Thursday, March 10, 2011

හිත ගිය හිගුරු මල


පිංචි එතනා මළ පොතේ අකුරක් අදුරගෙන හිටං සද්ද කොරලා කියංට බැරි එකී වෙච්චි. ඒ වුනාට පිංචි එතනට ඇලේ දොළේ, ගහේ වැලේ, කැලේ, මලේ, සතා සීපාවගේ, රැහැයි නාදේ, හාතියල් වෙල් යායේ රැව් දුංන කුරුළු නාදේ, අව් කාස්ටකේ, වරුසාවේ, දූවිලි පුසුබේ විතරක් නෙවෙයි මෙකී නොකී  හැම තැනම  අකුරු වෙලා තිව්න කංදක් තරං දේවල් පපු කැනත්තට වැටහෙන විදිය බෝම තේරුං කොරලා කියව ගංට  සුවල්ප වැටහීමක් නෙවෙයිලු තිවුනේ ඕං. ආයිබොවං ඒ විතරක් යෑ. ඒ හැම දේම බෝම අගේට කවි කොරලා හිටං තාලෙට කියංටත් පිංචි බෝම දස්සයිලු. ඉතිං මේ කවිකාරිට බෝම මනාප වෙලා හිටං ලංදෙ දෙවැටේ පිංචිගේ හිත ගංට කියලා ගොං පස් අල්ලංට වගේ උංදෑ පස්සෙ වැටුනේ කවුද දංනවද ආයිබොවං. ඒ කාලේ ගමේ ඉස්කොලේ උංනු ලොකු ලොකු ඉස්කෝලේ මහත්තැංලු.

කොයි තරංනං දැනමුත්තෙක් වුනත් පිංචි එතනා ඒකිගෙ ආලවංතකම එහෙම ලේසියෙං පුදංට ගොහිං නෑල්ලු බොලල්ලා ලොකු ඉස්කෝලේ මහත්තැංට.

මේ කාලේ තමයි පිංවත්තේ ඉස්කෝලේ බෝම ජයට තිව්න කාලේ. කංනංගර මහත්තැං මද්ය විද්යාලෙ හදංට කලියෙං.

උඔ වගෙ එකෙක් ගමේ හදලා ආයෙත් මෙහෙ වරෙං

කියලා හිට තමයිලු ඒ කාලේ ‍සිදාදියෙං ඉස්කොලේ මහත්තැංලා ගමේ ඉස්කෝලවලට එවංනෙ. ඒ කියංනෙ, ඒ වගේම දැනුමැත්තෙක් ගමේ හදංට  කියන එකලු. හිතාපල්ලකෝ ඒ චිංතනේ කොයතරංනං උත්කුරුස්ටද කියලා හිටං. මේක වැරදියට ‍උච්චාරනේ කොරලා වෙන නොසංඩාලකං කොරාපු ගුරාලත් ඒ සංදියෙ උංනලු. මොකෑ තමං වගේ දැනමුත්තෙක් ගමේ හදංට ආව ගුරාලා තමං වගේ රූප සොභාවෙ උං තනලා හිටං පැදුරටත් නොකියා යංට ගිය කතා පිංචි දංන හිංදා.  ඒක ඒම වැරදියට තේරුං ගත්ත සමහර උං ගමේ බිංන බැස්සලු. ඔය මේ ගමෙත් සමහර තැංවල දැනුත් ඉංනේ එහෙව් ගුරාලා හැරමිටියට බර දීගෙන හිටං.

මෙහෙව් දේවල් මට කියලා දෙංනෙ මීරුප්පෙ මාම නෙව. මේව ඉතිං උංදැගේ ඉස්මරනේ අවුස්සලා, අල්ලසට බුලත්විටක් හෙම දීලා විතරක් යෑ ඒක වංගෙඩියේ කොටලත් දීලා එලියට ගත්තු දේවල් ඕංන. මීරුප්පෙ මාමා කියව්වේ පිංචි එතනා උංමාද චිත්තරා වගේ කියල හිටං. උංදැත් දැං වයසයි නොවැ සමහර විට උංමාද චිත්තරා දැකලත් ඇති. ඒ තරමට වයසයි උංදැටත්. ඒත් ඔය කීව කවියට  සීපදේට බෝම දස්ස හිටිවන කවිකාරි වෙච්චි පිංචි එතනා කෙනෙක්නං හැරමිටියෙං යනවවත් මංනං මේ ගං තුලානේ කවදාවත් දැකලා නෑ සත්තකයි ආයිබොවං.

ඔංන ඉතිං කතාවෙං ලංවෙංට බැරිවුනු සෙනේවංතකමට  පිංචිට තේරුං යන සීපදෙංම තේරුං කොරලා දෙංට තමයි දැංලොකු ඉස්කෝලේ මහත්තැං උත්සහ කොරංනේ. ඔංන දවසක්දා තනිපංගලමෙ ඇස්සර ගැටිච්චි පිංචි එතනට සිදාදියෙං ආව ලොකු ඉස්කෝලේ මහත්තැං  ඒ ගං තුලානේ සිරියාව පිංචිට ආදේස කොරල හිටං මෙහෙව් සී පදයක් කියනවලු,

හිගුරු මලයි පතනට දෙංනේ                 පිරිය
තිසරු සරයි විල මත පෙංනා                  සිරිය
සඳරු මවයි මුව මත මැවෙනා                සිරිය
බමරු පතයි අවසර රොං සුව                 රිසිය 

ඕක තාලෙට කියල හිට මීරුප්පෙ මාමා මට කියනවා,

පිංචිට ආගංතුක දෙයක් යෑ බොල කයිය, ඊට පස්සෙං පහු ඒකිත් කියාපි මේම
                                             
හිගුරු පෙති හළා පතනේ යාය            පුරා
තිසරු තටු හැලී විල මත හිදී                 බලා
සදරු මුහුන සගවයි කෙළවරේ            වළා
බමරු කුමට රොං උරනා පියුම්             තලා

ඒකෙං කියවෙලා තියෙංනේ සිදාදියෙං ආව ඇත්තංට සෙනෙහෙ පුදල ගමේ ගෑනූ වළේ වැටුනු හැටිලු
                                                       
තමං එහෙව් නොසංඩාල වැඩ නොකරන විත්තියත්, පිංචිට හැබෑවටම මනාප විත්තියත් තේරුං බේරුං කොරංට ඊට පස්සෙං පහු ලොකු ඉස්කෝලෙ මහත්තැං කියලා තියෙංනෙ මෙංන මේ සී පදේ,

හිගුරු මල සුවද නැහැයට        දැනෙනවනං
තිසරු විල රන දෑ‍හට          පෙනෙනවනං
රු  මුව සුවය  හිත කිති          කවනවනං
බමරු දුරිං ඉද රොං ‍බොන              ඕනතරං

ඒ ටික කණේ වැටුනට පස්සෙං පහු පිංචි බෝම පැහැදුනාලු නෙව ඉස්කෝලෙ මහත්තැංට. එදා ඉදං ඒ ආලවංතකම ලියලංට ගත්තලු. ආයිබොවංට මං කීව නෙව කමවදාකවත් මං පිංචි කෙනෙක් ගමේ දැකල නැති විත්තියක්. මං ඉතිං ඇහුවා මාමංඩියාගෙං,

මාමංඩි දැං ඉතිං ඒ පිංචි කොයි කියලා හිට.
උංදෑ කියාපි,

ලොකු ඉස්කොලෙ මහත්තැං කැටුං දීගතල ගියෑයිං පහු  මාත් නොදැක්ක එකී;  තෝ වගේ කජුකිරි කොල්ලංට කොහෙ ඇස්සර ගැටෙංටද බොල?

Wednesday, March 2, 2011

මද්දුවාගේ කුකුල් කේංතියේ හැටි

මතකද සුරා ගුරුංනාංසෙගෙ දෙවනි කොල්ලා මද්දුවා. උංගෙ අම්මගේ ගමෙංම මේකත් ගෙනාවා කියහල්ලකෝ ගෑනියක්. ඒ කියංනෙ කැතිගානාකදුරෙංම. උගෙ අයියංඩි ඒ කිව්වෙ ලොක්කා කාංතිව ගෙනාවෙත් ඒ ගමෙංමයි. දැං ඉතිං බාල කොලුවත් ඒ කිව්වෙ බාලෙත් උස්සං එයිද දංනෙ නෑ ඒ ගමෙංම එකියක්. ඒවා පස්සෙ බලමුකො. ඉතිං මේ මද්දුව කුකුල් කේංති කාරයා. ඉස්සර මේක ලොක්කත් එක්ක තිවුණ ආරෝව සුරා විසදව්ව හැටි මතකයි නෙව.  ඒත් මේකා මේ හොදට ඉංනවා, මේ තදවෙනවා.මේ තදවෙනවා, ආයෙ හොදයි.

කැතිගානාකදුරෙ පොඩි එතනගෙ දෝණියැන්දෑ මාලා. මේකා ඉතිං මුගෙ අම්මයේ, ඒ කියංනෙ ලමසගෙ මහ ගේ දිහාවේ, වත්ත පිටියට ගියෑයිං පස්සෙං පහු, ඇයි හොදයි කං පාපු එකියක් තමයි මාලා. හැමදාම දකින කුකුළයේ කරමලේත් සුදුයිලු නෙව. පුංචි සංදියේ හිටංම ඇස්සර ගැටිලා, සෑහෙන කාලයක් දැන ඇදිනිංකං තිවුණ හංදා, මේකට ඉතිං එක වහලක් යටට ආවත් මාලගේ වැඩි වෙනසක් දැණුනේ නෑ ඕං. ඒ හංදාම පොඩි පහේ ආරෝවල් හෙමත් ඇත්වෙච්චි. මොකෑ මද්දුවත් කුකුල් කේංති කාරයා නෙව. ඒකටම හරියංට මේ ගං පළාත්වල ආයිබොවං ඒ සංදියේ  ගෑණු, ගොළුබෙල්ලා කට්ට ඇතුළට රිංගංනහේ පොඩ්ඩ ඇත්තං ඒකිලාගෙ අම්මයෙ තුරුලට යංටම තමයි බලව්වේ. (ඒ සංදියේ බොලල්ලා, දැං ගෑණූ ‍ඒ අතිං හොදයි) ඒ හංදම ඇබිත්තං ආරෝවත් ලොකුවට අරං, කෙහෙවැලෙං අඹරලා හිටං හොම්බට දෙකක් මිනිහට කියලා ඇණ ගංන තැනට වැඩ සිද්ද කොරවා ගංනවා. ඉතිං මද්දුවාට කියලත් මේ යෝදී මාසෙකට හමාරකට සැරයක්වත් මේ ආසාව ඉස්ට කොරා ගත්තා. සුරා ගුරුංනාංසෙයි ලමසයි එක්කම, මහ ගේ ම තමයි මෙවුනුත් උංනෙ. ඉතිං මේ හඹේ සුරා ගොයියටත් ඇහුනා.

ඒ කාලේ නං මේ වගේ පුරස්නවලට සුරා බෝම අගේ ඇති උත්තර දුංනා නෙව. ඒත් මේ හඹේට හොට දාංට සුරා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ ලමසත් ඉතිං මේවයෙ වගක් ගත්තේ නෑ කියමුකෝ. ඒ උංදැයේ හැටි නෙව. අනික් අතට පොඩි සංදියේ ඉදංම මද්දුවා කුකුල් කේංති කාරයා වග ‍උංදැලත් දංනව. මේ නහුතෙට නගිනවා. ඩිංගෙං හොදයි. මේ හොදයි, ආයෙත් තහුතෙට නගිනවා. ඉතිං මේකගේ මැද්දට පැනල කොයි වළට යංට වෙයිද කවුද දංනෙ. ඊට මීට වැඩිය හොදයි නෙව කරබාං ඉංන එක.

ඔංන ඔය අතරෙ ඉතිං මාලා කැංදං ඇවිල්ලා හිටං පෝය හදවල් දෙක තුනක් ගතවුනාම මේකි ගැබ්බරත් වෙච්චි. දැං නං ඉතිං මාලට ආපහු කැතිගානාකදුරේ අම්මලාගේ දිහාවේ යංට තදිංම දොළදුක. කීප සැරයක්ම එහෙ යංට මද්දුවාට කිව්වත්; ‍ඒක උගේ මේ කණෙං රිංගලා අනික් කණෙං එළියට ගියා ඌටත් නොදැනීම.

ඉතිං මේ හංදාම මාලා, කොහොමිං හරි ලැවැංනක් අරං මද්දුවාට කියලා හොම්බට දෙකක් අන්නවා ගත්තා. ඒ කොරලා හිටං ඇදුං කඩමාලු ටිකයි, බඩගෙඩියයි උස්සං යංට ගියපි කැතිගානාකදුරේ. 

ඒ කොරලා හිටං, පොඩි එතනට; කදුළු පෙරාගෙන, එක දෙක කොරලා හිටං කියපි,

‘අපෙ අම්මා මද්දු හරියකට මාව බලංනේ නෑ. ඒ හංදා මං ගෙදර ආවා

කියලා හිටං.  පොඩි එතනත් ඉතිං වැලේ ගෙඩි වැලට බර නෑ කියලා හිටං මේකි තියං ඉංන බඩ ගෙඩිය ගැනවත් නොහිතා ඒකිව තියා ගත්තා කියමුකො.

ඕං ඉතිං දැං මද්දු තනියෙං රාත්තිරිය ගෙවනවා. හිතේ ජවෙං රාත්තිරියත් ගෙවුනා. දැං මුගේ කේංතිය අහවරයි. ඊට පස්සෙ රාත්තිරියේ නින්දක් නෑ මද්දුවට. ඇහැ ඇරුන හැටියෙම අත ගෑවෙංනෙ පැදුර. ඉතිං දෙවනි රාත්තිරියෙත් පැදුරෙ පලුවක්ම හිස්.  මුගෙ පපුව හෝස් ගානව; ඒ හිස් පළුව අත ගෑවුනම. ඉතිං මද්දු තීරණේ කොරා පහුවදා මාලා එක්කහු කොරාන එංට උදැහැනැක්කෙම කැතිගානාකදුරේ යංට. මොකෑ ගංටාරේ වදිද්දිවත් ගෙයිං පිටත් වෙංට ඕනේ කලු අප්පුගෙ අත්තමට යංට. මේ වැඩේ හංදා මාලත් කැටුං අවුදිං අත්තමට යංට වෙංනෙ හෝරාවක්වත් සුනංගු වෙලාම තමයි.
 
ඉතිං පහුවදා උදහැනැක්කෙම  මද්දු මාලගෙ ගෙදෙට්ට ගොඩ වෙච්චි. වෙනදටත් මාලා රොස් වෙලා හිටං කැතිගානාකදුරෙ ගියාම මද්දු කොරංනේ මේ විදිහම තමයි. හැබැයි වෙනදනං වේලකට නැංදම්මගෙ බතුත් කාල හිටං තමයි මාලවත් කැටුං ගෙදර එංනෙ.


මාලටත් බෝම සතුටුයි  මද්දු දැක්කම. ඉතිං මද්දුට නොපෙනෙංට වාං වෙලා අම්මට කිව්ව මද්දු ආපු වග. පොඩි එතනටත් සතුටුයි මද්දු ආව එකට.  ගෙදර උංදෑ බඩදරු උනාම සුවාමියත් එක්ක ඉංන එක නෙව වටිංනෙ. ඉතිං මද්දුත් මේකම තමා හිත හිතා උංනෙ. ඔය අතරේ පොඩි එතන මද්දු ඈදී ගෙන උංනු පිල්කඩ ළගට ආවා. අවුදිං හිටං බඩ දරු ගෑණියෙකුට සුවාමියා සලකන පිළිවෙල මද්දුට කියලා දෙංට තමයි හරි බරි ගැහුනේ.

ඒ අල්ල පනල්ලේ මද්දු කියනවා,

‘නැංදංමා මාලට එංට කියාපල්ලකො. මං මේ උදැහැනැක්කෙම ආවෙ මට අත්තමකට යංට තියෙනවා. ඒ හංදා වැඩි වෙලා හිටිංට විදිහක් නෑ.’

කියල. දැං මද්දුවාට අර පරණ සිද්ද වෙච්චි දේවල් ඔක්කම අමතකයි. ඒ උගෙ හැටිනේ.

ඒ උනාට මොකො මොන හදිස්සිය තිවුනා වුනත් පොඩි එතනට ඒව ඒම අමතක කොරලා හිටං මාලව පිටමං කොරංට බැහැ නෙව. මුං ඉංට ඕන පිළිවෙල කියල දීලා යවංටත් එපෑයෑ. හෙට අනිද්දට දරු මල්ලෝ එක්කං ජීවත් වෙංට ඉංන උං නෙව. ඒක හංදාම මද්දුට මාලා කැටුං යංට දෙංට කලියෙං පොඩි එතන මේ විදිහට කිව්ව.

‘ඈ මද්දු උඹත් එක්කං දීග ගියෑයිං පස්සෙං පහු මාලා ඔය කී පාරටද ආපිට ආවේ.’

මද්දුවට මේවයෙ වගක් තියෙන එකෙක් ඈ. ඒ හිංදා කියනවා.

‘ඒ ගැන ආයේ මොනවට කියනවද නැංදංමා. මාලාට එංට කියංට. මට සුනංගු වෙනවා.’

‘එහෙම කොහොමද, උඹ දංනවද මාලා පෙරේදා ගෙට ගොඩ වෙද්දිං මොනවද කියාන ආවේ කියලා හිටං, ඒ හංදා ඒකිව ඒම ඔනෑ විදිහට කැටුං යංට දෙංට බෑ.’

කියලා පොඩි එතන බෝම සැරෙං ඒ ගමන කිව්වා. මද්දුවත් කුකුල් කේංති කාරය නෙව. එහෙං අත්තමට යංට සුනංගු වෙනවා මෙතන වාද කොරව්වොත්. එහෙං නැංදංමා වුනත් ගෑණුංගෙං බැණුං අහංට. ඉතිං දැං මද්දුවගෙත් හීමාව පනිනවා පොඩි එතනගෙ මේ වැඩ හිංදා. මද්දුවත් ඇබිංදක් සුවරෙ වැඩි කොරලා ඇහුවා,

‘හා හොදයි කියාපං නැංදංමා, මොනවද මාලා කියං ආවේ උඹලට.’

උංදැත් හයියෙංම කියපි


‘කියං ආවෙද? උඹ ඒකිව හරියකට බලං නෑල්ලූ.

දැං මද්දුට හීමාව පැංනා. දැං මූට මතක් වෙංනෙ කුණු හංබ. ඒ ගමන මූ ඇස් දෙකත් ලොකු කොරලා, කට හීංකොරලා,  පොඩි එතනගේ ළගට බෙල්ල දික් කොරලා හිටං,

‘මට බලංට පුලුවං විදියට තමයි ඔය බලලා තියෙංනෙ. මං බලාපු හැටියට ඔය වෙලා තියන දේ මදෑ. උඹත් ඒනං.............. ඕකිගෙ ඇදුං ටික ගලවලා හිටං හොද.............ට බලා ගංනිං.’

ඒම කියලා මද්දුවා කලු අප්පුගේ අත්තමට ගියා.