Wednesday, September 1, 2010

සුරා ගුරයි - කිරා හොරයි    


ඔන්න ගම පුරාම ගම්මිරිස් ගස්වල කරල් ලේ පාට වෙන්ට ගත්ත කාලේ.  ගුරුන්නාන්සේටත් මොණරු ඉන්න කොළවල හැඩහුරුව හීනෙන් පේනවා දැන්. වත්ත පුරා රවුමක් දැම්මා ගම්මිරිස් කඩන්ට කලිං  වත්තෙ වැවුන හුලංතලා, බලුනඟුටා ගස් ටික කපලා දැම්මොත් හොදයි කියලා කල්පනා කළා. ඒ වුනාට මොකද කොන්ද ඇවිලිල්ලක් අල්ලලා නැමෙන්ට කියන්ට වාරු මදි ඇඟට. මොකාටද මේ වැඩේ බාරදෙන්නේ කියලා දෙසරයක් කල්පනා කළේ ගමේ කුළී අත් උදව්කාරයින්ගේ තරම දන්න හිංදා. පොල් ගහක යැව්වොත් උං බැල ගෙඩියට අමතරෙං, වංචාවට කුරුම්බයක් හරි අරගෙනමයි යන්නේ. ‍අන්තිමට සිහියට ආවේ කිරා. හැබැයි කිරත් ආදා විත්තිය මුන්දැ හොදටම දන්නවා. ඒත් සුරා ගුරුන්නාන්සේ හවහ ගියා කිරාට පයිංඩෙ කියන්ට.

‘කිරො ගම්මිරිස් ටික පැහීගෙන එන්නේ; වැල් ළගට කිට්ටු කරන්ට අමාරුයි කැලෑව වැවිලා හින්දා. මට වැඩ කොරන්ට අමාරුයි මේ කොන්දෙ ඇවිලිල්ලක් හිංදා. උඹ උදෙං ගොහිං සුද්ද කරල දාපං’

කිරා වැඩේ බාරගත්තා. උදේම ගියා සුරාගේ වත්තට. කපන්ට පටං ගත්තා කැලේ. අනේ දුකේ බෑ. බලුනගුටා, හුලංතලා ගස්යට ඉදිල වැටුන ගම්මිරිස් කරල් කිරාට හිනාවෙනවා. කිරා මේක නොදැන වත්තට ආවා හෙම නෙවෙයි ඕං. ඒ හිංදාම ගෙනාපු පොහොර උරේ කැහැපොටෙං එළියට ගත්තා. කැලේ කැපිල්ල පැත්තකට තියලා පැය බාගෙං පුරව ගත්තා උරෙං බාගයක්ම.

මේක උස්සං පල්ලං බැහැලා ආයේ කන්දෙ නගිංට වෙලාවක් නැහැ. ඒ හිංදා කිරා වැඩිය කාටවත් ඇහැ ගැහෙන්නේ නැති තැනෙකිං මේ ටික තියලා ආයේ පාඩුවේ වැඩ. රෑට බැරියෑ අරගෙන යංට කියලා හිතාන.

 ඔන්න කිරා වැඩ පටං අරං පැය දෙක තුනක් ගියාට පස්සේ කිරාට තේ කහටත් අරං සුරා ආවා වත්තට. කිරා අගේට වත්ත සුද්ද කරනවා. හවස් වෙද්දි තියෙයි මල් හතට. තේ කහට පැත්තකිං තියපු සුරා ගුරුන්නාංසේ තමං ආව බව අඟවන්ට උගුරහෙම පාදලා ගම්මිරිස් වැල් බල බලා වත්ත පුරා යනවා.

මෙහෙම යන ගමන් කල්පනා කොරනවා ‘මේකා හොරාට දර මිටියක් හරි බැදලා නොතිබ්බොත් තමයි වහින්නේ’ කියලා. මෙහෙම යන සුරාට කිරා නොපෙනෙන පැත්තකදි අන්න ඇහැ ගැටුනා සර්පයා. ගිහිං පොහොර උරේ කට ඇරලා බැලින්නං ගුරුන්නාංසේටත් හිනාවෙනවා ගම්මිරිස්. සුරාට එක පාරටම හිතුණා

‘යකෝ මේකා උල තියංට එපෑ’ කියලා.

ඒත් එක්කම හිතුනා. ඇස්වහක් කටවහක් නෑ මේකගෙ කැලේ කැපිල්ලත් මල් හතයි. අනෙක මේ ටික එකතු කොරන්ට .......දවසක් යන වැඩේ. කෝමද මේකා තරහ කොරගෙන. අනෙක් අතට මම කොහොම පල්ලම් බහින්ටද මේ පොහොර උරෙත් කර තියං මේ කොන්දේ රුදාවත් එක්ක කියලා. ඒත් උපායකටත් එක්ක බැරි බැරි ගාතෙන්ම ගත්තා පොහොර උරේ දකුණු අතෙං. ඇදං ගියා කිරාට පේනකං විතරක් ටික දුරක්. කිරා තේ කහට බොනවා.

කිරාගේ  ඇහැ ගැටුනා පොහොර උරෙත් ඇදං ආව සුරා. ඌට හීං දාඩිය දැම්මා. හොරකම මාට්ටු. මොකින් මොකක් වෙයිද දන් නෑ කියලා. කිරා ළගට ආව සුරා ගුරුන්නාන්සේ ඌට මේ ගැන කියංට ඉක්මං වුනේ නැහැ. ඒකේ වගක් නැතුව තේ කහට වක්කරං බොන ගමන් මෙහෙම කියනවා.

‘ඈ බං කිරා. උඹ තමා නියම අත් උදව්කාරයා. ඒකනේ මම උඹටම වැඩේ බාරදුන්නේ. වෙනිං එකෙකුට වැඩේ බාරදුන්නනං හෙම....... ඔය ගම්මිරිස් ටික අහුලන්ට වෙනම දවසක් ගන්නවා. අනේ, කිරෝ තරහ නැතුව කෑමට එද්දිං අරක  උස්සං ඇවිත් ගෙදර මිදුලේ පැදුරක් එළලා; වනලා දාලා වරෙං අප්පච්චි. මගේ කොන්දෙ රුදාව හිංදා; නැත්තං මං උඹට කරදර කරන් නෑ බං.