Thursday, December 30, 2010

තනිකඩයගේ පැල් කවිය

ඔංන කාණ්ඩෙම අවුරුද්ද ගෙවෙංට කලියෙං මීරුප්පේ මාමා කිව්ව පරණ කාලේ කවියක් කියවල ඉමුකො හෙනං. ඒකාලේ පැල් රැකපු තනිකඩයෙක් තමංගෙ හිත ගිය ළමිස්සිට ඇහෙංට කියාපු කවියක් කියලා හිටං තමයි මාමාණ්ඩි මේක කියව්වේ. රෑ හඳ කාලෙක තනිපංගලමේ පැලේ ඉංදැද්දිං පෙනුන දැනුන දේවල් එක්ක හිත ගිය ඇත්තී ගැන කියවුනු කවියක්ලු මේක.
තනිපංගලමේ පැල් රකින මේ හාදයගේ දෑහට පේනවා කන්ද උඩිං පායාගෙන එන හඳ. ඒ හඳ දැකලා හිටං උගෙ සිහියට එංනේ තමංගෙ හිතේ ළගින ආදරවංතිය. හැබැයි කොච්චරනං ආලවට්ටං දැම්මත් මේකි නෙවේ ඒවට ඇල්ලෙංනෙ. ‍දැං මේ රාත්තිරියේ කොඳ මල් පිපිලා ඒ සුවදත් මේ හාදයට දැනෙනවා. පැල් රකින එකා එංනේ නිදා ගංට බලාන  නෙවේ නෙව. ඌ රාත්තිරිය අවදියෙං ඉංට ඕනේ. මේ අහන දකින දේවල් එක්කං නිදාගංට උවමනාව තිබුනත් මේ හාදයට නිංද අහලටවත් ආවේ නෑ බොලව්. ඒ හිංදාම සිහියට ආව සාංකාව උංදෑ පිට කොරව්වේ මෙංන මේ විදිහටලු ආයුබොවං.
කන්දටත් උඩින් පුන් සඳ මෝදු             වෙලා
මන්දටත් නොඑන සාවිය හිදී                   බලා
ළන්දටත් දැනේ කොඳ මල් සුවඳ             ගලා
                              නින්දටත් ඉතිං මට දැං කොහෙද           වෙලා

Thursday, December 23, 2010

සුරා ගුරුංනාංසෙ තෙල් සාත්තු කොරාපු හැටි

කාලෙං කාලෙට  ගමේ කොල්ලංගේ කටවල් අගට එක එක විදිහේ පද එනවා. තැන නොතැන බලං නැතුව එව්වා ඔහේ කියවන එක උංට මහා වීරකමක් වුනා. එව්වා මම උඹලට  අමුතුවෙං කියා දෙංට ඕනේ නැ නෙව. ගහ දංන එකාට කොළ කඩා පාංට ඕනද? ආප්ප කෑව ඈයොංට ඒකේ ඇදලා පෙංනංට දෙයක් තියනවා යෑ. ඉතිං වැඩිය කරුණු කාරණා නොකියා කෙළිංම කතාව කියංනං.
ගමේ ඇතුළට වෙංට තියෙනවා තුංමංසලක්. ගමේ කොයි රස්තියාදුකාරයගෙත් නවාතැනක් ඔතන. මුං දෙගොඩහරිය වෙනකං වැඩක් ඇතා නැතා මෙතැන ලගිනවා. එක අතකට ගම මැද මුං ලගින එකත් හොදට හිටින වෙලාවලුත් තියෙනවා. ඒවා පස්සේ වෙන දවසක කියංනං.
දවසක් රාත්තිරියේ හද පායපු දවසක තෙල් සාත්තුවකට ගිය සුරා ගුරුංනාංසේ බෝම තෙහෙට්ටුවෙං ගෙදරට ගාටනවා. දැං වයසත් බෝම වැඩී නෙව. ඉතිං මේ අල්ලපනල්ලේ ගමේ ඉළංදාරි නඩේ හංදියේ රොක්වෙලා උංනා. බෝම තෙහෙට්ටුවෙං අපේ සුරා ඇත්තත් හද එළියෙම හංදිය ලගිං යද්දිං එතැන උංනු  එකෙක්,
‘මාමණ්ඩි බෑරකට ගියාද?’
 කියලා හිටං ඇහුවා කියමුකෝ. ඒ කතා කොරේ “දොඩංපහේ කළු බාස්ගේ ලොකු කොල්ලා බව සුරා අදුනා ගත්තේ පේන නොපෙනෙන හද එළියෙං‍ නෙවේ කට හඩෙං.
‘ඔව් බොලං තෙල් සාත්තුවකට ගියා; තෙහෙට්ටුයි යංඤං.
කියලා අඩි තුන හතරක් යද්දිං සුරාට ඇහුණා එකෙක් යංතමට හීනියට  අහනවා
‘මොකෑ තෙහෙට්ටු ජංගිය දාලා නෙවේද තෙල් සාත්තු කොරව්වේ’
කියලා.
මේක අර මුලිං කිව්ව වගෙ මුංගෙ කාලෙං කාලෙට කියන පදයක් නෙව. ඒ කටහඩ “වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ වග සුරා බෝම හොදට අදුරගත්තා ඕං. සුරාට මේ වචනෙ එක්ක බෝම නහුතෙට තදවුන අතීතෙකුත් තියෙනවා බොලව්. අමතකනං මෙතන ඔබපල්ලකෝ. දැං මතකනේ. සුරා කියංනේ හිතේ කුණු ඉතුරු කොරා ගංනෙ නැති මිනිහෙක් උනාට මෙංන මේ අතීතේ හිතට ආව හංදා සුරාට මේක හිතේ පැල පදියං වුනා කියල තමයි මේක මතක් කොරන ගමේ එව්වෝ කියංනේ. ඒත් සුරා කට ඉස්සර කොර ගංනේ නැතුව මේක ඇහුන නෑහුන ගානට උගුර පාදලා යංට ගියා. කොල්ලො රැළ මහ හයියෙං හිනා වෙනවත් ඇහුනා.
දැං මේක සිද්ද වෙලා පෝයෙං පෝය ගෙවුනා කියමුකෝ. දැං ඉතිං කොල්ලොංටත් මෙව්වා අමතකයි.
ඔහොම කාලේ යද්දිං වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ දත් වෑ ගෙඩියක් අවුදිං කකියනවා කියලා හූ තියෙනවා. බොලාලා දංනවා නෙව සුරා  ඔය වගේ ඇගේ පතේ අපාසුකංවලට තෙල් මතුරංට හෙම සූරයා කියලා හිටං. කොල්ලගේ කන්දොස්කිරියාව ඉවසංට බැරුව දැං මැද්දුවා කොල්ලව ඇදං යනවා සුරාට කියලා තෙල් සාත්තුවක් කොරා ගංට. උගෙ නඩේ උං ටිකකුත් මේ පිටිපස්සෙං යනවා ඉතිං. ආයුබොවං මෙව්වා ගං. ඒ කාලේ හංදි ගානේ ඩැංටල් කිලිනික් තිව්නේ නැහැ. තෙල් සාත්තුව තමයි ඉතිං ඔහොම තැංවලට ටක්කෙටම හරි ගියේ. දැං මේ මැද්දුංගෙ කොල්ලට ලෝකෙම අමතකයි දතේ වේදනාවට.  ඉතිං මැද්දුවා සුරා ගුරුංනාංසේට බුලත් අතක් හෙම දීලා කොල්ලගේ ගාය ගැන කීවා. මේ අල්ලපනල්ලේ සුරාට පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියත් මතකෙට ආව ඕං. ඒක මුලට ගංනෙ නැතුව ගුරුංනාංසෙත් ඉතිං ගේ ඇතුළට ගොහිං ටිකකිං දෙහි ගෙඩියක් මතුරං අවුදිං; කොල්ලගේ කම්මුලේ තෙල් ටිකක් උලලා හිටං ,
‘මෙංන මේක හපාපිය හක්කෙං; ඒ කොරලා හිටං කෙල ටික ගිලපං.’
කියලා  දෙහි ගෙඩිය කොල්ලට දුංනා. ඌත් ඔංන හූල්ලන ගමංම හැපුවා දෙහි ගෙඩිය හක්කෙං “ චරස් ගාලා. ඌට ඒක ඇඹුල් වගක්වත් දැණුනේ නෑ  වේදනාවෙ දරුණු කම හංදා.
ඇස් වහක් කටවහක් නෑ බොලව් ඒක හපලා කෙළ ටික ගිල්ලා විතරයි මේකගෙ වේදනාව අතුරුදං වුනා කියපල්ලකො. මැද්දුංගෙ කොල්ල දෙයියෙක් දැක්ක ගානට දනිං වැටුනා සුරාගෙ ඉස්සරහ. මැද්දුවත් බෝම පිං දීලා දැං සුරාගෙ ගෙදරිං යංට යනවා. ඒ යන ගමං මැද්දුං කියනවා ,
‘අනේ ගුරුංනාංසේ නොහිටිංට මේකා මහ ඉස්පිරිතාලෙටම උස්සං යංට වෙනවා නෙව. ගුරුංනාංසෙට බෝම පිං අයිති වෙනවා මේ කොරන සේවෙට. උඔලා මේ වෙදකං කෝම කොරනවද කියලා අපටනං හිතා ගංටවත් බෑ ඕං.
ඒක හැබැයි කියලා කොල්ලොත් ඔළුව වනනවා. පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියට මේකට පාඩම උගංනංට දැං ඉතිං වෙලාව හොදා කියලා හිතපු සුරා, මෙහෙම කියනවා.
‘හොදා හොදා ගොහිං වරෙල්ලා; හැබැයි....................මද්දුවාගේ එකො ................. උඹ දංනවද? මම උඹට අද වෙදකං කොරේ නං; අර එදා රාත්තිරියේ හංදියේදී උඹ දාලද අහපු එක ඇදගෙන  නෙවේ බොල.

Tuesday, December 21, 2010

පිච්චිය නැති අල්ලපනල්ලේ ලමසත් කොරන වැඩ




කැතිගානාකදුරේ ගමෙං කැංදං ආපු ලමසා තමයි සුරා ගුරුන්නාංසෙගේ අඹුව. සුරා ගුරුංනාංසෙට කොයි එකටත් ඉංන සිරිදුව උනෙත් ඉතිං උංදෑම තමයි. සුරා ගුරුංනාංසේ වළ පයයි ගොඩ පයයි තියං ඉංන අල්ල පනල්ලෙ උංනැ හදිස්සියේ හහ් ගෑවොත් ඒම ලමසගෙ කයි කතංදර බොලාලට කියන එක බොරු.  ඒ හංදම උංදෑ ගැනත් වටිං ගොඩිං කියලා තියෙන එක ඇගට ගුණයි කියලා හිතුන හංදා එහෙම කොරංට හිතා ගත්තා ඕං. හැබැයි මේක උංදැගෙ කෙරුවාවකට සුරා දුංනු උත්තරයක් බෝම ඉස්සර.


ගමේ කොයි එකාටත් ඉතිං නැතිබැරිකං කියන ඒවා උපදිනවා නෙව, හිටි අඩියෙම. ඉස්සර කාලයක් සුරාගේ ගෙදෙට්ටත් නැතිබැරිකං ගොඩවෙලා උංනා කියමුකො. ඉතිං වැඩියෙංම නැතිබැරිකං තිවුනේ ගේ ඇතුලේ කුස්සිය පැත්තෙ. පිටිං ගේන ලුණු, සීනි, කරවල ටික බෝම හිපාඩුව දැණුනා. ඇගේ පතේ වේස නිවාගංට රණවරා, පොල්පලා ටිකක් හරි, කෝපි කෝප්පයක් හරි බී ගංට සීනි ඩිංගිත්තක් ගේ හරියේ නැති එක බෝම තදේටම දැණුනා. කුඹුරේ පිටියෙං හාල් ටික පොල්ටික, පළා ටික ලැබුන හිංදා වගෙම වැලි කාලා හරි ඉංට පුළුවං විදිහට දරු මල්ලො හැ ගැහිලා උංනු එක මේ හැම එකටම බෝම ඉස්පාසුවක් වුනා.

ඉතිං පිටිං අඩු වැඩිය ගංට සුරාට පිච්චිය නැති කාලෙක දවසක් සුරා ගෙට ගොඩවෙද්දී ලමසයි සුරාගේ කොල්ලො කුරුට්ටෝ ටිකයි වටවෙලා බිත්තිය දිහාව කට කොට්ටං අල්ලං බලං ඉංනවා. මේ මොකද බොලව්, තොපිට අමු කැවිලද?  කියලා ඔළුව දාලා බැලිංනං සුරා දැක්කේ බිත්තියේ ගහලා තියෙන අලුත්ම ඔරලෝසුව. සුරා ගුරුංනාංසේ ඇහුවා ගත් කටටම;

කොහෙංද බොලං මේක

 කියලා. ඒකට ලොක්ක එක පාරට පට පට ගාලා කියාපු උත්තරේට සුරාට ඌරු ජුවල්;

මනි බඩු කාරයගෙං අම්ම හැටපහකට ගත්තෙ.

සුරාගේ අඹුව මනි බඩු කාරයගේ නානප්පකාර කයිවාරුවට වසී වෙලා හිටං ගේ හංගං උංනු පිච්චිය දීලා බිත්ති ඔරලොසුවක් අරං. යකො මගෙ අතේ පිච්චචියක් නෑ මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා සුරා දැං හිත්තයා එක්ක වාද කොරනවා බෝම තරහෙං. ඒත් ලමසටනං බෝම සතුටුයි කොරාපු දේට. ඉතිං මේ වෙද්දි උංදෑ හිටියේ කොරාපු දේ ගැන බෝම උජාරුවෙං.

සුරාට අහවල් එකකටද ඔරලෝසු.  සුරා දංනවා කුකුළා අඩලනකොට පාන්දර පහ විත්තිය. ඉං හෝරාවක් ගියාම අවිච්චියා කෑ ගහනවා. තව හෝරාවක් යනකං කපුටො කෑ ගහනවා. ඔය කාරියං වෙද්දිං උදේ හත විතර වෙනව. දෙමලිත්තො වත්තට එංනෙ ඊළග හෝරාව ගෙව්නම. ඉරගල මුදුං වෙද්දි දවවල් දොළහයි.  හවස වැඩපොළ ඉවරකරංට කියලා තමයි හෙංදිරික්කා මල් පිපෙංට ගංනෙ. ඔය විදිහට පරිසරේ වට පිටාව එක්ක උංනු සුරාට ඔරලෝසුවෙං ඇති පලක් තිව්නේ නෑ.

කොහොමිං කොහොම හරි සුරා දැං තරහ නිවෙංටත් එක්ක කඩ මංඩිය පැත්තට යංට හිතාගෙන යංට යනවා. සුරා ගුරුංනාංසේ කියංනේ තමංගෙ තරහ අතිං පයිං පිට කොරාපු මිනිහෙක් නෙවේ නෙව. මේ වගේ ලමස නිසාවෙං ඌරු ජුවල් එන කාරනාවලදිං සුරා කොරව්වෙ ම ඇරලා ගොහිං තරහ නිව්නම ගෙදෙට්ට එන එක. සුරා යනවා දැක්ක ලමසට බෝම දුක හිතුනා. ඔරලෝසුව දිහා ඇහැක් ඇරලා නොබලංට හේතුව ඒකට තියෙන අමනාපෙ බවත් ලමසා දංනවා. ගෙදෙට්ට ලැබුන මේ අළුත් වස්තුව දිහා බලා ගත් ගමංමයි තවම පොඩි උං ටික. ඒ හිංදා අප්පගෙ හැසිරීම උංට ගානක් නෑ. එහෙම හිටපු කොල්ලංට ලමසා මෙහෙම කියනවා,

ආං උඔලගේ අප්පොච්චා ආයෙත් කොහෙද යනවා. කහට කෝප්පයක් දෙංටවත් සීනි ඇබිංදක් නෑ නෙව ගේ හරියේ

කියලා, ඒ කරලා හිටං සුරාට ඇහෙංට සද්දෙං මේම කිව්වා,

ඇහුනද? කඩ මංඩියටනං යංනෙ පොඩි උං එක්ක කහට බොංට සීනි කාලකුත් අරංම වරෙල්ලා.

මේක ඇහුනම සූරාගේ දිවේ උංනු යකා එළියට පනිංට ඔංන ලෑස්ති වෙනවා.  යකො මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා. ලමස කොරාපු වරද පෙංනල නොදී යන එක වැරදි විත්තියත් එක්ක මේක පෙංනංට හොදම වෙලාව දැං තමයි කියලා හිතපු සුරාගෙ හිතට ආවා හොද පද.
සීනි කාලක් මං ගේංනෙ මගෙ අහවල් එක දීලා ඈ වගෙ දෙයක් කියංට. ඒ උනාට සුරා ගුරුංනාංසේ ලමසට දීපු උත්තරෙං, තමංගේ සුවාමි පුරුසයා තමංට කොයිතරංනං ලෙංගතුද කියලා හිතෙනවත් එක්කම තමං කොරේ අයුතු දෙයක්ය කියන එක උංදැට තේරුං ගියා.

සුරා කිවේ මෙංන මේ පද ටික,

උඹ ඔය ඔරලෝසුව ලෙවකාලා පොඩි උං එක්ක කහට බීපං.

Thursday, December 2, 2010

සිරිල් මහත්‍තයකුවෙයි. තිලකේ නිකමකුවෙයි.

තිලකයාගේ ‍කොලුවට මේ දවස්වල ඉස්පාසුවක් නෑ ඉස්කෝලේ වැඩ. අහවල් එකක් නෙවෙයි ඌට දෙසැම්බරේ  ඕ ලැවල් විබාගේ හංදා. ඒකා උංගේ අප්ප, ඒ කිවුවේ ති‍ලකයා ඒ කාලේ වගේම තමයි ඉගෙන ගංට රුසියා. මං දංනවා තිලකයා උගෙ පුතාට වරදිංට ඉඩක්නං නොතබන විත්තිය ඕං.
තිලකයයි සිරිල් මහත්තෙයයි දෙංනා ඇස්ඇස්සී කොරලා හිටං  ඇච්ඇස්සී විබාගේ කොරෙත් එකට. සිරිල් මහත්තයා විස්ස විද්දියාලෙත් ගොහිං දැං  කොළොංපුරේ රවුං උහ බිල්ඩිමක වීදුරු කාමරේක ඉංන ලොක්කෙක්. ඇස්ඇස්සී විබාගේ සාමාර්තේ බලපුවාම සිරිල් මහත්තැංට වැඩියෙං වැඩියි තිලකයාගේ සාමාර්තේ ආයිබොවං. ඇච්ඇස්සී විභාගෙං  සිරිල් මහත්තැං විස්ස විද්‍යාලෙට ගියා වුනත් තිලකෙයාට හරියටම ලකුණු හතරක් මදිවෙලා හේනේ කුඹුරෙ දාඩිය වගුරංට වෙන තැනට වැඩ සිද්ද වුනා.
ඉස්සර ඇච්ඇස්සී පංතියේ ඉංදැද්දිං තිලකයා ළග පොතක් තිවුනා ආයිබොවං ඇස්ඇස්සී විභාගේ ලියද්දිං හොරෙං ගෙදර ගෙනාපු ආණ්ඩුවේ විභාග කරදහිවලිං තනාපු. ආර්තික විද්දියාව පොත විදිහට තමයි ඕං ඌ ඒකෙං ප්‍රයෝජං ගත්තේ.  විභාගේ ලියංට දීපූ  ආණ්ඩුවේ කරදහි  විභාග සාලාවෙ උංනු මහත්තුරුංට හො‍රා බඩ ඇතුලේ හංගං ගෙනත් තනාපු මේ පොත මහා විස්ම කර්ම නිර්මානයක් හැටියට තමයි පංතියේ එකාලා කෝකත් සැලකුවේ. මේක තිලකයාත් බෝම තට්ටක් විදිහට තමයි සැලකුවේ. ඇච්ඇස්සී පංතියේදිං සිරිල් මහත්තයටත් වැඩියෙං දස්සයා උනෙත් තිලකෙයා. ලොකු ඉස්කෝලේ මහත්තයත් කීවේ “තිලකසිරි නවතිංනෙ විස්ව විද්දියාලෙම තමයි” කියල හිටං.
ඔහොමිං ඔහොම කාලෙ ගතවෙලා  කොහොමිං කොහොම හරි විබාගෙ ලියංට දින වකවානුත් ආවයි කියමුකෝ. දැං ඉතිං හැමෝම බෝම උනංදුවෙං විබාගේ ලියනවා. මේ අතරෙ තිලකයා සුරුවමට විබාගෙ ලිව්වට මොකෑ අර පරණ පුරුද්ද ඒ කිව්වේ විභාග කරදහි හොරාට ගෙදර ගේන එකත් බෝම සුරුවමට කොරනවා. ඇස් වහක් කටවහක් නෑ තිලකයා අගේට විබාගෙට උත්තර ටික ලීව බව ඌට වාගෙම ඉස්කෝලේ හැමෝටම විස්වාසයි. මේ වෙද්දි විබාගෙ ඉවරයි.
දැං ඉතිං කාංසියෙං ගෙදර ඉංන ගමං තිලකයාට හිතිලා මෙදා පාර සාලාවෙ මහත්තුරුංට හොරෙං ගෙනාපු විබාග කොලවලිනුත් පොතක් හදංට. මෙදා කොළ මිටිය බලපුවාම ගිය පාරට වැඩිය ලොකු පොතක් තනංට පුලුවං වග තිලකයාට තේරුං ගියා. හිතට ආවේ පුදුම සතුටක් ඕං. අනාගතේ විස්ස විද්දියාලෙදිං  පාඩං ලියාගංට යස පොතක් තනාගංට පුලුවං නෙව. ඒක පුදුම සතුටුවෙංට නිමිත්තක් නෙව.
ඉතිං ඕං මේ හීන ලෝකේ ඉදං තිලකයා පොත තනංට ගත්තා. ඒ හීන ලෝකේ බිදිලා තිලකයාට ඉහ මොළ රත් වෙලා හීං දාඩිය දාංට මහ ලොකු වෙලාවක් ගියේ නෑ ආයිබොවං. අර මොකද? අවුරුදු දෙකක් තිස්සේ මහංසිවෙලා, බෝම අගේට පාඩං තියාගෙන, ඇච්ඇස්සී විබාගේදි ආර්තික විද්‍යාව පුරස්නවලට ලියාපු, උත්තර කොල ටිකකුත් තිලකයා ගෙදර ගෙනත් නෙවැ අර හොර කරදහි එක්කං බඩ ඇතුලේ හංගාගෙන. එතනිං එහා උගේ ඔලුවට ආව ඒව අකුරු කොරංට මට ඥානයක් නෑ බොලව්.
මාස ගානකිං විභාගේ සමර්තකං ආවා. සිරිල් වනිගරත්න උඩිංම ඇච්ඇස්සී සමත්. මාවිල්මඩගෙදර තිලකසිරිට විස්ස විද්දියාලෙට යංට ලකුණු හතරක් මදි. ඒ වුනත් ඊළග පාර විබාගෙ සමර්ත වෙංට හිත දැඩි කොරං ලක ලෑස්තිවුන තිලකයාට ඒකට සොබාදර්මේ ඉඩ දුංනේ නෑ. ආයුබොවංට සමහර කරුණු කාරණාවලදිං සොබාව දර්මයා දෙපාරක් ඉඩ දෙංනේ නෑ . ටික දොහකිංම උගෙ අප්ප වළපල්ලට ගියා. පවුලේ බර කරට ගංට මහ පොළොව එක්ක ඔට්ටු ‍වෙංට ඌට සිද්ද වුනා.   
එකම ගමේ එකම පංතියේ එකට ඉදං අකුරු කොරාපු යාලුවො දෙංනගෙං සිරිල්, සිරිල් මහත්තයා වෙලා කොළොංපුරේ රවුං බිල්ඩිමක වීදුරු කාමරේක ඉදං සිරිලංකාවටම අණ පතුරනකොට ඒත් එක්කම කරට කර උංනු තිලකසිරි දැං ගමේ නිකංම නිකං තිලකෙයා වෙලා   මහ පොළොවත් එක්කං ඔට්ටුවෙනවා ආයුබොවං. 
ඇයි තිලකයාට මෙහෙම වුනේ. ඒක ටක්කෙටම පැහැදිලි කොරලා කියංට මට තේරෙංනේ නෑ ආයිබොවං. 

Sunday, November 28, 2010

සමාජ ආස්සරෙං උත්තර දීම.

සුරා ගුරුංනාංසේගේ බාල කොල්ලව අදුංනව්වේ “ බාලේ ” කියලා හිටං. සුරාගේ ලොකු පුතා “ ලොක්කා ” ගැන හෙම හැමෝම දංනවනේ නෙවෙද? මුං ගැන කතා සුරාට එහා එමටයි. ඉතිං මේ කයි කතංදර කියල ඉවර කොරන එක, එක රැයිං කොරංට බෑ. විඩෙං විඩේට හෙමි හෙමීට කියංනං. හැබැයි මේ කයි කතංදර එකාගෙං එකාට වෙනස්. එකම පවුලේ උං වුනාට උංගේ හිතුවිලිත් එක්කයි, වයස දැනුං තේරුංකං එක්කයි මේවා වෙනස් වෙනවා.
සුරාගේ පවුලේ බාලයා වෙච්චි බාලේ, “බාලයා මෝඩයා” කියංනැහේ තමංට නොගැලපෙන කාංඩේ ආස්සරේ කොරලා පාඩං ඉගෙනගෙන හැදුන එකෙක්. දැං මූ පිළිවෙලකට ඉංන වැඩිහිටියෙක්. මුංගේ ලොකු අයියා වෙච්ච ලොක්කාව ගොනාට අංදන “ අමරෙ, පත්මේ ” උංව තමයි මේකා ‍බාලයා වුනාට ආස්සරේ කො‍රව්වේ. උං කියාපු, කයි කතංදර බෝම ඇත්ත සත්ත දේවල් කියලා හිටං බාලේ ඉහ මුදුනිං විස්වහ කොරා නොදංනාකමට. ඉතිං මේ බාලේ තාම ඉස්කොලේ හයේ හතේ විතර උංනු කාලේ. බාලේ ලෝකේ රට තේරුං ගංට උත්සහ කොරව්වේ අමරෙගේ පද්මෙගේ කයි කතංදරවල තිබුන දේවල්වලිං. කොටිංම කියනවනං බාලෙගෙ ලෝකේ වීරයො වෙලා හිටියේ උං.
මේ කාලේ ඉස්කෝලේ උංනු, “ලොකු ඉස්කෝලේ මහත්තයා” ඉස්කෝලේ කොල්ලො කෙල්ලංට පුදුම ‍සෙනෙහසක් තමයි තිව්නේ. ලොකු ඉස්කෝලේ මහත්තයා මේ හංදම පංතියකට ගොඩ උනොත් කොරංනෙම සාරදර්ම ගැන කියෝන එක. උංදෑ ඉස්කෝලේ වත්තෙ ගහකොල ගැනත් බෝම උනන්දුවෙං හොයලා බැලුවා. ඉස්කොලේ වත්ත පුරා පොල් ගස් පාලොහක් විස්සක් විතර තිව්නා. මේවයේ පොල් කැඩුවේ කිරා.  කිරාට බැළගෙඩිය දෙන ගමං ඉස්කෝලේ මහත්තයා කීවෙම,
‘අනේ කිරො තව සති දෙක තුනකිං නෙවරදීම වර. මට බයේ බෑ බං මේ පොල් ගෙඩියක් ඉස්කෝලේ කොලුඅංකුට්‍ටංගේ මත්තේවත් වැටෙයි කියලා බං.’
උංදා එහෙමයි ඉස්කොලේ වත්තෙ පොල් ටික කැඩුවෙත්, කොල්ලො කෙල්ලංට හියෙන සෙනෙහස හිංදා ඕං.
ඉතිං ලොකු ඉස්කෝලේ මහත්තයා බාලේලාගේ පංතියට හදිසියේ ගොඩවෙලා හිටං සාරදරුම ගැන පාඩම කොරනවා. මෙදා කොරව්වේ “දෙමාපියංගේ දරුවංට තියෙන දයාව කරුණාව සෙනෙහස ගැන”. දෙමාපියො දරුවො හදංට, නොවිදිනා දුකක් නෑ නෙව. ඉතිං අපේ ඉස්කොලේ මහත්තැං මේ ගැන තමයි කතාව. බාලෙත් මේක බෝම අවදානෙං අහං උංනා.
ඉතිං අර මුලිං කියාපු අමරෙලාගේ පත්මෙලාගේ රංචුවට වැටිලා බාලේ උංනු වෙලාවක, උං දෙමාපියො ගැන දවසක් කියාපු සමහර දේවල් එක්ක ලොකු ඉස්කෝලේ මහත්තැං කියාපු දෙවල් එකයි. මුලිං කිව්වා නෙව  උංගෙ කයි කතංදර බාලේ බෝම ඇත්ත සත්ත දේවල් කියලා හිටං ඉහ මුදුනිං විස්වහ කොරාපු විත්තියත්.
ඉතිං තම තමංගෙ දෙමාපියො හේනෙ කුඹුරේ ගොඩ මඩ දවල් රෑ නැතුව දරුවො ගැන මහංසිවෙන බව මේ පුංචි උංගේ හිත්වලට රිංගවංට, අහපු දැකපු, දංන කියන දේවලුත් උපහැරනෙට අරං උත්තර දෙංටැයි කියලා හිටං
“හා එහෙනං තමා කියමු බලංට දංන කියන දේවල් සමාජ ආස්සරෙං උපහැරන එක්ක”  
කියලා ලොකු ඉස්කෝලේ මහත්තැං,  මේ කොල්ලො කුරුට්ටො එක එකාගෙං පුරස්න අහනවා. පොඩි උනුත් බෝම සුරුහුමට උත්තර දෙනවා ඕං.
ඔංන දැං ලොකු ඉස්කොලේ මහත්තයා ඇඟිල්ල දික්කොරා බාලෙට, මෙංන මෙහෙම කියලා.
‘හා හොදයි ‍එහෙමනං තමා කියමු; දංන කියන, අහපු දැකපු දේවල් එක්ක දරුවො හදංට අම්ම අප්ප මහංසි වෙංනෙ කොහොමද කියලා, ඒ කියංනේ සමාජ ආස්සරෙං උපහැරන එක්ක’
මුල ඉදංම කිව්වා නෙව බාලේ හැමදේම බලව්වේ අර ගමේ මුගේ වීරයංගේ කයි කතංදර එක්ක විත්තිය. ඉදං උංනු පුටුවෙං නැගිටින ගමං මූට මතක් වුනා ඉස්කෝලේ මහත්තයා දෙමාපියො හේනෙ කුඹුරෙ මහංසිවෙලා දරුවො හදංට මහංසිවෙන විදිය පැහැදිලි කොරාපු හැටි. ඒවා කියලා වැඩක් නෑ නෙව. ලොකු ඉස්කෝලේ මහත්තයා අහංනේ, අහපු දැකපු වෙනත් දේවල් නෙව. ඉතිං දවසක් අමරයා පත්මයාලා කයියට වැටුන තැනක, කට කොට්ටං අයාන බලාගෙන හිටං බාලේ ඉද්දි උංගෙ කතාවෙං කියවුනු දරුවෝ හදංට දෙමාපියෝ මහංසිවෙන විදිහ  මෙතැනදී කියවුවෝතිං අගේට තියෙයි කියලා හිටං, මේ පුංචි එකා ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුරස්නෙට හොඳ හුස්මක් අල්ලලා හිටං මෙංන මේම උත්තර දුංනා.
‘උංදැලා මහංසි වෙංනෙ........... ඇගේ නූල් පොටක්වත් නැතුව’
(ආයිබොවං, තරහ ගංට දෙයක් නෙවෙයි, දෙමව්පියො තමංගේ දරුවො ආස්සරේ කොරංනේ කවුද? කිංද? මංද? කොරංනේ මොනවද? කියලා අනිවාරියෙංම හොයලා බලංට ඕනෑමයි)

Monday, November 22, 2010

කොරනවනං දෙයක් පිරිසිදු හිතෙං විතරයි

(ගැමියා බොලොග් එකේ අළුත් කතා, හුණු කිල්ලෝටය මේ කොයි හංවඩුවෙත් මං ලියාපු බේගල් බලංට හරි, එහෙම නැත්තං වැරදීමෙං කිලික් කොරාපු හරි ලංකාවේ හාදයෝ අටසීය පනහත් පැංන එකේ හිතුනා බොලව් තවත් හංවඩුවක් දාංට ඕනේ කියලා ඇබැද්දි කියලා හිටං. මේ හංවඩුවෙං අතාරිංනේ ආයුබොවං එදිං එදාට ගමේ උංට වෙච්චි එක එක විදිහේ ඇබැද්දි. හැබැයි ආයුබොවං, ඒ කොයි එකත් වෙංට හේතු ධරුමයක් තියෙනවා ඕං. කියවමුකො හෙනං මුල්ම ඇබැද්දිය.)


ගමේ මහා වසවරුතියෙක් උංනා බොලාලා කවුරුත් දංන විලියොං කියලා හිටං. අර පොළගා මැරුව රා ගුඩ්ඩා. දංනේ නැත්තං ඔංන ඔය අස්සක් මුල්ලක් අවුස්සලා බලා ගංන එකයි තියෙංනේ. විලියොංගේ ගෙවත්ත පොඩිවුනාට ආයුබොවං යස පස. මූට හිතුනා මේ පොළොව බිදලා හිටං වගාවක් දාංට කියලා. තක්කාලි ද, බටු ද, බඩඉරිගු ද හෙම නැත්තං බතල ද මෙංන මේම  මේකා හිත්තයා එක්ක කේවල් කොරලා හිටං අංතිමේට තීංදු කොරා කියමුකො පොළව බිදලා හිටවනවා මයියොක්කා කියලා. විලියොං එක ගලෙං කුරුල්ලෝ දෙංනෙක්ම බාගංට තමයි මයියොක්කම වවංට හිතුවේ. මුල්ම කුරුල්ලා මයියොක්කා සල්ලි කොරන එක. අනිකා තමයි ඉතිං  අල එරෙන කාලෙට කොටුවට වදින ඌරෙක් හෙම විඩෙං විඩේ මංදකට හරි, බොරු වළකිං හරි ආංබාං කොරාගත්තම සල්ලි තමයි  ඉතිං රාත්තල් ගානට. මයියොක්කාවලටත් වඩා ඌරු මසෙං ලාබ ගත්තෑකි.
මේම කම්පනා කොරලා විලියොං වත්ත මැදට වෙංට උගෙ ගෙට  එංට තිවුන පළල් පාර  ගල් බැම්ම අයිනෙං බෝම කෙසග අඩි පාරක් කොරලා වත්ත පුරා පුලුවං උපරිමේට හිටෙව්වා මයියොක්කා දඩු.
දැං ඉතිං මාසයක් දෙකක් ගියා මයියොක්ක පදුරු ගහලා සරුවට වැවුනේ නැතෑ අඩි පාර තවත් හීං කොරාගෙන. ඒ වුනත් විලියොංගේ හිතේ පැලපදියං වෙලා තිවුනේම අලවලටත් වඩා ඌරු මස. එක දවසක් මෝසං වැහිකාලේ අර සුරාගේ කුඹුරෙං පල්ලට පෙරලුන ගල වගේ මීහරකෙක් විතර හුණු ගල් ගෙඩියක් බැම්ම උඩිං පෙරලුනා කියමුකෝ විලියොංගෙ ගෙට යන අඩි පාරට. මේ හීං අඩි පාරෙ ගලක් හරස් වුනාම ගෙට එංනෙ කෝමද.
ඉතිං විලියොං කියංනේ බෝම හයි හක්තිය තියෙන මිනිහෙක් නෙව. මූ උදේම පටං ගත්තා ගල බිදිංට. මාත්තුව නැති හුණු ගලක් කුළු ගෙඩියෙං බිදිනවා බොරු. ගල තුනෙං එකකට විතර හීං වුනා. කුළු ගෙඩි පාර වදිංට වදිංට ගල රවුං වෙනවා. ඒ වුනාට ඉළ ඇදෙනකං ගල බිංදත් ගල අස්කොරාගංට බැරි වුනා විලියොංට. ඇගේ අමාරුව හිංදම විලියොං ගියා නිකලංදේ රාපොළ පැත්තෙ. මූ රා පොලේදිත් කිව්වේ රාපොලේ උංට අනාගතේ කට ගැස්මට මයියොක්කයි ඌරු මසුයි දෙන හැටි. ඉතිං මේකා රා මතෙං ගම් මැද්දේ හතර ගාතේ වැටිලා කලුවරේ ඔලුව උස්ස ගංට පුලුවං වුනාම වැනි වැනීම ගෙදරට යනවා අර හීං අඩි පාරෙං. මූට ඉතිං දැං නිතරම මතක් වෙන්නෙ අනාගතේ මයියොක්කා කොටුවට වදින වල් ඌරංට උගුල් අටවලා ඌරු මස් කන එකයි ඌරු මස් විකුණලා සල්ලි හම්බකරන එකයි.
ඕවා ගැන හිත හිතා වෙරි මරගාතේ අඩි පාරේ ගේ දිහාවට යද්දිං මෙංන බොලේ ගෙට යන අඩි පාර මැද වල් ඌරු තඩියෙක් දපල ඉංනවා. මූට දෙලෝ රත්වුනා. දැං මොනවා කොරංටද. විලියොංට හිතුනා 
“දැං ඌරු තඩියා මයෙ දෙපරැංදෙං  රිංගනාවා සිකුරුයි.”
විලියොංට සූරු හිදුනා. ඇති පදං වීරිය අරං දුංනා පයිං ඌරා බඹ ගානක් වීසික්කා වෙංට තරමට පයිං පාරක්.
කකුළ ඌරගේ ඇගේ වදිද්දී තමයි මූට මතක් වුනේ,

"යකෝ මේ ඌරෙක් නෙවේ නොවැ; මම උදේ ඉදං කඩංට තනාපු ගල්ගෙඩිය නොවෑ"


 කියලා හිටං . එතකොට පෙරහැර ගොහිං අහවරයි.


ඊට පහු මහෙං මහට කාලේ ගෙවුනා, මයියොක්ක වගාව හිතේ හැටියට වැවුනා. ඒත් ඌරංට රජ මගුල්. වගාව ඌරංට දීලා විලියොං බලං උංනා. විලියොං ආයෙත් වත්තට පය තිබ්බේ ආයුබොවං වල් ඌරො හිතේ හැටියට වගාව පාළු කොරලා අහවර උනාට පස්සෙං පහු ඕං.
ඇයි විලියොංට මෙහෙම වුනේ එක ගලෙං කුරුල්ලො දෙංනෙක් මරාගංට ගිය හිංදයි. ඒ කියංනේ චේතනාව අපිරිසිදුයි.
ඒ හිංදා හැමෝම ඔළු ගෙඩිවලට දා ගංට ඕනේ බොලල්ලා යමක් කොරනවනං හෙම ඒක,
“බෝම පිරිසිදු චේතනාවෙං”
විතරක්ම කොරංට ඔනේ ආයිබොවං.

Friday, November 12, 2010

රා පොළේ කාපියව් බීපියව්




කාපියව් බීපියව් සුකාපියව් සුත්ත පිට පෙරලා බලාපියව්.
ඔය විදිහට කිසිම බයක් හැකක් නැතිව කියවගෙන පාරේ යංට පුලුවං කොයි එකාටද?  ඒත් විලියොංටනං ඒක මහ කජ්ජක් නෙවෙයි බොලව් නිකලන්දේ රා පොළෙං සල්ලං වෙච්ච වෙලාවට. විපස්සි හාමුදුරුවෝ එක දවසක් දෙසුවා කලියුගේ ගැන. ලෝක විනාසෙ වෙංට කලියෙං ඇතිවෙනවයි කියන කලියුගේ ඉංන බේබද්දොත් රාමතෙං කියංනේ බුදු බණ කියලා හිටං.  බේබද්දා කීවේ ඇබ්බැහියක් විදිහට  සුරා පානෙ කරන එකාට.
විලියොං අරම කියපු වෙලාවක ආයුබොවං මීරුප්පේ ගෙදර මැණිකෙට නහුතෙට තදවෙලා විලියොංට කීව,
කුනුහම්බ නොකියා පලයං විලියොං
 කියලා හිටං. එතකොට රා මතෙංම විලියොං ඔළුව පාත්කොරලා කියාපි,
මොන කුනු හම්බයක්ද මැනිකේ; මම කිව්වේ කංට බොංට සැපෙං ඉංට සූත්තර පිටකෙ පෙරළලා බලංට කියලා නෙව, විපස්සී හාමුදුරුවෝ දෙසපු බණක් විනා කුණු හරුපයක් නෙවේ මැණිකේ
කියලා හිටං. මේකා, මේක ධර්මෙට සම්බන්ද කොරාපි. මීරුප්පෙ මැණිකේ අහකට වුනාට කරබාගෙන, හිතෙං සාදු සාදුකියංට ඇති මයෙ හිතේ.
නමෙං ධර්මසේන වුන ධර්මේ  ගියෙත් නිකලනංදේ රා පොළටම තමයි. බොලව් සුරාව පමාවට හේතුවක්ලු නෙව. පංච සීලෙත් ඒක තියනවනෙ ආයුබොවං. ධර්මෙට ගෑනි, දරු මල්ලො හිටියට පිලිවෙලක් නෑ, හරිහමං විදිහට ගේ දොර නෑ. හරකා බාන හිටියට උංටත් සාත්තුවක් පිලිවෙලකට නෑ. ඒ වුනාට රා මතෙං ධර්මේ කීවේ සුරාව මද පමනිං ගැනිල්ල පංච සීලෙමුත් අනුමතයි කියලා හිටං. වෙලාවකට මේකා නාලාගිරිය වගේ බීගත්තම. මේකගේ ඇස් පහදංට විපස්සී හාමුදුරුවංටත් බැරි වුනා නෙව.
නිකලංදට යංට පාර වැටිලා තිවුනේ මඩිත්තේ ගල් ඒදංඩෙං  එගොඩට. හවහට ඒ දංඩ පනින එක ගමට වහංවෙලා කොරංට කොයි රා ගුඩ්ඩටවත් පාසු වුනේ නෑ. හැමෝටම කිලියෙං රා   පොළට යංනේ විලියොං. සමහරදාට හෙංදිරික්කා මල් පිපෙන වෙලාවට මේකා රාත් බීලා ගමටත් අවුදිං ගම මැද රා මතෙං වැටිලත් අහවරයි. එහෙව් වෙලාවට ගමේ වුං කියංනේ,
මේකා නිකලංදෙ රා සේරම බීලද කොහෙද? අපි ගියාට අද බොංට දෙයක් නැතිව ඇති බොලව්
 කියල හිටං.
පුදුමේ කියංනේ ආයුබොවං රාමතේ වැඩිකමට ගම්මැද්දෙම වැටෙංට මුං ඒ දංඩෙං පල්ල නොවැටී මෙගොඩට එන එක. මෙහෙම රා මතෙං දපල ඉංන එවුං දිහා බලලා මීරුප්පෙ මාමා කීව පුරාන සීපදයක කෑල්ලකත් තියෙනවා, 

                             රාමතේ මොටදැ මග පෙරලුමක්     නැතී
ජීවිතේ මොටදැ නෑනා කෙනෙක්     නැතී

කියලා. රා බොනවනංහෙම බොංට ඕනෙලු බොලව්  පාරේ පතබෑවෙංටම. ඒ පදේ හැටියටනං ඒක කියලා තියෙංනේ සහේට ගංට නෑනෙක් නොහිටි එකෙක්. ඒකා රා ගුඩ්ඩෙක්‍ වෙංට ඇත්තේ හෙනං ඒ හිංදා වෙන්ටැ මයෙ හිතේ. ඒ වගේම ගමේ උංට රා බොංට එක එක විදිහේ හේතු කාරනා තියෙන වග උං උං කීවා. විලියොං බීවේ ගම මැද්දට අවුදිං හයිරං පෙංනංට. තිසර රා බීවේ තනිකඩකම නිසාවෙං කියලයි හැමෝම කීවේ. පෙළවහක් කොරාගංට බැරිවුන එකේ දුක නිවා ගත්තේ ඌ ඒකෙං. ලොක්කා බීවේ ඇගේ පතේ වේස නිවා ගංට. ගමේ වෙරවීරීයෙං වැඩකොරන ගොඩක් උංට බොංට මේක හේතුවක් වග පෙනුන. සමහරු පුරස්නවලට බයෙං ඒවයිං වහංවෙංටත් බිව්වා. ඒම උං අදුනගංට ලේසි වුනේ උං කීවා කතාවක්,


"ඕන යකෙක් බයයි බොලව් සුරා යකාට" කියලා හිටං.


ඒත් රනා  බිව්වෙ ගෑණිට තියෙන සෙනෙහෙවංතකමට. මේකට රනාම කතාවක් කියනවා.

ඉස්සර කාලේ වැද්දෙක් හිටියලු සුරා වැද්දා කියලා. (අපේ සුරා ගුරා හෙම නෙවේ.) මේකා වැද්දෙක්. එක දවසක් මේ වැද්දා කැලේ යද්දිං පිපාසෙ අල්ලලා. මේකාට නෙවේ බොලව් දිය ඇබිත්තක් හම්බවුනේ. ඉතිං බොලව් මේකාට රුප්පාවක ගොට්ට ගැහිලා තිව්න ‍කොලවල පල්වෙච්ච වතුර ටිකක් තිබිලා මේකා මේක බීවා කියමුකො. ඒකෙං මූ මත්වෙංට ගත්තා. හවහ පැලට ගාටලත් මේකට මතේලු. මතේ උනාට බොලව් එකේ තිවුනේ පුදුම සුවයක්ලු. මේකට දැනුන සුවේ කොච්චරද කියනවනම් බොලව් ගැනීත්  තුරුලට අරං ලෝකාස්වාදේ යෙදුනා කියාපල්ලකො. වැද්දගේ ගෑනී කිවලු බොලං මෙපමන කලක් මේක කොරාට අද වගේ සුවයක් දැනුනේ නෑ නොවෑ කියලා. එදා ඉදලා මේ සුරා වැද්දා හැමදාම බැද්දට ගාටලා අර පල්වෙච්චි වතුර හෙව්වලු. ඒ වතුර තිව්නේ කිතුල් ගස් යටලු. කිතුල් මල පුපුරලා වැහුන තෙලිදිය නොවැ මේ රුප්පාවේ ගොට්ටෙ පල්වෙලා තියෙංනේ. බොලව් මේ මසුරං වටින අවුසදේ ලැබුන දා ඉදං  වැද්දට රජ මගුල්ලු. වැද්දිගෙනුත් සැළකිලි ලු. රනා ඕක කිය කියා තමයි සුරාවේ ආනිසංස ගැන දොඩව්වේ.

(හැබැයි රනාගේ ගෑනිත් යස අගේට උංනා තමා සතුටෙං.)

නිකලංදේ රා බොංට තියලා තිව්නේ පොල්කටු. පොල්කටු ගානට තමයි මිළ නියම කොරව්වෙත්. සමහර දවසට කට ගැස්මට මයියොක්කා තිව්නා. පෙළක් උං කට ගැස්මට කියලා ගම්මිරිස් ඇටයක් හක්කෙං හපං රා බිව්වා.

ඉතිං ගමේ සුරා සොඩුංට කල්ප වුක්සේ උනේ කිතුල. කිතුලේ මල පැංනොත් ඉතිං වැඩක් නෑ ඕං. කල් යල් බලලා මල කපලා බෙහෙත් ටික තියා ගංට ඕනේ.  ඔය පොල් ගහ, පුවක් ගහ උහට උහේ හැදෙංට හැදෙංට මලත් ගහේ උහට යනවා. ඒත් බොලව් කිතුල් මල හැදෙංනේ අමුතුම කිරමයකට. ඉස් ඉස්සෙල්ලම මල එංනේ ගහේ මුදුනෙං වෙංට, ඔහොමිං ඔහොම පාතිං පාතට මල් හත අටක්ම වැටුනයිං පහු කරටිය  අහලිං අවසානෙට මල එනවා.

ඉතිං කොහොමිං හරි තලා ගත්තු කිතුල් මලෙං තෙලිජ්ජ ටික මුට්ටියට වැටුනයිං පහුවට  ඒක රා වෙංට පැහෙංට අරිංට ඕනේ. නිකලංදේ ඔය රාජකාරිය බාරදීලා තිව්නේ අපෙ ගමේ හා‍දයෙකුට. මිනිහ දඩු දිග කලු හාදයෙක්. ඌට අප්ප තියාපු නම  ප්‍රේමවංශ. කට උරුවට හැමෝම කීවේ පේංමාංස කියලා හිටං. මිනිහට නෑහෙංට කීවේ දඩු පේමෙ කියලා හිටං. රාජකාරිය ඉවරකරලා මේ දඩු පේමේ ගෙදර එංනේ තෙලිජ්ජ කළේකුත් උස්සං. මිනිහගෙ වත්තේ ඒක පැහෙංට තියෙනවා. උදැහැනැක්කෙම හිස් බඩ බොංට. දඩු පේමේ ළග තිව්නා බෝම මුවාත තිව්න මල් පිහියක්. කොලපතකිං තනාපු කාවරයක දමාලා හිටං. දඩු පේමේ කැහැපොට ගහගත්තු ගමංම තමයි උංනෙ. මල් පිහියත් පිටිපස්සෙං ඉනේ ගහං.

නිකලංදේ රා පොළේ ආරස්සාව ගැනත් බෝම සැලකිල්ලක් තිවුනා. නානප්පකාර කරුනු කාරනා හිංදා. ඇයි කියංනං.  හොර හතුරො බොලල්ලා. ඉතිං දැං හංදි ගානේ තියෙන රට බීම තැබෑරුං වගේ රාත්තිරියට රා කළගෙඩි, කිතුල හොර හතුරංගෙං බේරා ගංට වටකොරලා අගුලුලංට යෑ. මුට්ටියෙං හොරෙං බොන වගක්  දැනුනොත් ඉතිං වක්කඩ පෙන දානවම තමයි.  එහෙම නැත්තං මුට්ටියට වක්කඩ පෙන දාපු වගක් බොරුවට හරි ගමේ පතුරෝනවා. කුඹුරෙ ලියද්දෙං ලියද්දට වතුර වැටිල එතැන එක්කාසු වෙන පෙනවලටයි වක්කඩ පෙන කීවේ. එහෙම නැත්තං තවත් උගුලක් විදිහට කිතුලේ හෙලට යංට තියෙන ඉනි මගේ ලී බාගෙට කඩල තියෙනවා. හෙමත් නැත්තං කිතුලේ මුදුනෙ නූලකිං පො‍ළගෙක් එල්ලනවා මේවා කොරව්වේ හොර හතුරංගෙං මුට්ටිය බේරගංට ආයුබොවං.

යකෝ මේක බොන එක මූලවාතෙට ගුණ දෙනවා. හුජ්ජ බොක්කට ගුන දෙනවා. බොක්කට ගුන දෙනවා. ඒ විතරක් නෙවේ බොල පායංටත් ගුන දෙනවා.

උගුඩුවෙක් වගේ සුරා සොඩෙක් වෙලා උන්න අපේ රජා බාප්පා රා බීලා කීවේ එහෙමයි. උංදැ වල පල්ලේ ගියේ  යෝදයෙක් වගේ. කිතුල් ගහක් වගේ බෝම සරුසාර සරීරයක් උංදට තිව්නා.

පස්සෙං පහු පොලෝසියෙං වුන අරියාදුවලට බයෙං ගමේ රා පොළ අතුරුදං වෙච්චි. කිතුල් රා බීලා කිතුල් ගස් වගේ බෝම  සරුවට උංනු යෝදයො වගේ උං  රට බීම තැබෑරුමට ගොඩවෙංට වෙච්චි. උං බොලව් බලාන ඉංදැද්දිං කේඩෑරි වෙලා අංසබාගෙ හැදිලා වළපල්ලේ ගියපි.

අපෙ ගං පළාත්වල තවමත් තැනිං තැන තියෙන කිතුල් ගස් ගමේ පිරිමි දිහා සෝකෙං බලං ඉංන ගමං මොකක්දො කතංදරයක් කියන වගක් මට හිතෙනවා ආයුබොවං.

ඒ හැමදේම ගමෙං අතුරුදං වුනත් විස්වාස කොරහල්ලා ඔය මොකාටවත් නෑල්ලෙංට දඩු පේමේගෙ රා මුට්ටියෙං ඉදලා හිටලා, මායි එගොඩවත්තෙ අක්කුවයි දෙංනා දඩු පේමේටත් කොටහ ඉතුරු කොරලා හිටං නලපාන ජාතකේ සිහි කොර කොර පැපොල් බට දාලා හොරාට රා බීව අතීතේ මයෙ හිතෙං මැරෙනකංම අතුරුදං කොරංට බෑ ආයුබොවං.


ඇත්තමයි ඒ අතීතේ මතක් වෙන කොට පපු කැවුත්ත හෝස් ගානවා ආයුබොවං.

Sunday, November 7, 2010

හා පැටියා මංදෙං රිංගංනැහේ

කාංති කැංදං ඇවිත් අවුරුදු හතරක්ම ‍ගෙවුනත් තවම දරුවෙක් මල්ලෙක් නැති එක ලොක්කට බෝම තදේට දැනුනා.  අමරයගේ, පද්මෙගේ දරුවෝ මේ වෙද්දිං   ඉස්කොලෙත් යනව.
එක දවසක් පංසලේ ඉරිද ඉස්කොලේ තිව්න උස්සවේකදී හාතියල්වෙලේ උංන ලොක්කට ඇහුනා විපස්සී හාමුදුරුවෝ වත්තු සූත්තරේ පැහැදිලි කොරා.
කිංසු වත්තු මනුස්සානං පුත්තා වත්තු මනුස්සානං කියලා හිටං. මිනිසුංට වස්තුව වෙංනේ දරුවෝ වග තමයි ඒකෙං පැහැදිලි කොරේ.
මෙච්චර කල් ගතවෙලත් ලොක්කට දරුවො නැති එක කාංතිගේ දෝසයක් විදිහට තමයි ගම්මු සැලකුවේ.  දරුවො නැති ගෑනුංට ගම්මු කීවේ ව ගෑනුයි කියල හිටං. ඉස්සර කාලෙනං රජවරුංට හෙම දරුවෝ දෙන්ටැයි කියලා ඔය සංදේස පවා ලීවලුනෙව. ලොක්කා ඉතිං මොනවා රචනා‍ කොරංටද දෙයියංට තමයි හීල්ලුවේ ආස දිහාව බලාන. ලොක්කගෙ නඩේ උං මේ ගැනත් උගෙං ඇහුවා.
බං මොකදෑ උඹලට තවම පට්ටි හිටිංනේ නෑද?  කියලා.
ගම්මු පට්ටි හිටිනවා කීවේ දරුවෙක් පිළිසිදගංනවා කියන අරුතෙං. එහෙම වෙලා නැතිවෙන එකටම තමයි ගබ්සාවෙනවයි කීවෙත්. කාංතිට තිව්නෙත් මෙංන මේ ලෙඩේ. අමරයාලාගෙ පද්මයාලගෙ බාසාවෙං කියනවනං හෙම,
කොරව්වට හිටිංනේ නෑ.
කාංති ලොක්කත් එක්ක අටව ගත්ත ගෙදෙට්ට වෙලා දවල් කාලේ ගතකොරේ බෝම තනියෙං, අමාරුවෙං. මේක දැකලා බේකරියේ මුදලාලිටත් බෝම හිතේ අමාරුව. බේකරියේ මුදලාලිටත් දරුවො හිටියේ නෑ. ඉතිං මුල ඉදලම කාංතිට මුදලාලිගේ තිබුනේ පුදුම සෙනේහයක්. මතකනේ කාංතිගේ මගුලටත් උදව් කොරා. හැමදේම දීලා. ඒක අමතකනං මෙතැන ඔබංටකෝ. දැං මතකයි නෙවෙද?
ඉතිං බොලව්  මුදලාලි හදිසි වැඩක් තිබ්බොත් හෙම කාංතිව ගෙන්න ගංනවා බේකරියට. දරුවෙක් මල්ලෙක් ඉංන ගෑනියෙක් යෑ. ඉතිං පස්සෙං පහු මුදලාලියා කාංතිව බේකරියේ වැඩටම එක්කහුකොර ගත්තා. මෙතැං ඉදලා ඉතිං  අමරයාලාගෙ  බාසාවෙං කියනවනං හෙම,
මල කෙලියයි, කෙළ තලියයි.” 
ලොක්කට මේවයේ ගානක් නෑ. ඒක නෝංජලයා නෙව. ලොක්ක තමයි කුකුළා කරේ තියං හුලු අත්තත් අවුලං කාංතිව බේකරියට ඇරලලා එංනේ. එතකොට ගමේ උං කතා වෙනවා,
“අංන අඹුව දං දෙංට යනව”
කියලා.  හවහ රෑ උනොත් ඒකි එක්කං එංටත් යනවා. එතකොට ගමේ උං කතාවෙනවා,
“අංන දංසැල ඉවර කොරලා එනවා” කියලා හිටං. කාංතිගේ මනාපේ ගංට ඒකාලේ ආව පිරිමි අතෑරලා ලොක්කවම තෝර ගත්ත හේතුව ගමේ උං මේ වෙද්දිං ටක්කෙටම අදුරං හමාරයි. මේ විදිහට මොනව  සිද්ද වුනත් ලොක්කගේ තිබුනේ දරු හුරතල් බලන හීනේ.  
මුගේ අර නඩේ උං ලොක්කගෙං අහනවා,
‘ලොක්කා තවම  කොරව්වට හිටිංනේ නෑද?
කියලා. ලොක්ක කියනවා බෝම සංවේගෙං
ඔහේ නෑ බොලව් හා පැටියා මංදෙං රිංගං යන්නැහේ ගලවං යනවා නෙව කියලා.
පව් අහිංසකයා දැංනං නඩේ උංටත් මේ ගැන විස්සොපයි. මේ හිංදම කාංති ගෙදර ඉංට තියෙන අපාසුව මකා ගංට බේකරියේ වැඩට යන විදිහට ගමේ උං හිනාන ඉංන වගක් එක්ක; මේකට හරියන බේතක් කොරාගංට සල්ලිය බාගෙත් ලොක්කලා ලඟ ඇති නේද? කියන වගක් අගවංට කියලා හිතාන අමරයා ඒ කතාවේ අගට මෙහෙම ඇහුවා,
ලොක්කා  දැං කාංති බේකරියේ වැඩටත් යනවා නේද? මුදලාලිත් උදව් කොරනවා නේද උඹලට?
ඒකට උත්තරේ විදිහට ලොක්කා කීව හතර බීරි කතාවට නඩේ උංට එලොව පොල් පෙනුනා, මෙංන මේකයි ලොක්කා කීවේ,
ඒ ගියාට වැඩකුත් නෑ බං, එහෙදිත් හා පැටියා මංදෙං රිංගං යන්නැහේ දෙසරයක්ම ගලවං ගොහිං නෙව.