම උං එක්ක ආපු නඩේ තමයි හැමදාම දිනංනේ. පහු වෙනකොට මිනිසුංට තේරිලා මේක නොගැලපෙන දෙයක් කියලා මළ ගෙදරකට; දැං මේ ගං පළාත්වල මේක නොවෙනම තැනට ඇවිත්.

ඉස්සර සිංහල අවුරුදු කාලේ “බක්” මහට කලිංයෙංම “මැදිං” මහ පටං ගංන කොටම ගංවල මේකට වහවැටිලා හිටපු කොල්ලෝ, වැඩිහිටියෝ කාගෙත් සහයෙං පටං ගත්තා බූරු ගැහිල්ලත්. ඉස්සර  ගමේ හයි හක්තිය තියෙන ගස් තුන හතරකම ඔංචිල්ලා බදිනවා අවුරුදු කාලෙට. ඒ සමානවම බුරු පොළකුත් දානවම තමයි. හීං මාමගේ කඩේ ළග එහා පැත්තේ හරි ගොරක ගහ යට හරි බූරු පොළ දැම්මා. කඩේ ළගනං බූරුපොළේ  තෝං ගත්තේ හීං මාමා. ගොරක ගහ යට තෝං ගත්තේ විජේ මාමා. ඒ තැං අයිති එයාලට. ඒ තැංවලදී අලුත්ම කුට්ටමක් දැම්මෙත් එයාලමයි. හැමෝගෙම ඉස්සරහ කුට්ටමේ ඉටිකොලේ හීං මාමා අයිං කරනවා

“ඕං බොලව් පුල්ලි තියපු එකක් හෙම නෙවේ පැකිං කැඩුවේ දැං ඈ” කියලා.

වැඩේට තැන දුංනට ගෙවංට ඕන බිං කුළිය වගේ තමයි “තෝං” ගැනිල්ල. කවුරු හරි වට තුනක් එකදිගට දිනුවොත් තෝං දෙංට ඕනේ. තෝං ‍ලණුවෙං කරංනේ අල්ලං යන එක. ගොනාට එක දිගට යංට පාර කියන එක. එහෙවු එකේ සමහර විට බූරු ගහපු අයට පාර හදල දුංනට මේකටත් තෝං කියනවද මංදා. තෝං දාංට දුංනේ හිස් “ගල් අරක්කු ‍බෝතලයක්”. මේකෙං වැඩ කීපයක්ම වුනා. බූරු පොළ දාපු හීං මාමා හරි විජේ මාමා හරි ආරම්බෙම දුංන අල්ලසක් තමයි මේ බෝතලේ. ඒක මුලිංම හිස් කරලා හිස් බෝතලේ තෝං බෝතලේ විදිහට ගංනවා. එයාලා ළග හොර අරක්කුත් ඒ වෙනකොට තියෙනවා. ඒකත් හිමීට විකිනෙනවා. ඊට වැඩිය කට හීනි බෝතලේට සිල්ලර ඔබංට බැහැ. දාංට වෙංනෙම නෝට්ටු කොළ. අනෙක් එක ආයේ ඇදලා ගංට බෑ. දැම්මොත් දැම්මා. පොළේ අයිතිකාරයා ආයේ ඒක ගංනේ වැඩ ඉවර වුනාට පස්සෙ බෝතලේ කඩලා.
                                                                          
බූරු පොළේ වටේට බූරු ගහන උදවිය ඉදං හිටියා. ඒ පිටිපස්සෙං හිටං හිටියා කෙලිංම බූරු නොගහ ඔට්ටු අල්ලපු උදවිය.  මෙතැනට කීවේ “මංඩිය” කියලා. ඒ වගේ මෙතනත් අමුතුම බාසා භාවිතයක් තිබුන තැනක්. උප සංස්කුරතියක් කියන්නේ. ඒකක්. කුට්ටම කියංනේ දෙකක් කියන එක වුනාට කොල පනස් දෙකකටම බූරු පොළේ කීවේ කුට්ටම කියලා. ඔට්ටුව අල්ලන පැත්තක් තිබුනා. ඒක ගියේ දකුණ අත පැත්තට රවුමට. කුට්ටම අතේ තිබුන කෙනා පැරදුනොත් දිනපු කෙනාගේ අතට කුට්ටම මාරු වෙනවා.කලිං කුට්ටම තිබුන කෙනාට දකුනෙං හිටිය කෙනා ඔට්ටු අල්ලන කෙනා වෙනවා. ඔට්ටු අල්ලලා කුට්ටම කපන කෙනාට කීවේ “කටර්”. කුට්ටම අතේ තියෙන කෙනාට කීවේ “කුට්ටම” කියලමයි. “මුල” කිව්වෙත් මෙයාට අනෙකා එතකොට “අග” වුනා.

‘මුල පරාදයි’
‘අග දිණුම්’
‘කුට්ටම පැරදියි’ 

මේ විදිහට තමයි ඔට්ටු ඇල්ලුවේ. එක දිගට කවුරු හරි තුං අතක් දිණුවොත්

‘තෝං දාපං’ කියලත් ඇහුනා. සමහර කොලවලට විවිධ කතා කිවුවා. කුට්ටම හා කටර් අතරෙයි තමයි ගොඩක් කතා කියවුනේ. නානප්පකාර කතා සමහර කොලෙං කොලේට කියවුනා. කීපයක් මතකයි. කුට්ටමේ A කොලය ආසියා. ආසියා ඉල්ලපුවාම කුට්ටමෙං ඒ කියන්නේ, මුල නැත්තං අණන කෙ‍නාගෙං බොහෝ විට කියවුනේ,

‘ආසී......... වර වේසී’ කියලා.

ඒ විදිහට අනෙක් කොලවලට මෙහෙම කීවා මතකයි.

2 කොලේට - 'දෙකේ පුලුං බං, දෙක පල් වෙයි’
3 කොලේට - ‘තුන හමේ, හම නැත්තං බිම’
5 කොලේට - ‘පහ මඩේ’
8 කොලේට - ‘අට නෙවෙයි හුට....................’ (තවත් ටිකක් කියනවා ඒක සැරවැඩියි)
 J කොලේට කියංනේ බූරුවා කියලා. බොහෝ වෙලාවට ඒක ඉල්ලුවේ ‘කොලේ උඹ’ කියලා
Q කොලේට කිව්වේ පොරව, මේකෙ ඉංනේ රැජිණ නෙව. මේක ඉල්ලලා ආව කෙනා කොලේ ඉඹිනවා ‘අනේ තිගේ ලෙල්ල’ කියලා. මුං “ලෙල්ල” කියලා තියෙංනේ ඉස්තිරි නිමිත්ත කියන අර්තෙං කියලා මම දැන ගත්තෙත් මෑතදී.
K කොලේට කියංනේ හේරා කියලා. ‘හේරා මං බේරා’ කිය කියා තමයි කොලේ බෙදුවේ.

මේක ඉතිං බෝම හොරෙං ඒත් සද්දෙං කරපු වැඩක්. වටේ හිටගෙන ඉදලා ඔට්ටු ඇල්ලුව අ‍යත් කීයක් හරි හොයා ගත්තා. බැරි වෙලාවත් ඔට්ටුව  ආරවුලකට ගියොත් “ඔට්ටු උරුං” කියලා ඒක සමාදාන කරගත්තා.

ගමේ කෙනෙකුට  පොඩි පහේ වාසියක්  උනාම කියනවා “තට්ටක් ආවා” කියලා.  වටේ ඉදං ඔට්ටුවක් අල්ලපු කෙනෙක් ඒක දිනපුවම ගත්තේ “අපිට ලොකු තට්ටක්” කියලා.
එ‍ක්කෙනෙක්ගේ පැත්තකට සල්ලි ගොඩ ගැහෙද්දී  එයා බෝම උජාරුවෙං සල්ලි ගොඩ පෙන්නලා ‘බලපල්ලා මහකන්ද.........’ කියලා  හයියෙං කියනවා.

ගමේ හිටියා අපේ ලොකු අප්පච්චි කෙනෙක්. තනියමයි හිටියේ  එයාට මී හරක් හිටියා. කිසිම ඉහෙං බහින රෝගයක් තිබුනේ තැති වුනාට තනිපංගලමේ ජීවත් වුන මේ අහිංසකයට ගමේ අය කීවේ “පිස්සා” කියලා. මෙයාගේ මී හරක් පට්ටියේ ඇස්වහක් කටවහක් නැහැ වැස්සියන්ට පැටවුනං අඩුවක් උනේ නැහැ. ඉතිං කාත් කවුරුවත් නැති මෙයාට  කොච්චර හරක් හිටියත් වැඩක්යෑ. ඉතිං  බුරුපොළේ එක්කෙනෙක්ම දිනද්දී ඒක කියන්න මංඩියේ අය මේකෙං  ප්‍රස්ථා පිරුලක් තනා ගත්තා. මොකක්ද දන්නවද?  

‘බලපංකො මේකමයි දිනංනේ, හරියට පිස්සට හරක් බෝවෙන්නා වගේ’ කියලා.

ඉතිං බූරු පොලේ පරාද වෙලා පොඩි පහේ අතමාරුවක් ඉල්ල ඉල්ල ලතවෙංටත් සමහරුංට සිද්දවුනා. සමහරු ඔරලෝසුව, ඉනේ බදින බැල්ට් එක (බඳ පටිය) උකස් කළා. හැබැයි ‘මංඩියේ අතමාරු මංඩියේ විතරයි’ කියලා තමයි කීවේ. සමහර විට අද ගත්ත අත මාරුව ගෙවංට බැරි වුනොත් ඒක ගෙව්වේ වෙනිං දවසක මංඩියේදිමයි. පහුගිය අවුරුද්දෙ දේවලුත් සමහරු මතක් කලා.
ගම්මුංගේ සල්ලිය බාගේ තබා ගත්ත තැං කීපයක්ම තිබුනා. බවලතුන් සල්ලි තියාගත්තේ හැට්ටෙ අස්සේ. මේකට පස්සෙ කාලේ ඉළංදාරි කියව්වේ “තංගල්ලේ බැංකුවේ සල්ලි දානවා” කියලා. බවලත්තු එතනිං සල්ලි අරං “දෙකේ කඩේ මුදලාලි”ට දෙද්දී මිනිහා ඒව ගත්තේ ‘ආ කිරි සල්ලි නේද?’ කියලා. පිරිමි සල්ලි දා ගත්තේ ඉනේ බැදගත්ත බැල්ට් එකේ. ඊට අමතරව සමහර මුදලාලිලා හිටියා සරම අදින. හම්බවෙන මුදල ඉණ ළගින් සරමට තියලා රෝල් කරලා පොටක් අස්සෙ ගහනවා. මෙහෙම කරපු සමහර මුදලාලිලාගේ හවස්‍ වෙද්දී සරම තිබුනේ දණිහටත් උඩිං. ආදායං තත්වේ හිතාගංටකෝ. තවත් සමහරු සරමට යටිං කොට කලිසමක් ඇංදා. මේක සරමට යටිං නිසා එළියට පේංනේ නෑ නෙව. බූරු මංඩියෙදී බැල්ට් එකේ සල්ලි පිච්චියටම නැතිවුනොත් මේ අය සරම උස්සලා කලිසමේ සාක්කුවට අතදාලා සල්ලි අරං ඔට්ටු දානවා. මෙහෙම කරපු කෙනෙක් තමයි මද්දු. පස්සෙං පහු හැදුන ඉළංදාරි ඒ කියංනේ තිරි වීලර් එහෙම වැඩ කරන මේකට කිව්වේ 

‘ආංන බලපං මද්දු රිසව් එකෙමුත් අදිනවා’ කියලා.

පස්සෙ බූරු පොලේ බාසාවට මේකත් එකතු වුනා. මෙහෙම කරපු එකෙක්ගෙං තව එකෙක් අතමාරුවක් හෙම ඉල්ලුවොත් ඌ උත්තර දුනනේ බෝම කේංතියෙං.

‘තොට පිස්සුද බං මං රිසව් එකෙනුත් ඇදලා ඉංනේ’ කියලා.

බුදු බණේ තියෙන විදිහට

“සරු දේ සරු විදිහටත් නිසරු දේ නිසරු විදිහටත් දකින අය සරු දෙය ලබනවලු”නේ.

මේක දැනංද මංදා හරියට අවුරුදු කාලෙට සමහරුංට “ජාතික කිරිඩාවක් වගේ” එළියට ආව බූරු ගැහිල්ල දැංනං ගමේ වෙන්නෙම නැහැ. හැබැයි  ගමේ කාගෙ උනත් අටුවක් කොටුවක් සරු වෙද්දි හෙම ‘හරියට පිස්සට හරක් බෝවෙනවා වගේ’ කියල එහෙම තවම ඇහෙනවා. මේ කතාව ඇහුන වෙලාවට මම දායක නොවුනත්, කණගාටුවක් නැතත්; මෑතදී මයෙ ඇස් මායිමේම ගමෙං අතුරුදං වුන බූරුමංඩිය එක පාරටම මගෙ මතකෙට එනව ආයුබොවං.