‘අහේතු කාලෙන කජ්ජේන පුහුලං’ ලු නොවෑ.
එහෙම කීවේ මොකෑ කියල දංනවද? මහනුවර දිහාවෙ යංට එපෑයෑ බොලාලා අවුරුදු බලංට. නුවර වීදී යටකොරං හිටං මහා ජන සංනිපාතේ. මේ අද ඊයේ දවස් ටිකට දැක්ක දේවල් ටිකක් උඹලට කියංට; උංදැලැනං කයි බොලව් අවුරුදු, අවුරුදු ගානකටම ඇතිවෙංට.
උඹලට කියංට පහුංදාක නුවර මාර්කැට්ටුව ඇතුලේ කිරි සප්පයෙකුත් වත්තං කොරා ගත්තු ගෑණීයක් තොර තෝංචියක් නැතුව කරේ දා ගත්තු බෑග් මල්ලකුත් මිනිස්සුංට පෙංන පෙංනා විලාප තියනවා. ඒ ඇත්තිගේ ගංතුලානෙ ගතිය ඇදුං කඩමාලුවල ඉදං සර්වාංගෙංම පේනවා. බෑග් මල්ල කපල හිටං ඇතුලෙ තිව්ණ රුපියල් හත්දාහක්ම හොරකං කොරලලු බොලව්. අවුරුද්දට අඩු වැඩිය ගෙනියංට තිවුණ සල්ලි කියංනෙ. මිනිහෙක් සතෙක් කෑ මොර දෙංනේ මොකෑ කියලා විපරං කොරන එක අපේ රටේ ඇත්තංගෙ ජංම ගතියක් නෙව. ඉතිං මේ ගෑණු උංදෑ දිහත් මේ මොකෑ කියලා යන එන ඈයො බලනව. බැග් මල්ල කපලා හිටං අසමත්ජාතියෙක් සල්ලි ටික අරං විත්තිය කණ වැටුනම කවුරුත් කොරව්වේ මොකක්ද කියලා දංනවද? ගෑණූ උදවිය තමංගෙ බෑග් මල්ල ආරස්සා වෙලා තියෙනවද බැලුව. පිරිමි උදවියත් පස්ස පැත්තට තට්ටු කොරලා පොකැට් එක තියෙනවද බැලුව. ඒ වුනාට මොකෑ රුපියල් හත්දාහ ගත්තු එකානං හොදට අවුරුදු සමරංට ලක ලෑස්ති වෙනවා ඇති මයෙ හිතේ.
අනිත් අතට ටවුමෙ ඇදුං කඩවලයි සුපැර් මාර්කැට්වලයි උංනු මිනිසු කංදරාව. මම දැක්ක නෙව, මේ නුවර උං ගත්තු ඇදුං ආයිත්තං විතරක් යෑ අඩුම කුඩුම කෝකටත් හිලව්වෙංට දුංනෙ දාහ දෙදාහෙ කොළ නෙව. හප්පා...... බලාන ඉංදැංදිං ලාච්චු පිරිල ඉතිරෙනව නෝට්ටු කොලවලිං. මුදලාලි ඇත්තොලනං කයි අවුරුදු; අවුරුදු ගානකටම ඇතිවෙංට.
මේ දොලොස්වෙනිදා හවහ නගරෙදි දැකපු දෙයක් අහපල්ලකො. අවුරුදු අටේ දහයෙ තරමේ දරුවො දෙංනෙකුත් එක්කං උංගෙ අම්මයි අප්පයි ටවුමට අවුදිං. අවුරුද්දට අඩුම කුඩුම ගෙනියංට. මෙච්චර වෙලා එක්කහු කොර ගත්තු දේවල් පොඩි බෑග් මලු දෙකක දාගෙන හිටං පොඩි උං දෙංන එල්ලං ඉංනව. මුං උංනෙ රත්තරං බඩු කඩයක් ළග. මේ කොල්ලංගෙ අප්පගේ අල්ල උඩ ගෑනී ගලවල දුංනු කරාඹුවක්. මිනිහා අත දික්කොරං ඉංනව. ගෑණී අනෙක් කණේ කරාඹුවත් ගලවනව. උනුත් කයි අවුරුදු; අවුරුදු ගානකටම ඇතිවෙංට. නේද ආයිබොවං.
කොළඹ වීදියෙද කොහෙද තියෙන කැවිලි කඩේ අතිරස, මුං කැවුං ගංට තිවුන තදබදේ දැක්කනං. අනිත් අතට රටබීම සාප්පු ළග තදබදේ. වෙන මොකටද ඉතිං ඒවත්, අවුරුදු ගානකටම ඇතිවෙංට අවුරුදු කංට මිසක්.
---------------------------------------------
ඒ සංදියේ මේ ගංවල අවුරුද්ද පටං ගත්තෙ මෝඩයගෙ දවසටත් කලියෙං ආයිබොවං. අවුරුද්ද ගැන පයිංඩෙ කොහා කියංටත් කලියෙං කුට්ටම අනංට පටං ගංනවා ගොරක ගහ මුල. හයිය හක්තිය තියෙන ගස්වල ඔංචිල්ලා. වැඩියෙංම ඔංචිල්ලා බැංදෙ සියඹලා ගස්වල. රතිංන පුපුරණ සද්දෙ ඒ අස්සේ වටපිටාවෙ අවාරෙට පොල් වැටෙංනැහෙ ඇහෙංට පටං ගංනවා ඕං. අංතිමෙ බක්මහ අකුණු ගානට හරි හරියට තරගෙට රතිංනා සද්දේ. ඒ විතරක් යෑ අතිරහ, මුං කැවුං, කොකිස් බැදෙන සුවද. ඔංන ඕවා දැක්කට දැණුනට පස්සෙං පහු තමයි කොහාටත් මතක්වෙංනෙ හුරුවං බාංට කාලේ නොවෑ කියල හිටං. කෝරලේ ගෙදර එරබදු ගහේ මල් පිපෙංට ගංනෙත් ඊට පස්සෙං පහුයි කියමුකෝ.ඒව ඔක්කෝම ඔය කීව විදියට සිද්ද වෙලා දැං වැඩි කාලයක් නෑ බොලව්. ගොරක ගහ කපල දාලා දැං අවුරුදු පාලොහක් විතර ගෙවුන. ගම පුරාම තිව්න සියඹලා ගස් පෝරණුවලට දරට කැපුව. මිනිසුන්ට ඒවයෙ තිව්න වටිනාකම අමතක වුනැයි කියමුකො. මේ වෙනතුරා කොහා අහල ගං හතකවත් හුරුවං බානවා මටනං ඇහුනෙ නෑ ඕං. ඒ විතරක් යෑ රේඩියෝ ටෙලිවිෂොංවල කීවට පෙන්නුව ඇරෙංට එරබදු මලක් ඇහැ ගැටුනෙනං නෑ බොලව්.
දැං සොබාදර්මෙං කොහා වදවෙංට අරංලු. එරබදු මල් පිපෙං නැති එකටත් අපේ රටෙ මහදැනමුත්තො එක එක කයි කතංදර කියනවා උඹලත් දකිංට ඇති, අහංට ඇති, කියවංට ඇති මයෙ හිතේ. ඉතිං ආයිබොවං මට නං හිතෙංනේ ගංවල මිනිස්සුංට අවුරුද්ද දැනෙන හැටි වෙනස් වෙලා. එහෙමත් නැත්තං අවුරුද්ද එක්ක මිනිස්සු ජීවත්වෙච්චි රටාව වෙනස් වෙලා. මේ වෙනස සොබාදර්මයාට තේරුං ගංට බෑ. මේක කොහාට දැනෙංනේ නැතුව ඌ කොහේ හුරුවං බාංටද. එරබදු ගහට ඒ වෙනස තේරුංගංට බැරිකොට කොහෙද ආයිබොවං එරබදු ගහේ මල් පිපෙංනෙ. ඒ කාලේ අලුත් අවුරුද්දට මිනිස්සු හැබෑවටම සතුටු වෙනවා දැකපු සොබාදර්මයා මිනිසුත් එක්කං සතුටු වුනා. අවුරුද්දක් වියහියදමට තියෙන මිළමුදල අවුරුද්ද වෙනුවෙං වියහියදං කොරංනෙ අපෙ ඇත්තෝ හැබෑ සතුටකිංද? ඒකාලේ කැවුං ගෙඩියක් හදලා, ඇදුමක් කැඩුමක් අරං, රතිංනයක් දාල, ඔංචිල්ලාවක් නැත්තං රබං පදයක් ගහලා , දොළහ පෙතක් හරි ඔළිද ලෑල්ලක හරි කිරීඩාවක් කරල හිටං හීනියට ලබපු සතුට මැද්දට කොයි තරංනං දේවල් බාහිරිං රිංගලාද ආයිබොවං
---------------------------------------------------
ඒ කොහොමිං කොහොම වුනත් අයිබොං එරබදු ගහ මලිං බර කරංට තරමටම, කොහා හුරුවං බාංට පෙළඹෙන තරමටම මේ සිංහල දීපෙ ඇත්තංගේ හිත්වල සතුට ඇතිකරන අලුත් අවුරුද්දක්ම සිද්ද වෙංට කියලා හිටං ගැමියා ප්‍රාර්ථනා කොරනවා එහෙනං.