Saturday, September 11, 2010

සුරාගේ කසාදේ......................



සුරාගේ අක්ක එතනා දීග දීලා ගොඩක්කල්, මැණිකත් එහෙමයි. සුරාගේ මඟුල් පරක්කුවට හේතු වුනෙත් මේ අක්ක නගෝගේ දීගදීම. උන් දැන් බෝම ජයට ඉන්නවා ගොයිතැං බත් කොරාන, දරු මල්ලො හදාන ගිය ගිය තැංවල. සුරාගේ වගක් උන්ට නෑ. බැරි බැරි ගාතේ නමුත් සුරාගේ අම්ම තවමත් සුරාගේ තනියට ගෙදර ඌත් එක්කං ඉංනවා.  සුරා මේ වෙද්දිත් “කැතිගානාකඳුරේ ලමස එකී” ත් එක්ක පෙම් පළහිලව්වක පැටලිලා උන්නේ. ලමසගේ අම්මා එක දවසක් පන්සලේදීත් මේ ගැන සුරාගේ අම්මට කියලා තිබුණා. ඒත් උන්දැට ඒකේ වගක් නෑ. උන්දෑ හිතව්වේ සුරා කොලුවා ඕවට ඉක්මං නැති ගානට.
සුරාටත් මේක උගේ අම්මට කෙළින් කියංට හිත දෙන්නෙත් නෑ. සුරාගේ ඉළංදාරි නඩේ එවුමුත් දැං පවුල් පංසල් වෙලා හිටං තැං තැංවල. ලමසගෙනුත් හැමදාම කන්දොස්කිරියාව ‘මාව එක්කං පලයං උඹළගේ දිහාවට’ කිය කියා. වෙලාවකට සුරාට හිතෙනවා “යන කැකිරි වත්තකිං යන්ට” කියලා ලමසව ගෙදර උස්සං යංට. ඒත් ඌට මේක අම්මගේ කටෙංම කියලා ලමසලාගේ ගෙදෙට්ට, ඒ විදිහට පිළිවෙලක් වෙන එක ගැන තමයි සුරා හිතුවේ. මේක අම්මා අහංනෙත් නැති එකේ අම්මට කියංට කට ඉස්සර කර ගංට ඌට කොච්චර මහප්පරානකාරය වුනත් හයිය තිවුනේ නෑ ඕං.

ඉතිං අම්මගෙංම ‘පුතේ දැං උඹ පෙළවහක් කොරගනිං’ කියලා කියවෙන තැනට වැඩ කොරන්ටයි සුරා දැං තනංනේ.

සුරා දැං දානවා පොඩි පහේ උප්පරවැට්ටියක්. සුරා ලමසලාගේ දිහායිං හරි කඩමංඩියෙං හරි බඩ පුරෝගෙන ඇවිත් අර අහිංසක අම්මා තම්බලා තියන එක නොකා, නොකා නොබී සෝකෙං ඉංන ගානට උපවාසෙං නිදා ගංනවා. එතකොටවත් මුංදැට දැනිලා  ‘පුතේ දැං උඹ පෙළවහක් කොරගනිං’ කියලා කියයි කියලා හිටං. දවස් දෙකක් විතර ගියාම අම්මට තේරුණා පුතංඩියාගේ වෙනසක්. මේක දැං ‍දවස් දෙකක්ම නොකා නොබී හාමතේ නිදාගත්තේ. අම්ම කියනවා එක දවසක් උදෙං කුඹුර දිහාට යංට යන සුරාට,

‘මයෙ පු‍තෙ පොඩ්ඩක් නැවතියංකො කියලා.’

සුරාගේ “ඉහේ මල් පිපුනා” උප්පරවැට්ටිය හරි. දැං අම්මා කියයි ‘පුතේ දැං උඹ පෙළවහක් කොරගනිං’ කියලා. එහෙම හිතං නැවතුන සුරාට අම්ම කියනවා

‘පුතේ උඹ දැං දෙදොහක්ම හාමතේ. අජීරණයක්වක් තියෙනවනං වෙද රාළ හම්බවෙලා කසායක් හදාන වරකො’
කියලා. සුරාට හොද පද සිහිවුනා. කියංට ඈ මව්ට.

‘හොදයි අපෙ අම්ම’    කියලා හිටං සුරා යංට ගියා.

ඒ උපාය හරි නොගිය එකේ සුරා හිතව්ව වෙන උපායක්. මූ එදා රාත්තිරියෙ කලියෙංම නින්දට වැටුනා. සුරාගේ අම්ම තාම ඇස් ඇරගත්තු ගමං. සුරා දන්නවා අත් දැකීමෙංම ඌ ගොර අදිංට ගත්තු ගමං පානත් අරං ඇවිත් අම්ම සුරා ළගට කිට්ටුවෙලා උගෙ මූණ බලලා යන වග. දැං මූ බොරුවට ගොර අදිනවා. අම්මත් පාන උස්සං ඌ දිහාවට ඇවිත් හිටං උගෙ මූණ බලලා යංට හැරුන. එතකොට මූ හීනෙං වගේ,

ග්... රොං..... ග්ර්.......

ගාලා ගොර ඇදලා හෙම, හීනෙං දොඩවන ගානට මෙහෙම කියනවා

‘ම්.... හ් ..... ලමසා........, අම්මටත් එක්කම කහට වක්කොරපං............. ම්...හ්....ම්......කොයි, කොයි, අපෙ අම්මා පැත්තකිං ඉංට ලමසා බත් ටික ලිපේ තියයි........’

එහෙම කියපු සුරා ආයෙත්,

ග්...... රොං........ ග්ර්.......කියලා ගොරවංට ගත්තා.

ඒක ඇහුන ගමං අම්මගේ සිහියට ආව එක පාරටම ලමස කෙලීගේ මව් පංසලේදී කියපු කාරණේ. ‘මම ඒක එච්චර තකව්වේ නෑ නෙවද?’ කියලත් උන්දැට හිතුනා. මෙච්චර කාලයක් මෙකගෙ තිබුන සාංකාවට හේතුව හෙනං මේකයි. මට ඒකේ වගක් නිච්චි නැති වුන හැටි අම්මපල්ල.................මේකා හීනෙනුත් ඉංනෙ එකීත් එක්ක නෙව හැබෑට............... කියල සුරාගේ මව් විස්සෝප වුනා.

පහුවදාට එළිය වැටුනා. සුරාත් ඇස් ඇරියා. අම්මා කලිංම නැගිටලා රෙද්ද හැට්ටෙ ඇදං පිළිවෙලකට උන්නා. එහෙම ඉදං උංදෑ කියනවා,

‘මයෙ පුතේ උඔ කුඹුරට යංට කලියෙං කාලා හිටිං. මම කැතිගානකඳුරේ යනවා ලමසා එකිගේ දෙමව්පියංට කතා කොරංට. උඔත් හවහ ඒ පැත්තේ පළයං’  කියලා.

ඕන්න සුරාගේ කසාදේ තීන්දුවුනේ ඔය විදිහටයි.

5 comments:

charmi said...

කතාව නම් ෂෝක්. හැබැයි අකුරු නම් පේනවා අඩුයි. ෆොන්ට් කලර් එක ටිකක් බලන්න.

විකී said...

ස්තුතියි charmi. font කලර් එක වෙනස් කලා

අනුෂ්ක තිලකරත්න said...

මාර පැලෑනක් නෙ බොලව්....

Anonymous said...

විකී...

කලු පසුබිමේ සුදු අකුරු කීයවන එක ඇහැට අමාරුයි...පුළුවන් නම් පසුබිම් වර්ණයට ලා පාටක් දාල ඒකට ගැළපෙන පාටකින් ලිව්ව නම් පංකාදු පහයි ..

.සී. ජේ

විකී said...

සී.ජේ.

මම font color මාරු කළා.