Friday, November 12, 2010

රා පොළේ කාපියව් බීපියව්




කාපියව් බීපියව් සුකාපියව් සුත්ත පිට පෙරලා බලාපියව්.
ඔය විදිහට කිසිම බයක් හැකක් නැතිව කියවගෙන පාරේ යංට පුලුවං කොයි එකාටද?  ඒත් විලියොංටනං ඒක මහ කජ්ජක් නෙවෙයි බොලව් නිකලන්දේ රා පොළෙං සල්ලං වෙච්ච වෙලාවට. විපස්සි හාමුදුරුවෝ එක දවසක් දෙසුවා කලියුගේ ගැන. ලෝක විනාසෙ වෙංට කලියෙං ඇතිවෙනවයි කියන කලියුගේ ඉංන බේබද්දොත් රාමතෙං කියංනේ බුදු බණ කියලා හිටං.  බේබද්දා කීවේ ඇබ්බැහියක් විදිහට  සුරා පානෙ කරන එකාට.
විලියොං අරම කියපු වෙලාවක ආයුබොවං මීරුප්පේ ගෙදර මැණිකෙට නහුතෙට තදවෙලා විලියොංට කීව,
කුනුහම්බ නොකියා පලයං විලියොං
 කියලා හිටං. එතකොට රා මතෙංම විලියොං ඔළුව පාත්කොරලා කියාපි,
මොන කුනු හම්බයක්ද මැනිකේ; මම කිව්වේ කංට බොංට සැපෙං ඉංට සූත්තර පිටකෙ පෙරළලා බලංට කියලා නෙව, විපස්සී හාමුදුරුවෝ දෙසපු බණක් විනා කුණු හරුපයක් නෙවේ මැණිකේ
කියලා හිටං. මේකා, මේක ධර්මෙට සම්බන්ද කොරාපි. මීරුප්පෙ මැණිකේ අහකට වුනාට කරබාගෙන, හිතෙං සාදු සාදුකියංට ඇති මයෙ හිතේ.
නමෙං ධර්මසේන වුන ධර්මේ  ගියෙත් නිකලනංදේ රා පොළටම තමයි. බොලව් සුරාව පමාවට හේතුවක්ලු නෙව. පංච සීලෙත් ඒක තියනවනෙ ආයුබොවං. ධර්මෙට ගෑනි, දරු මල්ලො හිටියට පිලිවෙලක් නෑ, හරිහමං විදිහට ගේ දොර නෑ. හරකා බාන හිටියට උංටත් සාත්තුවක් පිලිවෙලකට නෑ. ඒ වුනාට රා මතෙං ධර්මේ කීවේ සුරාව මද පමනිං ගැනිල්ල පංච සීලෙමුත් අනුමතයි කියලා හිටං. වෙලාවකට මේකා නාලාගිරිය වගේ බීගත්තම. මේකගේ ඇස් පහදංට විපස්සී හාමුදුරුවංටත් බැරි වුනා නෙව.
නිකලංදට යංට පාර වැටිලා තිවුනේ මඩිත්තේ ගල් ඒදංඩෙං  එගොඩට. හවහට ඒ දංඩ පනින එක ගමට වහංවෙලා කොරංට කොයි රා ගුඩ්ඩටවත් පාසු වුනේ නෑ. හැමෝටම කිලියෙං රා   පොළට යංනේ විලියොං. සමහරදාට හෙංදිරික්කා මල් පිපෙන වෙලාවට මේකා රාත් බීලා ගමටත් අවුදිං ගම මැද රා මතෙං වැටිලත් අහවරයි. එහෙව් වෙලාවට ගමේ වුං කියංනේ,
මේකා නිකලංදෙ රා සේරම බීලද කොහෙද? අපි ගියාට අද බොංට දෙයක් නැතිව ඇති බොලව්
 කියල හිටං.
පුදුමේ කියංනේ ආයුබොවං රාමතේ වැඩිකමට ගම්මැද්දෙම වැටෙංට මුං ඒ දංඩෙං පල්ල නොවැටී මෙගොඩට එන එක. මෙහෙම රා මතෙං දපල ඉංන එවුං දිහා බලලා මීරුප්පෙ මාමා කීව පුරාන සීපදයක කෑල්ලකත් තියෙනවා, 

                             රාමතේ මොටදැ මග පෙරලුමක්     නැතී
ජීවිතේ මොටදැ නෑනා කෙනෙක්     නැතී

කියලා. රා බොනවනංහෙම බොංට ඕනෙලු බොලව්  පාරේ පතබෑවෙංටම. ඒ පදේ හැටියටනං ඒක කියලා තියෙංනේ සහේට ගංට නෑනෙක් නොහිටි එකෙක්. ඒකා රා ගුඩ්ඩෙක්‍ වෙංට ඇත්තේ හෙනං ඒ හිංදා වෙන්ටැ මයෙ හිතේ. ඒ වගේම ගමේ උංට රා බොංට එක එක විදිහේ හේතු කාරනා තියෙන වග උං උං කීවා. විලියොං බීවේ ගම මැද්දට අවුදිං හයිරං පෙංනංට. තිසර රා බීවේ තනිකඩකම නිසාවෙං කියලයි හැමෝම කීවේ. පෙළවහක් කොරාගංට බැරිවුන එකේ දුක නිවා ගත්තේ ඌ ඒකෙං. ලොක්කා බීවේ ඇගේ පතේ වේස නිවා ගංට. ගමේ වෙරවීරීයෙං වැඩකොරන ගොඩක් උංට බොංට මේක හේතුවක් වග පෙනුන. සමහරු පුරස්නවලට බයෙං ඒවයිං වහංවෙංටත් බිව්වා. ඒම උං අදුනගංට ලේසි වුනේ උං කීවා කතාවක්,


"ඕන යකෙක් බයයි බොලව් සුරා යකාට" කියලා හිටං.


ඒත් රනා  බිව්වෙ ගෑණිට තියෙන සෙනෙහෙවංතකමට. මේකට රනාම කතාවක් කියනවා.

ඉස්සර කාලේ වැද්දෙක් හිටියලු සුරා වැද්දා කියලා. (අපේ සුරා ගුරා හෙම නෙවේ.) මේකා වැද්දෙක්. එක දවසක් මේ වැද්දා කැලේ යද්දිං පිපාසෙ අල්ලලා. මේකාට නෙවේ බොලව් දිය ඇබිත්තක් හම්බවුනේ. ඉතිං බොලව් මේකාට රුප්පාවක ගොට්ට ගැහිලා තිව්න ‍කොලවල පල්වෙච්ච වතුර ටිකක් තිබිලා මේකා මේක බීවා කියමුකො. ඒකෙං මූ මත්වෙංට ගත්තා. හවහ පැලට ගාටලත් මේකට මතේලු. මතේ උනාට බොලව් එකේ තිවුනේ පුදුම සුවයක්ලු. මේකට දැනුන සුවේ කොච්චරද කියනවනම් බොලව් ගැනීත්  තුරුලට අරං ලෝකාස්වාදේ යෙදුනා කියාපල්ලකො. වැද්දගේ ගෑනී කිවලු බොලං මෙපමන කලක් මේක කොරාට අද වගේ සුවයක් දැනුනේ නෑ නොවෑ කියලා. එදා ඉදලා මේ සුරා වැද්දා හැමදාම බැද්දට ගාටලා අර පල්වෙච්චි වතුර හෙව්වලු. ඒ වතුර තිව්නේ කිතුල් ගස් යටලු. කිතුල් මල පුපුරලා වැහුන තෙලිදිය නොවැ මේ රුප්පාවේ ගොට්ටෙ පල්වෙලා තියෙංනේ. බොලව් මේ මසුරං වටින අවුසදේ ලැබුන දා ඉදං  වැද්දට රජ මගුල්ලු. වැද්දිගෙනුත් සැළකිලි ලු. රනා ඕක කිය කියා තමයි සුරාවේ ආනිසංස ගැන දොඩව්වේ.

(හැබැයි රනාගේ ගෑනිත් යස අගේට උංනා තමා සතුටෙං.)

නිකලංදේ රා බොංට තියලා තිව්නේ පොල්කටු. පොල්කටු ගානට තමයි මිළ නියම කොරව්වෙත්. සමහර දවසට කට ගැස්මට මයියොක්කා තිව්නා. පෙළක් උං කට ගැස්මට කියලා ගම්මිරිස් ඇටයක් හක්කෙං හපං රා බිව්වා.

ඉතිං ගමේ සුරා සොඩුංට කල්ප වුක්සේ උනේ කිතුල. කිතුලේ මල පැංනොත් ඉතිං වැඩක් නෑ ඕං. කල් යල් බලලා මල කපලා බෙහෙත් ටික තියා ගංට ඕනේ.  ඔය පොල් ගහ, පුවක් ගහ උහට උහේ හැදෙංට හැදෙංට මලත් ගහේ උහට යනවා. ඒත් බොලව් කිතුල් මල හැදෙංනේ අමුතුම කිරමයකට. ඉස් ඉස්සෙල්ලම මල එංනේ ගහේ මුදුනෙං වෙංට, ඔහොමිං ඔහොම පාතිං පාතට මල් හත අටක්ම වැටුනයිං පහු කරටිය  අහලිං අවසානෙට මල එනවා.

ඉතිං කොහොමිං හරි තලා ගත්තු කිතුල් මලෙං තෙලිජ්ජ ටික මුට්ටියට වැටුනයිං පහුවට  ඒක රා වෙංට පැහෙංට අරිංට ඕනේ. නිකලංදේ ඔය රාජකාරිය බාරදීලා තිව්නේ අපෙ ගමේ හා‍දයෙකුට. මිනිහ දඩු දිග කලු හාදයෙක්. ඌට අප්ප තියාපු නම  ප්‍රේමවංශ. කට උරුවට හැමෝම කීවේ පේංමාංස කියලා හිටං. මිනිහට නෑහෙංට කීවේ දඩු පේමෙ කියලා හිටං. රාජකාරිය ඉවරකරලා මේ දඩු පේමේ ගෙදර එංනේ තෙලිජ්ජ කළේකුත් උස්සං. මිනිහගෙ වත්තේ ඒක පැහෙංට තියෙනවා. උදැහැනැක්කෙම හිස් බඩ බොංට. දඩු පේමේ ළග තිව්නා බෝම මුවාත තිව්න මල් පිහියක්. කොලපතකිං තනාපු කාවරයක දමාලා හිටං. දඩු පේමේ කැහැපොට ගහගත්තු ගමංම තමයි උංනෙ. මල් පිහියත් පිටිපස්සෙං ඉනේ ගහං.

නිකලංදේ රා පොළේ ආරස්සාව ගැනත් බෝම සැලකිල්ලක් තිවුනා. නානප්පකාර කරුනු කාරනා හිංදා. ඇයි කියංනං.  හොර හතුරො බොලල්ලා. ඉතිං දැං හංදි ගානේ තියෙන රට බීම තැබෑරුං වගේ රාත්තිරියට රා කළගෙඩි, කිතුල හොර හතුරංගෙං බේරා ගංට වටකොරලා අගුලුලංට යෑ. මුට්ටියෙං හොරෙං බොන වගක්  දැනුනොත් ඉතිං වක්කඩ පෙන දානවම තමයි.  එහෙම නැත්තං මුට්ටියට වක්කඩ පෙන දාපු වගක් බොරුවට හරි ගමේ පතුරෝනවා. කුඹුරෙ ලියද්දෙං ලියද්දට වතුර වැටිල එතැන එක්කාසු වෙන පෙනවලටයි වක්කඩ පෙන කීවේ. එහෙම නැත්තං තවත් උගුලක් විදිහට කිතුලේ හෙලට යංට තියෙන ඉනි මගේ ලී බාගෙට කඩල තියෙනවා. හෙමත් නැත්තං කිතුලේ මුදුනෙ නූලකිං පො‍ළගෙක් එල්ලනවා මේවා කොරව්වේ හොර හතුරංගෙං මුට්ටිය බේරගංට ආයුබොවං.

යකෝ මේක බොන එක මූලවාතෙට ගුණ දෙනවා. හුජ්ජ බොක්කට ගුන දෙනවා. බොක්කට ගුන දෙනවා. ඒ විතරක් නෙවේ බොල පායංටත් ගුන දෙනවා.

උගුඩුවෙක් වගේ සුරා සොඩෙක් වෙලා උන්න අපේ රජා බාප්පා රා බීලා කීවේ එහෙමයි. උංදැ වල පල්ලේ ගියේ  යෝදයෙක් වගේ. කිතුල් ගහක් වගේ බෝම සරුසාර සරීරයක් උංදට තිව්නා.

පස්සෙං පහු පොලෝසියෙං වුන අරියාදුවලට බයෙං ගමේ රා පොළ අතුරුදං වෙච්චි. කිතුල් රා බීලා කිතුල් ගස් වගේ බෝම  සරුවට උංනු යෝදයො වගේ උං  රට බීම තැබෑරුමට ගොඩවෙංට වෙච්චි. උං බොලව් බලාන ඉංදැද්දිං කේඩෑරි වෙලා අංසබාගෙ හැදිලා වළපල්ලේ ගියපි.

අපෙ ගං පළාත්වල තවමත් තැනිං තැන තියෙන කිතුල් ගස් ගමේ පිරිමි දිහා සෝකෙං බලං ඉංන ගමං මොකක්දො කතංදරයක් කියන වගක් මට හිතෙනවා ආයුබොවං.

ඒ හැමදේම ගමෙං අතුරුදං වුනත් විස්වාස කොරහල්ලා ඔය මොකාටවත් නෑල්ලෙංට දඩු පේමේගෙ රා මුට්ටියෙං ඉදලා හිටලා, මායි එගොඩවත්තෙ අක්කුවයි දෙංනා දඩු පේමේටත් කොටහ ඉතුරු කොරලා හිටං නලපාන ජාතකේ සිහි කොර කොර පැපොල් බට දාලා හොරාට රා බීව අතීතේ මයෙ හිතෙං මැරෙනකංම අතුරුදං කොරංට බෑ ආයුබොවං.


ඇත්තමයි ඒ අතීතේ මතක් වෙන කොට පපු කැවුත්ත හෝස් ගානවා ආයුබොවං.

12 comments:

පුතා said...

අර පායංටත් ගුන දෙන කතාව නම් සහසුද්දෙන්ම ඇත්ත කියලා මමත් හොඳටෝම දන්නවලු ඕං.... මොනව වුනත් කිතුල් රා කෝප්පෙක තියෙන මෙව්වා එක කොහොමද කියනවනම් මතක් වෙද්දිත් බඩ හීතල කරන් යනව වගෙ දැනෙනවා... ආ... අර සිංදු වැඩේ හරි ගියාය....

Anonymous said...

පට්ට කතාව. "පායං" කියන්නේ මොකක්ද?

Ishara said...

කිතුල් රා නං ඉතිං අර කිව්වා වගේ සම කොරන්ට බැහැ තමා. බොන්නෝ දති. දන්නෝ බොති.

විකී said...

පුතා ඒ වැඩේ හරි. ස්තුතියි.

*(පායංට ගුන දෙනවා - කන පිට දමා ඇත හරවා බලංට)

Ishara එහෙමම තමයි

charmi said...

අපි නං ඉතිං මූදුකරේ ඇත්තො වෙච්චි. දුකට සැපට පොල්මලම තමා.
දවසක් ඔය පළාතෙ ඇවිත් කිතුල් රා තිබහක් හැදිලා කිතුලක් හොයාන ගියා කියමුකෝ. සෑහෙන දුරක් ගියා. මොකුත් නෑ. නඩේ ගුරාගෙන් අහද්දි කියපි "තව පොඩ්ඩදුරයි.. ඕං ඔය කන්දෙන් එහාපැත්තෙ..." කියලා. ආයිබොවන්ඩ කන්ද දැක්කා විතරයි අපේ උං ආපහු හැරිලා දිව්වා. ඒ කන්දෙන් එකෙල මෙකෙල වෙන්ඩ අපිට නං වරුවක් වත් යනවා.

විකී said...

Charmi එව්වා එහෙමයි. කාලේ වැරැද්ද. ඒත් ඔය මූදුකොරේ දවසක් අපි ඇවිල්ලා පොල්රුප්පාවේ දෑත දික්කොරං හිටියාම මුට්ටිය ආවේ නැතෑ අතටම සුරූස් ගාලා. ඒවත් නරකම නෑ. වෙලාවේ හැටියට මසුරං.

Anonymous said...

අපෙත් තිබුන කාලයක් මොන මොන රට අරක්කු තිබුනත් රා ජුන්ඩක්නම් නැතුවම බෑ.මේක කියවද්දිත් රා රහ නිකන් දැනෙනවා දැනෙනවා වගේ.
ඔය ධර්මය ගැන කියන හාදයෙක් එහෙම රා බොද්දි අපෙන් ඇහුවා,කියාපන් බලන්න මේකේ තේරුම."බෝ මැඩ මුල තණ මිරිකූ ජිනරතන"

charmi said...

@ සි.ම,
අපි දන්නෑ ඔය කුණුහරුප.
හැබැයි මරු කෑල්ල.

charmi said...

මේකනේ ගොයියෝ. දවසේ වැඩකටයුතු වලට හතර දිග්බාගේ දුවන ගමනුත් මතක් වෙන්නේ ගැමියාගේ පට්ටන්දර. ඉතිං එතකොට මතුවෙන පුරස්න තමා මේ.
1.අර පොළඟා එල්ලන කතාව ඇත්තක්මද?‍
2.මංකඩ පෙණ ඇත්තටම විසද? ඒක වෙන්නෙ කොහොමද?
ඔච්චරයි.
(සි.ම. ගේ අබියෝගේ තාම තියෙනවා ඕං....)

විකී said...

1.දැං ඉතිං කිතුල් කෙරුවාව කරන්නේ නැහැනේ.මේ ගැන පරණ කතා ගොඩක් ගම්වල තියෙනවා.පොළගා නූලකින් ගැට ගහලා ඌට ආයේ ගහට නගින්ට බැරි විදිහට එල්ලා තියනවලු එල්ලිලාම ඉන්ට වෙන විදිහට. ඌ බලං ඉංනේ මොකේ හරි ටච් වුන ගමං බේරිලා යන්න. මනුස්සයෙක්ගේ වැදුනොත් දෂ්ඨ කරනවා. එහෙම තමයි කතා තියෙංනේ.

2. වක්කඩ පෙන රාවලට දැම්මම විස වෙනවලු. මේ ගැනත් පරණ කතා ගොඩක් ගම්වල තියෙනවා. මට කිතුල් මැදපු කෙනෙක් කීව. මිනිහා වක්කඩ පෙන දැම්ම. මැරිලා හිටියේ ලොකු මීයෙක් කියලා.
(ඒක නෙවේ මොකෝ මේව අහංනේ ගෙදර කිතුලක්වත් තියෙනවද? බෙදා හදාගෙන කෑව බීවනම් මිනිසු එක්ක පැටලෙංට වෙන්නෙ නැහැ, එහෙම නේද?)

සී.ම. ට
තණ - කියන්නේ තෘණවලට. ඒ නිසා මේ ලියන්න ඕනේ “තන” විදිහට එ‍තකොට මෙහෙමයි වාක්‍යය.

“බෝ මැඩ මුල තන මිරිකූ ජිනරතන”

ඒ තන කියන්නේ තන්හාව කියන එක.
ජිනරතන - ජින= ජයගත් ජින+රතත. මේක බුදුන් වහන්සේට කියන නමක්.
මිරිකූ කියන්නේ මැඩලූ කියන අර්ථයෙං. මර්ධනය කළ/ මරා දැමූ කියන එක

“බෝ මැඩ මුල දී තන්හාව මැරූ නැතිනම් මැඩලූ බුදුන් වහන්සේ” මෙහි තේරුම. මගේ මතකය හරි නම් මේක තියෙන්නේ අමාවතුරේ නැතිනම් බුත්සරණේ.

Anonymous said...

ටක්කෙටම හරි විකී,මගේ යාලු මාළුවත් අපිට ඕකට උත්තරේ දෙන්න බැරිඋනාම ඔය විදියටමයි තේරුම් කරලා දුන්නේ.මිනිහගේ තව ඔයවගේ කියන පද පෙරලි ගොඩක් තියනවා.මතක් උනොත් කියන්නම්.

විකී said...

සි.ම.ට
අනිවාරියෙං දාංට. මම බලාන ඉංනවා