Saturday, October 23, 2010

බූරු පොළ

ගමේ ඈයෝ අඩුම කුඩුම ගන්ට සති පොළට ගියේ බෝම සතුටෙං. මොකද "කීයක් හරි අඩුවෙං බඩුවක් ගංට පුළුවං" කියන හිතුවිල්ල එයාලගේ තිබුණා. ඒවගේම අළුත් බඩු, අමුතු බඩු, ලාභ බඩු,  සිදාදියේ බඩු, ගමේ බඩු තියෙන තැනක් විදිහට සති පොළ සැළකුවා. තොයිල් පොළ, නාන පොළ මේ වගේ ගොඩක් පොළවල් අතරේ ගමේ හිටපු හැටියෙ මළ ගෙදරකදී හරි නැතිනම් අවුරුදු කාලෙට හරි මතුවුන පොළක් තමයි බූරු පොළ. මේකටත් සමහරු ගියේ හරිම සතුටෙං. "කීයක් හරි හොයා ගංට පුළුවං" කියන හිතුවිල්ල එයාලගේ තිබුණා.

සමහරු මළ ගෙදරකට ගියේ මේකටමයි. ඉස්සරනම් මල ගෙදරක රාත්තිරිය  ගෙවෙනකං වෙස්සන්තර කතාව කිව්වට  මෑත ඒක දැකපු තැනක් නං නෑ ඕං. යම් මළ ගෙදරක රැයක් ගෙවෙනකං මිනිසු ඉංන එක ඒ ගෙදර අයට ගමේ ලොකු  තත්වයක්. ඉතිං කොහෙං හරි පැදුරු කෑල්ලක් හොයං  විදුළි එළියක් තියෙන තැනකිං හරි පැට්ටෝල් ලාම්පුවක් (පැට්රොමැක්ස්) එකක් කිට්ටුවෙං හරි බූරු පොළ දා ගන්න එක සිරිතක් වගේ වෙලා තිබුනා. සමහර වෙලාවට ගෙදරම ඈයෝ පැදුරු කෑල්ලක් එළලා තිබුනා මේ වෙනුවෙංම එළියකුත් එක්ක. ඉතිං පස්සෙං පහු සමහරුංගේ රස්සාවම වුනේ නැතෑ මළ ගෙදරවල බූරු ගහන එක. මුං වුර්තියටම බූරු කාරයෝ.  සමහරු මේකටම පුරුදු වුනු උං රැලක් විදිහට පුල්ලි තියපු බූරු කුට්ටමුත් අරගෙනම තමයි මළගෙවල ගියේ. පුල්ලි තියපු තැංවලිං අල්ලලා කුට්ටම කැපුවම උං එක්ක ආපු නඩේ තමයි හැමදාම දිනංනේ. පහු වෙනකොට මිනිසුංට තේරිලා මේක නොගැලපෙන දෙයක් කියලා මළ ගෙදරකට; දැං මේ ගං පළාත්වල මේක නොවෙනම තැනට ඇවිත්.

ඉස්සර සිංහල අවුරුදු කාලේ බක් මහට කලිංයෙංම මැදිං මහ පටං ගංන කොටම ගංවල මේකට වහවැටිලා හිටපු කොල්ලෝ, වැඩිහිටියෝ කාගෙත් සහයෙං පටං ගත්තා බූරු ගැහිල්ලත්. ඉස්සර  ගමේ හයි හක්තිය තියෙන ගස් තුන හතරකම ඔංචිල්ලා බදිනවා අවුරුදු කාලෙට. ඒ සමානවම බුරු පොළකුත් දානවම තමයි. හීං මාමගේ කඩේ ළග එහා පැත්තේ හරි ගොරක ගහ යට හරි බූරු පොළ දැම්මා. කඩේ ළගනං බූරුපොළේ  තෝං ගත්තේ හීං මාමා. ගොරක ගහ යට තෝං ගත්තේ විජේ මාමා. ඒ තැං අයිති එයාලට. ඒ තැංවලදී අලුත්ම කුට්ටමක් දැම්මෙත් එයාලමයි. හැමෝගෙම ඉස්සරහ කුට්ටමේ ඉටිකොලේ හීං මාමා අයිං කරනවා

ඕං බොලව් පුල්ලි තියපු එකක් හෙම නෙවේ පැකිං කැඩුවේ දැං ඈ කියලා.

වැඩේට තැන දුංනට ගෙවංට ඕන බිං කුළිය වගේ තමයි තෝං ගැනිල්ල. කවුරු හරි වට තුනක් එකදිගට දිනුවොත් තෝං දෙංට ඕනේ. තෝං ‍ලණුවෙං කරංනේ අල්ලං යන එක. ගොනාට එක දිගට යංට පාර කියන එක. එහෙවු එකේ සමහර විට බූරු ගහපු අයට පාර හදල දුංනට මේකටත් තෝං කියනවද මංදා. තෝං දාංට දුංනේ හිස් ගල් අරක්කු ‍බෝතලයක්. මේකෙං වැඩ කීපයක්ම වුනා. බූරු පොළ දාපු හීං මාමා හරි විජේ මාමා හරි ආරම්බෙම දුංන අල්ලසක් තමයි මේ බෝතලේ. ඒක මුලිංම හිස් කරලා හිස් බෝතලේ තෝං බෝතලේ විදිහට ගංනවා. එයාලා ළග හොර අරක්කුත් ඒ වෙනකොට තියෙනවා. ඒකත් හිමීට විකිනෙනවා. ඊට වැඩිය කට හීනි බෝතලේට සිල්ලර ඔබංට බැහැ. දාංට වෙංනෙම නෝට්ටු කොළ. අනෙක් එක ආයේ ඇදලා ගංට බෑ. දැම්මොත් දැම්මා. පොළේ අයිතිකාරයා ආයේ ඒක ගංනේ වැඩ ඉවර වුනාට පස්සෙ බෝතලේ කඩලා.
                                                                          
බූරු පොළේ වටේට බූරු ගහන උදවිය ඉදං හිටියා. ඒ පිටිපස්සෙං හිටං හිටියා කෙලිංම බූරු නොගහ ඔට්ටු අල්ලපු උදවිය.  මෙතැනට කීවේ මංඩිය කියලා. ඒ වගේ මෙතනත් අමුතුම බාසා භාවිතයක් තිබුන තැනක්. උප සංස්කුරතියක් කියන්නේ. ඒකක්. කුට්ටම කියංනේ දෙකක් කියන එක වුනාට කොල පනස් දෙකකටම බූරු පොළේ කීවේ කුට්ටම කියලා. ඔට්ටුව අල්ලන පැත්තක් තිබුනා. ඒක ගියේ දකුණ අත පැත්තට රවුමට. කුට්ටම අතේ තිබුන කෙනා පැරදුනොත් දිනපු කෙනාගේ අතට කුට්ටම මාරු වෙනවා.කලිං කුට්ටම තිබුන කෙනාට දකුනෙං හිටිය කෙනා ඔට්ටු අල්ලන කෙනා වෙනවා. ඔට්ටු අල්ලලා කුට්ටම කපන කෙනාට කීවේ කටර්. කුට්ටම අතේ තියෙන කෙනාට කීවේ “කුට්ටම” කියලමයි. “මුල” කිව්වෙත් මෙයාට අනෙකා එතකොට “අග” වුනා.

‘මුල පරාදයි’
‘අග දිණුම්’
‘කුට්ටම පැරදියි’ 

මේ විදිහට තමයි ඔට්ටු ඇල්ලුවේ. එක දිගට කවුරු හරි තුං අතක් දිණුවොත්

‘තෝං දාපං’ කියලත් ඇහුනා. සමහර කොලවලට විවිධ කතා කිවුවා. කුට්ටම හා කටර් අතරෙයි තමයි ගොඩක් කතා කියවුනේ. නානප්පකාර කතා සමහර කොලෙං කොලේට කියවුනා. කීපයක් මතකයි. කුට්ටමේ A කොලය ආසියා. ආසියා ඉල්ලපුවාම කුට්ටමෙං ඒ කියන්නේ, මුල නැත්තං අණන කෙ‍නාගෙං බොහෝ විට කියවුනේ,

‘ආසී......... වර වේසී’ කියලා.

ඒ විදිහට අනෙක් කොලවලට මෙහෙම කීවා මතකයි.

2 කොලේට - 'දෙකේ පුලුං බං, දෙක පල් වෙයි
3 කොලේට - ‘තුන හමේ, හම නැත්තං බිම’
5 කොලේට - ‘පහ මඩේ’
8 කොලේට - ‘අට නෙවෙයි හුට....................’ (තවත් ටිකක් කියනවා ඒක සැරවැඩියි)
 J කොලේට කියංනේ බූරුවා කියලා. බොහෝ වෙලාවට ඒක ඉල්ලුවේ ‘කොලේ උඹ’ කියලා
Q කොලේට කිව්වේ පොරව, මේකෙ ඉංනේ රැජිණ නෙව. මේක ඉල්ලලා ආව කෙනා කොලේ ඉඹිනවා ‘අනේ තිගේ ලෙල්ල’ කියලා. මුං “ලෙල්ල” කියලා තියෙංනේ ඉස්තිරි නිමිත්ත කියන අර්තෙං කියලා මම දැන ගත්තෙත් මෑතදී.
K කොලේට කියංනේ හේරා කියලා. ‘හේරා මං බේරා’ කිය කියා තමයි කොලේ බෙදුවේ.

මේක ඉතිං බෝම හොරෙං ඒත් සද්දෙං කරපු වැඩක්. වටේ හිටගෙන ඉදලා ඔට්ටු ඇල්ලුව අ‍යත් කීයක් හරි හොයා ගත්තා. බැරි වෙලාවත් ඔට්ටුව  ආරවුලකට ගියොත් “ඔට්ටු උරුං” කියලා ඒක සමාදාන කරගත්තා.

ගමේ කෙනෙකුට  පොඩි පහේ වාසියක්  උනාම කියනවා “තට්ටක් ආවා” කියලා.  වටේ ඉදං ඔට්ටුවක් අල්ලපු කෙනෙක් ඒක දිනපුවම ගත්තේ “අපිට ලොකු තට්ටක්” කියලා.
එ‍ක්කෙනෙක්ගේ පැත්තකට සල්ලි ගොඩ ගැහෙද්දී  එයා බෝම උජාරුවෙං සල්ලි ගොඩ පෙන්නලා ‘බලපල්ලා මහකන්ද.........’ කියලා  හයියෙං කියනවා.

ගමේ හිටියා අපේ ලොකු අප්පච්චි කෙනෙක්. තනියමයි හිටියේ  එයාට මී හරක් හිටියා. කිසිම ඉහෙං බහින රෝගයක් තිබුනේ තැති වුනාට තනිපංගලමේ ජීවත් වුන මේ අහිංසකයට ගමේ අය කීවේ “පිස්සා” කියලා. මෙයාගේ මී හරක් පට්ටියේ ඇස්වහක් කටවහක් නැහැ වැස්සියන්ට පැටවුනං අඩුවක් උනේ නැහැ. ඉතිං කාත් කවුරුවත් නැති මෙයාට  කොච්චර හරක් හිටියත් වැඩක්යෑ. ඉතිං  බුරුපොළේ එක්කෙනෙක්ම දිනද්දී ඒක කියන්න මංඩියේ අය මේකෙං  ප්‍රස්ථා පිරුලක් තනා ගත්තා. මොකක්ද දන්නවද?  

‘බලපංකො මේකමයි දිනංනේ, හරියට පිස්සට හරක් බෝවෙන්නා වගේ’ කියලා.

ඉතිං බූරු පොලේ පරාද වෙලා පොඩි පහේ අතමාරුවක් ඉල්ල ඉල්ල ලතවෙංටත් සමහරුංට සිද්දවුනා. සමහරු ඔරලෝසුව, ඉනේ බදින බැල්ට් එක (බඳ පටිය) උකස් කළා. හැබැයි ‘මංඩියේ අතමාරු මංඩියේ විතරයි’ කියලා තමයි කීවේ. සමහර විට අද ගත්ත අත මාරුව ගෙවංට බැරි වුනොත් ඒක ගෙව්වේ වෙනිං දවසක මංඩියේදිමයි. පහුගිය අවුරුද්දෙ දේවලුත් සමහරු මතක් කලා.
ගම්මුංගේ සල්ලිය බාගේ තබා ගත්ත තැං කීපයක්ම තිබුනා. බවලතුන් සල්ලි තියාගත්තේ හැට්ටෙ අස්සේ. මේකට පස්සෙ කාලේ ඉළංදාරි කියව්වේ “තංගල්ලේ බැංකුවේ සල්ලි දානවා” කියලා. බවලත්තු එතනිං සල්ලි අරං “දෙකේ කඩේ මුදලාලි”ට දෙද්දී මිනිහා ඒව ගත්තේ ‘ආ කිරි සල්ලි නේද?’ කියලා. පිරිමි සල්ලි දා ගත්තේ ඉනේ බැදගත්ත බැල්ට් එකේ. ඊට අමතරව සමහර මුදලාලිලා හිටියා සරම අදින. හම්බවෙන මුදල ඉණ ළගින් සරමට තියලා රෝල් කරලා පොටක් අස්සෙ ගහනවා. මෙහෙම කරපු සමහර මුදලාලිලාගේ හවස්‍ වෙද්දී සරම තිබුනේ දණිහටත් උඩිං. ආදායං තත්වේ හිතාගංටකෝ. තවත් සමහරු සරමට යටිං කොට කලිසමක් ඇංදා. මේක සරමට යටිං නිසා එළියට පේංනේ නෑ නෙව. බූරු මංඩියෙදී බැල්ට් එකේ සල්ලි පිච්චියටම නැතිවුනොත් මේ අය සරම උස්සලා කලිසමේ සාක්කුවට අතදාලා සල්ලි අරං ඔට්ටු දානවා. මෙහෙම කරපු කෙනෙක් තමයි මද්දු. පස්සෙං පහු හැදුන ඉළංදාරි ඒ කියංනේ තිරි වීලර් එහෙම වැඩ කරන මේකට කිව්වේ 

‘ආංන බලපං මද්දු රිසව් එකෙමුත් අදිනවා’ කියලා.

පස්සෙ බූරු පොලේ බාසාවට මේකත් එකතු වුනා. මෙහෙම කරපු එකෙක්ගෙං තව එකෙක් අතමාරුවක් හෙම ඉල්ලුවොත් ඌ උත්තර දුනනේ බෝම කේංතියෙං.

‘තොට පිස්සුද බං මං රිසව් එකෙනුත් ඇදලා ඉංනේ’ කියලා.

බුදු බණේ තියෙන විදිහට

“සරු දේ සරු විදිහටත් නිසරු දේ නිසරු විදිහටත් දකින අය සරු දෙය ලබනවලුනේ.

මේක දැනංද මංදා හරියට අවුරුදු කාලෙට සමහරුංට “ජාතික කිරිඩාවක් වගේ” එළියට ආව බූරු ගැහිල්ල දැංනං ගමේ වෙන්නෙම නැහැ. හැබැයි  ගමේ කාගෙ උනත් අටුවක් කොටුවක් සරු වෙද්දි හෙම ‘හරියට පිස්සට හරක් බෝවෙනවා වගේ’ කියල එහෙම තවම ඇහෙනවා. මේ කතාව ඇහුන වෙලාවට මම දායක නොවුනත්, කණගාටුවක් නැතත්; මෑතදී මයෙ ඇස් මායිමේම ගමෙං අතුරුදං වුන බූරුමංඩිය එක පාරටම මගෙ මතකෙට එනව ආයුබොවං.

12 comments:

දුමී said...

විශිෂ්ඨ සමාජ ගවේෂණයක්. හොඳට රස වින්ඳා !!

charmi said...

මේක නං එලකිරි බොලං. මේවා තව ඩිංග දොහකින් නැත්තටම නැතිවෙලා යන කාරණා. මේවා මෙහෙම වත් සමාජගත වෙන්ඩ ඕනෙ. කවද හරි කාටහරි වත් කියෝලා යමක් දැනකියා ගංට පුලුවං.

මේවා සයිබර් අවකාසෙට එන එකම හොඳ ලකුනක්. මොකද මේ වගේ එකක් ලියන්ඩ යුනිකෝඩ් බාසාවයි,ලියංඩ පුලුවං කමයි,බූරු දැනුමයි(බූරු ‍ක්රීඩාව හොඳේ),යමක් බෙදා හදා ගන්ට ඕනෑකමයි මේ සේරම තියෙංට ඕනෙ.

ඉන්ටර්නෙට් කියන්නෙ පේස්බුක් එකයි වල් චිත්තරපටියි විතරයි කියලා හිතං ඉන්න උන්ට මේවා තමා බෙල්ලෙං අල්ලගෙන ඇවිත් පෙන්නංට ඕනෙ.
(හැබැයි ඉතිං මං පුද්ගලිකව දන්න ඉන්ටර්නෙට් යන බූරු වහන්සෙලා වැඩිදෙනෙක් කොරන්නෙත් ඔය දෙකම තමා)

විකී said...

දුමී,Charmi බොහෝම ස්තූතියි. ඔබ සැමගෙම අදහස් ලැබෙන එක ඇත්තටම 'මට ලොකු තට්ටක්'

sithuwilimandiya said...

ලිපියනම් මල් හතයි ඔන්න,ඉස්කෝලේ යන කාලේ ස්කූල් බස් එකේ බූරු ගහ ගහ ගියපු විදිය මතක් උනා.හැබැයි බූරු උප සංස්කෘතියේ සමහ‍ර දේවල් මේක කියවනකම් දැනගෙන හිටියේ නෑ.

පුතා said...

බොරු නෙවෙයි පුතත් ඔය කොලේ කපන "ජාතික කිරීඩාවට" සහභාගී වෙලා තියෙනවා... දිනපු දවසක්නම් මතක නෑ... කොහේ ගියත් පුතාගේ කොලේ තමයි හම නැත්තම් බිම තියෙන එක..

Praසන්ன said...

නියම ලිපියක්...

දේදුනු ධනංජය said...

ආර්ලිස් සර්ට කථා කරන්න ඕනේ නමි
0714139057
ගණිතය ගැන උනන්දුනම්
www.ganithaya.org
www.dedunumax.info

බිඟූ...! said...

2 කොලේට - 'දෙකේ පුලුං බං, දෙක පල් වෙයි’
3 කොලේට - ‘තුන හමේ, හම නැත්තං බිම’
5 කොලේට - ‘පහ මඩේ’
8 කොලේට - ‘අට නෙවෙයි හුට

hithuwakkaraya said...

බූරුවා නොගහන
බූරු වැඩ හෙම නොකරන
බූරු පොළ වටේ යන
අම්බරුවන්ය අපි පිට ඔට්ටු අල්ලන

ආසියෝ හොයති
හේරු ඩැහැ ගනිති
පුල්ලි කුට්ටම ඇති
ඈයෝදෙගොඩට දිවිය බෙදෙති

දරු බඩගිනි නිවන
පවුලක බර දරන
නිදා වැටි වැටි යනෙන
අපි යැ විරුවන් බූරු පරදින

හිතුවක්කාරයා

ශශී said...

හෙහේ මටත් මතක් උනේ ඉස්සර ඒලෙවල් කරන්න ගිය කාලෙ අපි කට්ටිය සෙට් වෙලා බූරුවා ගහපු හැටි....
මටනම් සූදුව පිහිටන්නෙ ම නැහැ....
හැමදාම පරාදයි.. එක දවසක් දිනලා උඩ සාක්කුවෙ තිබ්බ දහයෙ කොළ ඔක්කොම අකවුන්ට් උගන්නපු පිංතු සර් අරගෙන ගියා මතකයි..
ඊට පස්සෙ බූරු ගැහුවෙත් නෑ.....
ඉස්කොලෙ කාලෙ යාළුවනවත් මතක් උනා ..
ලස්සන ලිපියක්...

Pathum Punchihewa said...

ඉතාම විශිෂ්ඨ සමාජ ගවේශණයක්... ඉතාම රසවත්. මම උපන්න පරම්පරාව වෙනකොට බූරු ගැහිල්ල අභාවයට ගිහින් මම හිතන්නේ. ඒත් එකපාරක් මට පාරෙදි හම්බුවුන "බූරු සිරා" කියලා බවුතීස්ම වුනු ඒ කාලේ සූදු කප්පිත්තෙක් කිවුවා ඒ කාලේ හොර බූරු පොළවල් වල රසකතා. ගෙදර දොරේ බඩුමුට්ටු පවා ඔට්ටු අල්ලන හැටි, පොලිසියෙන් පැන්නහම වෙන දේවල්, කාඩ් කුට්ටමටත් හොර කරන හැටි වගේ දේවල්...

අද වෙනකොට අපිට බූරු ගැහිල්ල අභාවිත සුන්දර සමාජ පැතිකඩක් වුනාට ඒ කාලේ නම් සමාජයේ එක්තරා ආකාරයක නින්දිත දෙයක් විදියට සැලකුනා කියලා මම අහලා තියෙනවා...

Chamalka said...

athi wishishtai :-) .