Saturday, September 18, 2010

පච්ච කෙටීම.

ඊයේ 2010.09.16 ගැමියගේ ලංකාවේ පාඨකයෝ ගාන සීය පැංනා. ඒ හිංදා හිතව්වා ඕං ‘අළුත් කතා ’ label එකට අමතරව වෙනත් label එකක් යංට ‘හුණු කිල්ලෝටය’ කියලා. හුණු කිල්ලෝටයට ඇගිල්ල දාලා බලපුවාම ඒකේ  ඇතුලේ තිබුණ පළමු කතාව තමයි මේ.
------------------------------------------------------------------------------------------

පච්ච කෙටීම.
කෙටීම. පච්ච කෙටීම. පච්ච

දැන්  බොහොම වියපත්වෙලා “මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ” විදිහට ඉන්න ලොකු අත්තලා, මාමලාගේ තරුණ කාලේ චර්යාව දැනගන්න හොදම නිහඩ සාක්ෂියක් තමයි සමහරුන්ගේ ඇගේ කොටලා තියෙන එක එක විදිහේ පච්ච. පච්ච හරහා විවිධ දේවල් සමාජයට, අනෙකාට සංනිවේදනය කළා. නැතිනම් ඇගෙව්වා. අහිසකකම , ආදරය, දරුණුකම ඔය කෝකත්. ගමේ මිනිසු වසර්තියෙක් විදිහට හදුන්වපු මිනිහගේ පපුවේ වම් පැත්තේ (හදවත පැත්තේ) කොටපු පච්චෙක තිබිලා තියෙන්නේ රෝස මලක්.




මගේ යාළුවෙක්ගේ ලොකු අත්තා මැරුණා. මිනිසු කතාවුනා ‘ඒ කාලේ හොද පොරක් තමයි මිනිහා’ කියලා. පොරක් කියන එක බර කරලා කිව්වට  වැඩි විස්තර කිව්වේ නැහැ. ඒවා හිතා ගන්න ඕනේ. එහෙම තමයි ගැමියෝ. ලොකු අත්තා එම්බාම් කරන එක බලන්න කොල්ලො කාමරේට රිංගුවා. එම්බාම් පොම්පෙ ගහන්ට ඇදුං අයිං කරපුවාම කකුල් දෙකේම කළවා මුදුනේ පච්ච දෙකක් කොටලා. දණ ගහ ගත්ත ගෑණු දෙන්නෙක් රහසඟ දිහාට වැදගෙන ඉන්නවා. එතකොට තමයි තේරුණේ ‍එයා පොරක් වුනේ මොවගෙංද කියලා.තවත් වැඩිහිටියෙකුගේ උරහිස් දෙකේ තිබුණේ එයාගේ දරුවෝ දෙන්නගේ නම් දෙක. මගෙ දරුවො මං දෙවුර දරාන ඉන්නවා කියලා වෙන්ට ඇති.

 පච්චේ අනුව ගමේ සමහරු අදුන ගැනිල්ලත් ලේසි වුනා. ගමේ විජේලා දෙන්නයි. එක විජේ කෙනෙක්ගේ භාහුවක කොටියෙක් . ඒ නිසා එයා කොටි විජේ. පච්ච සිරා, පච්ච සෝමේ, පච්ච ගුනේ කියලා කිව්වේ පච්චේ පිහිටෙන් අදුන ගන්න පහසුවෙන්න.

දන්න කියන වැඩිහිටියෙක් කතාවක් කිව්වා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කතාවුනාලු පච්ච කොටන්න. කට්ටියම ගියා. රා බිව්වා. හය හත් දෙනෙක්ම පෝලිමේ කොටා ගත්තා.අම්මා බුදු වේවා, මරුවා සමග වාසේ, මේවා ඒ කාලේ ජනප්‍රිය පච්ච වැකි. ඔය එක එක විදියේ ඒවා කට්ටියගේ අවයවවල එක එක ප්‍රමාණයෙන් කෙටුනා. අන්තිමට මෙයා. පොරොන්දු වුනාට මේකට මුන්දැගේ වැඩි මනාපයක් නැහැ. කොල්ලො තරහා කරගන්ට බැරි හින්දා,

‘මෙන්න පුතේ මං කොටා ගත්තු පච්චේ.’

කියලා මිනිහා පෙන්නුවා අතේ තිබුණ පච්චේ.අබ ඇටයක් විතර තිතක්.

·         

දකින කෙනෙක් හිතන්නේ උපං ලපයක් කියලා. පච්ච කොටා ගන්ට කලින් බොනවලු. අපේ ගමපැත්තේ තේ කඩයක් තිබුණා. තේ හදව්ව කෙනා ඇන්දේ සරමයි බැනියමයි. එයාගෙත් පපුවේ පච්චයක් තිබුණා

“ජීවිතය සනටකි”

කියලා. මොකක්ද මේකේ තේරුම. එයා පච්ච කොටා ගන්න ගිය දවසේ පච්ච කොටපු එකා ඉදලා තියෙන්නේ නහුතෙට බීලා. තේ කඩේ සහෘදයා තේරුම් ගත්ත විදිහට ජීවත්වෙන එක මොන වගේද කියලා හැමෝටම පේන්න කොටා ගන්ටයි ඕනෙවුනේ. කිව්වේ 


‘ජීවිතය සටනකි කියලා කොටපං’


කියලා . මිනිහා කෙටුවේ වෙරිමර ගාතේ අකුරු මාරු කරලා .

“ජීවිතය සනටකි” 

කියලා.  ඒකාලේ පච්ච කෙටිල්ලෙදි වැරද්ද වුනොත් වුනාමයි. ආයේ මකනව බොරු. උන්දෑ නම් දැන් මිය පරලොව ගොහිල්ලා. හැබැයි මේ පැත්තේ මිනිසු තවම කියන කතාවක් තියෙනවා. මිනිසු මගදී හමුවනාම ආගිය තොරතුරු කතාකරනවනේ සැපදුක එහෙම අහලා. එහෙම වෙලාවට අතර මග දී කවුරු හරි ඇහුවොත් 

‘කොහොමද බං ජීවිතේ’

කියලා උත්තර දෙන්නේ,

‘ජීවිතේ සනටකි’    

කියලා. හැබෑවටම සටනක් වුන ජීවිතේ ගැන බර දාල හිතල ලෙඩවෙනවට වැඩිය, සැහැල්ලුවෙං හිතංට අවුරුදු ගානකට කලියෙං අකුරු මාරුවෙං වුන වැරද්ද  පිහිටවෙලා කියලා එක වෙලාවකට මට හිතෙනවා ආයුබොවං. 

හොරකමකට පාඩමක්


අපෙ ගම් පළාතේ ගම්මුංගෙ වතුවල වැට මායිමට හදංනේ එඬරු, වැටහිර, ඉංදියං රබර් වගේ නොවටිනා ගහකොල ඕං. මොකො එහෙම කොරංනේ. වටිනා කියන ගහක් හදාපංකො කොස්, පොල්, කරාඹු වගේ. පස්සෙං පහු ආරවුල් වෙනව නෙව, දෙපැත්ත; ගහට තංනහව ගහල.  ඒක නැති කොරංට උපායක් ඒක.

සුරා ගුරුන්නාංසෙගෙ වැටෙ මායිමක එක්කොනක් ගංසභා පාරක්. ඉතිං මේ ගං සභා පාරට මායිං වෙච්ච වැටේ වටින කියන ගහක් කොළක් හැදුනට, පස්සෙන් පහු ආරවුලකට මුල්වෙයි කියලා ඕං උගුල්ලලා දාංට ඕනැ වුනේ නැහැ.  වත්ත මැද තියෙන කොයි ගහකොළ ගැනත් බෝම විප‍රමෙං ඉංන සුරා ගුරුංනාන්සෙ මේ වැට මායිමේ ගහකොළ ගැනත් ඒ සැළකිල්ලම තිබුණා.

මේ වැටේ බෝම ජයට වැවිලා තිව්නා ගංසුරියා ගහක්. ගං සභා පාරපැත්තට යංතං ඇලවෙච්චි ඒකෙ ගොබිලක් අහස පලාන ගියා බඹ තුන, හතරක්ම උහට  එක කෙළිං. පුවක් ගහක් තරං මහතට. සුරාට මේ ගොබිල දැකලම ඒකේ ස්වරූපෙ මතක හිටලා ඕං.

ඔංන ඔය කාලේ තමයි මුල්ගම ගෙදර මැද්දු හරක් ගාල අළුත් කොළේ; වහළෙට යට ලී, පොල් අතු, පිදුරු හෙම අළුතෙංම  හෙවිල්ල ලා. මැද්දුවා ගුරුංනාංසෙගේ වත්ත කිට්ටුවම තමයි වසව්වේ. බෝම ජයට හදල තියන අළුත් ගාල දිහාවට දවසක් සුරාගෙ ඇහැ ගියේ ඒකෙ තිබුන අපූරුව හිංදමයි.


ඒත් ගාලේ වහලේ මුදුං ලීයෙනං අපුරුවක් නෙවෙයි බෝම හුරුවක් තමයි සුරාට දැණුනේ. ‘හ්...ම්..බෝම හුරු පුරුදු පාටයි.’ සුරා ඉතිං ඕක ගැන කල්පනාවෙං අත්‍ දෙකත් පස්සට කොරං වත්තට ගොහිං වැටේ ගංසූරියා ගහ බලව්වට පස්සෙං පහු තමයි තේරුනේ වෙලා තියෙන සංගදිය. යස අගෙං තිබ්බ සූරියා ගොබිල නෙව මද්දුවා මේ හොරෙං අරං ගොහිං  ගාලේ යට ලීයට දමල තියෙංනෙ කියලා සුරාට යමර කේන්තියි..

ඔංන සුරා ගුරුංනාංසෙ ඒ වුනත් වත්තෙ හෙම කරක් ගහලා හෙමිහිට පල්ලම් බහිනව ආපහු  මැද්දුවාගේ ගෙවල් දිහාවට. වයසට ගියා වුනාට මේ කාලේ ඉතිං හයි හක්තිය හෙම තිව්න කාලේ. මැද්දුවා හරක් ගාල පිටිපස්සේ බෝම සීරුවට වැඩ.

ගුරුංනාංසේ  ඉතිං ඒ ඉසව්වට ඇවිත් හිටං මද්දුවාට පේන දුරිං ඇණ තියා ගත්තා.දැං ඉතිං මැද්දුවාගේ අවසරයක් නැහැ උංදැ තනියෙං කතාව.

‘ඈ බං මැද්දුවෝ, උඹ දැක්කද මගේ වැටේ......... ගංසූරියා ගහේ තිව්න ගොබිල.’

මේක ඉතිං “හොරාගේ අම්මගෙං පේණ අහනවා” වගේ‍ වැඩක් විත්තිය සුරා දංනවා. මද්දුවා ගත් කටටම කියනවා,

‘මොන ගොබිලක්ද , ඔහෙ නෑ ගුරුංනාංසේ’ කියලා.

සුරා දැං මෙහෙම හිතනවා “වහලෙ තියෙන ගොබිල ගහේ තිව්න ගොබිලට සමයිනං; ගහෙත් ඒ ගොබිල නැත්තං, මම දන්නවා නෙව මූ ඒක කපං ඇවිත් විත්තිය. ආයේ ඉතිං මේකගෙං වහලේ ගලවලා ලීය ගංටයැ. අනෙක් අතට ඔය සතාට හෙවන දෙංට මං දානයක් දුන්න කියල හිතනවා. ඒත් ඉස්සරහටවත් මෙහෙව් හොරකං නොවෙංටනං මූට පාඩමක් කියලා දෙංට එපෑය.”  එහෙම හිතපු සුරා මැද්දුවාට ඇහෙංට මෙහෙම කියලා ඇණ තියං හිටපු තැනිං නැගිටලා අත් දෙකත් පිටිපස්සට ගැටගහගෙන යංට යනවා.

‘අනේ, විපරං කොරලා බලාපං මැද්දුවො; ඒක උඹෙ ගාලේ වහලෙටවත් යටවෙලාද කියලා. මට ආයේ ඕක දෙසැරක් බලංට වෙලාවක් නැහැ අප්පච්චී.’