Thursday, September 2, 2010

ගුරුන්නාංසෙගේ නඩු විසදිල්ල.


    සුරා ගුරුන්නාන්සේට දරුවෝ පස් දෙනයි. වැඩිමහල් කොල්ලො ‍තුන්දෙනයි. බාල කෙල්ලො දෙන්නයි. මේ කියන්ට යන වැඩේ වුනේ උං පොඩි එවුං සන්දියේ.  ලොකු කොල්ලට කිවේ ලොක්කා. බාල කොල්ලා බාලේ. ඒ දෙන්නට මැද කොල්ලා මද්දු. ලොකු කෙල්ලට කීවේ ලොකූ. පොඩි එකීට කීවේ පොඩී. කාටත් අදුර ගන්ට ලේසියි. පහසුයි. හරිම තාර්කිකයි. මුන් ටික ඉතිං එකෙකුට එකෙක් කිරි පැණි වගේ තමයි.  හරියට සාත්තුවට පාවිච්චි නොකලොත් ඉතිං කිරි පැණිත් හිටපු හැටියේ නරක්වෙනවනේ. ඉතිං මුන් අතරෙත් ලොකු පොඩි රණ්ඩු සරුවල් ඇති නොවුනම නෙවෙයි.බේරන්ට බැරිම පැටලවිල්ල තිබුනේ ලොක්කයි මද්දුමයයි අතරේ. හැමදාම දිනන්නෙ ලොක්කා. ඒත් ඇදගන්නේ මද්දුමයා. නමුත් ගුරුන්නාංසෙගේ මායියට මේවා විසදංට තියා උංගේ අප්පට කියන්ටවත්; නිකමටවත් හිතුනේ නැහැ.පොඩි උංගේ පොඩි පොඩි ආරවුල් නෙව. ටික වෙලාවකින් උං හිටියා වගේමයි.

    ටික දොහක් යද්දි මුන් දෙන්නගේ පැටලිල්ල මෝරන්ට ගත්ත. පුරුදු විදිහටම ඇදගන්නේ මද්දුවා. නාන්නෙත් මද්දුවා. ලොක්කා හැමදාම තලනවා උට මදි නොකියන්ට. සුරා ගුරුන්නාංසේ දවසක් ගෙදර එද්දි  මද්දුවා අඬාගෙන ඉස්සරහට දුවං ආවා.

      ‘අප්පච්චී ලොක්කා ගැහුවා....................’ කියාගෙන.

ගුරුන්නාංසේ පිංවපරෙ අස්සෙං ඌ දිහා බලලා හිටං හිනාවුනා. එච්චරයි.

     පහුවදාත් මද්දුවා ලොක්කා එක්ක හටං කොරන්ට ගියා. එදත් පරාදයි. එදත් හවහ ගෙදර එන ගුරුන්නාංසෙගේ ඉස්සරහට ඇවිත් මද්දුවා පැමිණිලි කොළා. ඒත් අප්පගේ කළබලයක් නැහැ.එදත් හිනාවුනා.

     දැං ඊට පහුවෙනිදා. තුංවෙනි දවස. පැටලිල්ලක් දා ගත්ත මද්දුමයා එදත් කෑව ලොක්කගෙන් බඩ කට පුරෝලා. රිදෙන්ටම. හෙන්දිරික්කා මල් පිපෙද්දි පිඹින්ට ගත්ත හොරණෑව, මද්දුවා නවත්තන්නෙම නැතුව හූ තිය තියා අඬනවා. ගුරුන්නාංසෙට ගෙට හූවක් දුරින් තියෙන ඇකිරියේ ගෙවල් දිහායින් එද්දිම ඇහුනා. දැන් ගුරුන්නාංසෙට මැවිලා පේනවා තුංවෙනි දවසටත් මද්දුවා නඩුව කියන්ට පෙරමඟට එන තාලේ.

    ගුරුන්නාංසේ කල්පනා කොරනවා දැන්නං මුංගේ ආරෝව විසදංට කාලේ. නැත්තං මුං ජම්මාන්තර වයිරක්කාරයො වෙන විත්තිය. ගුරුන්නාංසෙට  ඒ වෙද්දිත් ඉව වැටිලා තිබුනේ පැටලිල්ලට මුල මද්දුවා කියන එක. ඒ වගේම  උට ලොක්කා එක්ක පැටලෙන්ට කුරුළුබෙට්ටත් සෑහෙන නිමිත්තක් වග.

හිතුවා වගේම පඩියෙං මිදුලට ගොඩවුනා විතරයි මද්දුවා පෙරමඟට ආවා හූ තියාන උඩ පැනගෙන. වල්ගේ මිරිකපු ගොනා වගේ.

       ‘අප්පච්චී............ ලොක්කා ගැහුවා............’  කියාන

    ගුරුන්නාංසේ අයිය මලෝගේ පැටලිල්ල සදාකාලිකවම නතර කොරන්ට ඉටා ගත්තා. දැං ඉතිං සුරා ගුරා දාංටයි තනන්නේ සම්‍යක් ප්‍රයෝගයක් පොඩි උංට තේරෙන බාසාවෙං. මේක දිහා වත්තේ මායිමටවෙන්ට බලං හිටපු ලොක්කා අප්පා වටේට ඇහැ කරකන විත්තිය දැණුන ගමං වහං වුනා. දැං වට පිටාවේ මොකෙක්වත් පේන්ට නැහැ.

    ගුරුන්නාංසේ බෝම බියෙං සැකෙං වටපිට බලලා මද්දුවාට ළගට කතා ‍කළා. ළගට ආපු මද්දුවාටවත්  නෑහෙන ගානට ආයෙත්,

     ‘මෙහාට වරෙං මද්දුවෝ.......ළගටම වර’       කියලා තවත් ළගට ගත්තා.

     දැං අප්පගේ නාඩි වැටෙන සද්දෙත් පුතාට ඇහෙන තරං කිට්ටුවෙං දෙන්නා. දැන් මුන්දෑ ආයෙත් වටපිට ඇස් යවනවා බෝම සැකෙං. ඒ කරලා හිටං බෝම හිමිං, සැකෙන් බියෙං වචන බර කරලා මද්දුවාගෙං අහනවා.

     ‘හැබෑටම මද්දුවො.... උඹට ලොක්කා ගැහැව්වද.’

     කිතුල් ගහක් වගේ හිටපු අප්ප පුවක් ගහක් වගේ වෙනස්වෙලා කතාකොරන වගක් මද්දුවාට තේරුනා. අප්ප මෙච්චර බයාදුවට අසරණ වුනු දවසක් මද්දුවා කවදාවත් දැකලා නැහැ. අප්පගේ වෙනස්වීම දැක්ක මද්දුවා  ‘ඔව්’ කියනවා වෙනුවට  ඔළුව හෙල්ලුවා.


ගුරුන්නාංසේ ආයෙත් අර සුවරෙංම කියනවා,

    ‘මේ මද්දුවො......මයේ පුතේ, ඔය ලොක්කා මහ වසවර්තියා. මං උඹට හිංදා කියන්නේ. උඹ කා....ටවත් කියංට එපා මේක. උඹ ඕකත් එක්ක ආයෙවත් හැප්පෙන්ට යංට එපා. උඹ දන්නවද ඇයි කියලා? උඹට විතරක් නෙවෙයි දවසක් ඕකා මටත් ගැහුවා.’

        මේක අහපු මද්දුවා ආයෙනං ලොක්කට හයිරං දාංට ගියේ නෑ

4 comments:

දුකා said...

niyamai ban . .. uparimai . . ...

Unknown said...

ඔහොම යං ඔහොම යන නියමයි

charmi said...

මේවා නං මාරම චරිත.
(අද ගැටුම් නිරාකරණ වර්ක්ෂොප් දාල ඔවා උගන්නන්නෙ)


(Word verification නම් ටිකක් කරදරයි)

පිස්සා පලාමල්ල said...

හික් හික් මේක නම් මරු