Thursday, December 30, 2010

තනිකඩයගේ පැල් කවිය

ඔංන කාණ්ඩෙම අවුරුද්ද ගෙවෙංට කලියෙං මීරුප්පේ මාමා කිව්ව පරණ කාලේ කවියක් කියවල ඉමුකො හෙනං. ඒකාලේ පැල් රැකපු තනිකඩයෙක් තමංගෙ හිත ගිය ළමිස්සිට ඇහෙංට කියාපු කවියක් කියලා හිටං තමයි මාමාණ්ඩි මේක කියව්වේ. රෑ හඳ කාලෙක තනිපංගලමේ පැලේ ඉංදැද්දිං පෙනුන දැනුන දේවල් එක්ක හිත ගිය ඇත්තී ගැන කියවුනු කවියක්ලු මේක.
තනිපංගලමේ පැල් රකින මේ හාදයගේ දෑහට පේනවා කන්ද උඩිං පායාගෙන එන හඳ. ඒ හඳ දැකලා හිටං උගෙ සිහියට එංනේ තමංගෙ හිතේ ළගින ආදරවංතිය. හැබැයි කොච්චරනං ආලවට්ටං දැම්මත් මේකි නෙවේ ඒවට ඇල්ලෙංනෙ. ‍දැං මේ රාත්තිරියේ කොඳ මල් පිපිලා ඒ සුවදත් මේ හාදයට දැනෙනවා. පැල් රකින එකා එංනේ නිදා ගංට බලාන  නෙවේ නෙව. ඌ රාත්තිරිය අවදියෙං ඉංට ඕනේ. මේ අහන දකින දේවල් එක්කං නිදාගංට උවමනාව තිබුනත් මේ හාදයට නිංද අහලටවත් ආවේ නෑ බොලව්. ඒ හිංදාම සිහියට ආව සාංකාව උංදෑ පිට කොරව්වේ මෙංන මේ විදිහටලු ආයුබොවං.
කන්දටත් උඩින් පුන් සඳ මෝදු             වෙලා
මන්දටත් නොඑන සාවිය හිදී                   බලා
ළන්දටත් දැනේ කොඳ මල් සුවඳ             ගලා
                              නින්දටත් ඉතිං මට දැං කොහෙද           වෙලා

Thursday, December 23, 2010

සුරා ගුරුංනාංසෙ තෙල් සාත්තු කොරාපු හැටි

කාලෙං කාලෙට  ගමේ කොල්ලංගේ කටවල් අගට එක එක විදිහේ පද එනවා. තැන නොතැන බලං නැතුව එව්වා ඔහේ කියවන එක උංට මහා වීරකමක් වුනා. එව්වා මම උඹලට  අමුතුවෙං කියා දෙංට ඕනේ නැ නෙව. ගහ දංන එකාට කොළ කඩා පාංට ඕනද? ආප්ප කෑව ඈයොංට ඒකේ ඇදලා පෙංනංට දෙයක් තියනවා යෑ. ඉතිං වැඩිය කරුණු කාරණා නොකියා කෙළිංම කතාව කියංනං.
ගමේ ඇතුළට වෙංට තියෙනවා තුංමංසලක්. ගමේ කොයි රස්තියාදුකාරයගෙත් නවාතැනක් ඔතන. මුං දෙගොඩහරිය වෙනකං වැඩක් ඇතා නැතා මෙතැන ලගිනවා. එක අතකට ගම මැද මුං ලගින එකත් හොදට හිටින වෙලාවලුත් තියෙනවා. ඒවා පස්සේ වෙන දවසක කියංනං.
දවසක් රාත්තිරියේ හද පායපු දවසක තෙල් සාත්තුවකට ගිය සුරා ගුරුංනාංසේ බෝම තෙහෙට්ටුවෙං ගෙදරට ගාටනවා. දැං වයසත් බෝම වැඩී නෙව. ඉතිං මේ අල්ලපනල්ලේ ගමේ ඉළංදාරි නඩේ හංදියේ රොක්වෙලා උංනා. බෝම තෙහෙට්ටුවෙං අපේ සුරා ඇත්තත් හද එළියෙම හංදිය ලගිං යද්දිං එතැන උංනු  එකෙක්,
‘මාමණ්ඩි බෑරකට ගියාද?’
 කියලා හිටං ඇහුවා කියමුකෝ. ඒ කතා කොරේ “දොඩංපහේ කළු බාස්ගේ ලොකු කොල්ලා බව සුරා අදුනා ගත්තේ පේන නොපෙනෙන හද එළියෙං‍ නෙවේ කට හඩෙං.
‘ඔව් බොලං තෙල් සාත්තුවකට ගියා; තෙහෙට්ටුයි යංඤං.
කියලා අඩි තුන හතරක් යද්දිං සුරාට ඇහුණා එකෙක් යංතමට හීනියට  අහනවා
‘මොකෑ තෙහෙට්ටු ජංගිය දාලා නෙවේද තෙල් සාත්තු කොරව්වේ’
කියලා.
මේක අර මුලිං කිව්ව වගෙ මුංගෙ කාලෙං කාලෙට කියන පදයක් නෙව. ඒ කටහඩ “වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ වග සුරා බෝම හොදට අදුරගත්තා ඕං. සුරාට මේ වචනෙ එක්ක බෝම නහුතෙට තදවුන අතීතෙකුත් තියෙනවා බොලව්. අමතකනං මෙතන ඔබපල්ලකෝ. දැං මතකනේ. සුරා කියංනේ හිතේ කුණු ඉතුරු කොරා ගංනෙ නැති මිනිහෙක් උනාට මෙංන මේ අතීතේ හිතට ආව හංදා සුරාට මේක හිතේ පැල පදියං වුනා කියල තමයි මේක මතක් කොරන ගමේ එව්වෝ කියංනේ. ඒත් සුරා කට ඉස්සර කොර ගංනේ නැතුව මේක ඇහුන නෑහුන ගානට උගුර පාදලා යංට ගියා. කොල්ලො රැළ මහ හයියෙං හිනා වෙනවත් ඇහුනා.
දැං මේක සිද්ද වෙලා පෝයෙං පෝය ගෙවුනා කියමුකෝ. දැං ඉතිං කොල්ලොංටත් මෙව්වා අමතකයි.
ඔහොම කාලේ යද්දිං වීසිංගෙදර මැද්දුංගෙ කොල්ලගේ දත් වෑ ගෙඩියක් අවුදිං කකියනවා කියලා හූ තියෙනවා. බොලාලා දංනවා නෙව සුරා  ඔය වගේ ඇගේ පතේ අපාසුකංවලට තෙල් මතුරංට හෙම සූරයා කියලා හිටං. කොල්ලගේ කන්දොස්කිරියාව ඉවසංට බැරුව දැං මැද්දුවා කොල්ලව ඇදං යනවා සුරාට කියලා තෙල් සාත්තුවක් කොරා ගංට. උගෙ නඩේ උං ටිකකුත් මේ පිටිපස්සෙං යනවා ඉතිං. ආයුබොවං මෙව්වා ගං. ඒ කාලේ හංදි ගානේ ඩැංටල් කිලිනික් තිව්නේ නැහැ. තෙල් සාත්තුව තමයි ඉතිං ඔහොම තැංවලට ටක්කෙටම හරි ගියේ. දැං මේ මැද්දුංගෙ කොල්ලට ලෝකෙම අමතකයි දතේ වේදනාවට.  ඉතිං මැද්දුවා සුරා ගුරුංනාංසේට බුලත් අතක් හෙම දීලා කොල්ලගේ ගාය ගැන කීවා. මේ අල්ලපනල්ලේ සුරාට පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියත් මතකෙට ආව ඕං. ඒක මුලට ගංනෙ නැතුව ගුරුංනාංසෙත් ඉතිං ගේ ඇතුළට ගොහිං ටිකකිං දෙහි ගෙඩියක් මතුරං අවුදිං; කොල්ලගේ කම්මුලේ තෙල් ටිකක් උලලා හිටං ,
‘මෙංන මේක හපාපිය හක්කෙං; ඒ කොරලා හිටං කෙල ටික ගිලපං.’
කියලා  දෙහි ගෙඩිය කොල්ලට දුංනා. ඌත් ඔංන හූල්ලන ගමංම හැපුවා දෙහි ගෙඩිය හක්කෙං “ චරස් ගාලා. ඌට ඒක ඇඹුල් වගක්වත් දැණුනේ නෑ  වේදනාවෙ දරුණු කම හංදා.
ඇස් වහක් කටවහක් නෑ බොලව් ඒක හපලා කෙළ ටික ගිල්ලා විතරයි මේකගෙ වේදනාව අතුරුදං වුනා කියපල්ලකො. මැද්දුංගෙ කොල්ල දෙයියෙක් දැක්ක ගානට දනිං වැටුනා සුරාගෙ ඉස්සරහ. මැද්දුවත් බෝම පිං දීලා දැං සුරාගෙ ගෙදරිං යංට යනවා. ඒ යන ගමං මැද්දුං කියනවා ,
‘අනේ ගුරුංනාංසේ නොහිටිංට මේකා මහ ඉස්පිරිතාලෙටම උස්සං යංට වෙනවා නෙව. ගුරුංනාංසෙට බෝම පිං අයිති වෙනවා මේ කොරන සේවෙට. උඔලා මේ වෙදකං කෝම කොරනවද කියලා අපටනං හිතා ගංටවත් බෑ ඕං.
ඒක හැබැයි කියලා කොල්ලොත් ඔළුව වනනවා. පෝය කීපෙකට කලියෙං වුනු සිද්දියට මේකට පාඩම උගංනංට දැං ඉතිං වෙලාව හොදා කියලා හිතපු සුරා, මෙහෙම කියනවා.
‘හොදා හොදා ගොහිං වරෙල්ලා; හැබැයි....................මද්දුවාගේ එකො ................. උඹ දංනවද? මම උඹට අද වෙදකං කොරේ නං; අර එදා රාත්තිරියේ හංදියේදී උඹ දාලද අහපු එක ඇදගෙන  නෙවේ බොල.

Tuesday, December 21, 2010

පිච්චිය නැති අල්ලපනල්ලේ ලමසත් කොරන වැඩ




කැතිගානාකදුරේ ගමෙං කැංදං ආපු ලමසා තමයි සුරා ගුරුන්නාංසෙගේ අඹුව. සුරා ගුරුංනාංසෙට කොයි එකටත් ඉංන සිරිදුව උනෙත් ඉතිං උංදෑම තමයි. සුරා ගුරුංනාංසේ වළ පයයි ගොඩ පයයි තියං ඉංන අල්ල පනල්ලෙ උංනැ හදිස්සියේ හහ් ගෑවොත් ඒම ලමසගෙ කයි කතංදර බොලාලට කියන එක බොරු.  ඒ හංදම උංදෑ ගැනත් වටිං ගොඩිං කියලා තියෙන එක ඇගට ගුණයි කියලා හිතුන හංදා එහෙම කොරංට හිතා ගත්තා ඕං. හැබැයි මේක උංදැගෙ කෙරුවාවකට සුරා දුංනු උත්තරයක් බෝම ඉස්සර.


ගමේ කොයි එකාටත් ඉතිං නැතිබැරිකං කියන ඒවා උපදිනවා නෙව, හිටි අඩියෙම. ඉස්සර කාලයක් සුරාගේ ගෙදෙට්ටත් නැතිබැරිකං ගොඩවෙලා උංනා කියමුකො. ඉතිං වැඩියෙංම නැතිබැරිකං තිවුනේ ගේ ඇතුලේ කුස්සිය පැත්තෙ. පිටිං ගේන ලුණු, සීනි, කරවල ටික බෝම හිපාඩුව දැණුනා. ඇගේ පතේ වේස නිවාගංට රණවරා, පොල්පලා ටිකක් හරි, කෝපි කෝප්පයක් හරි බී ගංට සීනි ඩිංගිත්තක් ගේ හරියේ නැති එක බෝම තදේටම දැණුනා. කුඹුරේ පිටියෙං හාල් ටික පොල්ටික, පළා ටික ලැබුන හිංදා වගෙම වැලි කාලා හරි ඉංට පුළුවං විදිහට දරු මල්ලො හැ ගැහිලා උංනු එක මේ හැම එකටම බෝම ඉස්පාසුවක් වුනා.

ඉතිං පිටිං අඩු වැඩිය ගංට සුරාට පිච්චිය නැති කාලෙක දවසක් සුරා ගෙට ගොඩවෙද්දී ලමසයි සුරාගේ කොල්ලො කුරුට්ටෝ ටිකයි වටවෙලා බිත්තිය දිහාව කට කොට්ටං අල්ලං බලං ඉංනවා. මේ මොකද බොලව්, තොපිට අමු කැවිලද?  කියලා ඔළුව දාලා බැලිංනං සුරා දැක්කේ බිත්තියේ ගහලා තියෙන අලුත්ම ඔරලෝසුව. සුරා ගුරුංනාංසේ ඇහුවා ගත් කටටම;

කොහෙංද බොලං මේක

 කියලා. ඒකට ලොක්ක එක පාරට පට පට ගාලා කියාපු උත්තරේට සුරාට ඌරු ජුවල්;

මනි බඩු කාරයගෙං අම්ම හැටපහකට ගත්තෙ.

සුරාගේ අඹුව මනි බඩු කාරයගේ නානප්පකාර කයිවාරුවට වසී වෙලා හිටං ගේ හංගං උංනු පිච්චිය දීලා බිත්ති ඔරලොසුවක් අරං. යකො මගෙ අතේ පිච්චචියක් නෑ මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා සුරා දැං හිත්තයා එක්ක වාද කොරනවා බෝම තරහෙං. ඒත් ලමසටනං බෝම සතුටුයි කොරාපු දේට. ඉතිං මේ වෙද්දි උංදෑ හිටියේ කොරාපු දේ ගැන බෝම උජාරුවෙං.

සුරාට අහවල් එකකටද ඔරලෝසු.  සුරා දංනවා කුකුළා අඩලනකොට පාන්දර පහ විත්තිය. ඉං හෝරාවක් ගියාම අවිච්චියා කෑ ගහනවා. තව හෝරාවක් යනකං කපුටො කෑ ගහනවා. ඔය කාරියං වෙද්දිං උදේ හත විතර වෙනව. දෙමලිත්තො වත්තට එංනෙ ඊළග හෝරාව ගෙව්නම. ඉරගල මුදුං වෙද්දි දවවල් දොළහයි.  හවස වැඩපොළ ඉවරකරංට කියලා තමයි හෙංදිරික්කා මල් පිපෙංට ගංනෙ. ඔය විදිහට පරිසරේ වට පිටාව එක්ක උංනු සුරාට ඔරලෝසුවෙං ඇති පලක් තිව්නේ නෑ.

කොහොමිං කොහොම හරි සුරා දැං තරහ නිවෙංටත් එක්ක කඩ මංඩිය පැත්තට යංට හිතාගෙන යංට යනවා. සුරා ගුරුංනාංසේ කියංනේ තමංගෙ තරහ අතිං පයිං පිට කොරාපු මිනිහෙක් නෙවේ නෙව. මේ වගේ ලමස නිසාවෙං ඌරු ජුවල් එන කාරනාවලදිං සුරා කොරව්වෙ ම ඇරලා ගොහිං තරහ නිව්නම ගෙදෙට්ට එන එක. සුරා යනවා දැක්ක ලමසට බෝම දුක හිතුනා. ඔරලෝසුව දිහා ඇහැක් ඇරලා නොබලංට හේතුව ඒකට තියෙන අමනාපෙ බවත් ලමසා දංනවා. ගෙදෙට්ට ලැබුන මේ අළුත් වස්තුව දිහා බලා ගත් ගමංමයි තවම පොඩි උං ටික. ඒ හිංදා අප්පගෙ හැසිරීම උංට ගානක් නෑ. එහෙම හිටපු කොල්ලංට ලමසා මෙහෙම කියනවා,

ආං උඔලගේ අප්පොච්චා ආයෙත් කොහෙද යනවා. කහට කෝප්පයක් දෙංටවත් සීනි ඇබිංදක් නෑ නෙව ගේ හරියේ

කියලා, ඒ කරලා හිටං සුරාට ඇහෙංට සද්දෙං මේම කිව්වා,

ඇහුනද? කඩ මංඩියටනං යංනෙ පොඩි උං එක්ක කහට බොංට සීනි කාලකුත් අරංම වරෙල්ලා.

මේක ඇහුනම සූරාගේ දිවේ උංනු යකා එළියට පනිංට ඔංන ලෑස්ති වෙනවා.  යකො මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා. ලමස කොරාපු වරද පෙංනල නොදී යන එක වැරදි විත්තියත් එක්ක මේක පෙංනංට හොදම වෙලාව දැං තමයි කියලා හිතපු සුරාගෙ හිතට ආවා හොද පද.
සීනි කාලක් මං ගේංනෙ මගෙ අහවල් එක දීලා ඈ වගෙ දෙයක් කියංට. ඒ උනාට සුරා ගුරුංනාංසේ ලමසට දීපු උත්තරෙං, තමංගේ සුවාමි පුරුසයා තමංට කොයිතරංනං ලෙංගතුද කියලා හිතෙනවත් එක්කම තමං කොරේ අයුතු දෙයක්ය කියන එක උංදැට තේරුං ගියා.

සුරා කිවේ මෙංන මේ පද ටික,

උඹ ඔය ඔරලෝසුව ලෙවකාලා පොඩි උං එක්ක කහට බීපං.

Thursday, December 2, 2010

සිරිල් මහත්‍තයකුවෙයි. තිලකේ නිකමකුවෙයි.

තිලකයාගේ ‍කොලුවට මේ දවස්වල ඉස්පාසුවක් නෑ ඉස්කෝලේ වැඩ. අහවල් එකක් නෙවෙයි ඌට දෙසැම්බරේ  ඕ ලැවල් විබාගේ හංදා. ඒකා උංගේ අප්ප, ඒ කිවුවේ ති‍ලකයා ඒ කාලේ වගේම තමයි ඉගෙන ගංට රුසියා. මං දංනවා තිලකයා උගෙ පුතාට වරදිංට ඉඩක්නං නොතබන විත්තිය ඕං.
තිලකයයි සිරිල් මහත්තෙයයි දෙංනා ඇස්ඇස්සී කොරලා හිටං  ඇච්ඇස්සී විබාගේ කොරෙත් එකට. සිරිල් මහත්තයා විස්ස විද්දියාලෙත් ගොහිං දැං  කොළොංපුරේ රවුං උහ බිල්ඩිමක වීදුරු කාමරේක ඉංන ලොක්කෙක්. ඇස්ඇස්සී විබාගේ සාමාර්තේ බලපුවාම සිරිල් මහත්තැංට වැඩියෙං වැඩියි තිලකයාගේ සාමාර්තේ ආයිබොවං. ඇච්ඇස්සී විභාගෙං  සිරිල් මහත්තැං විස්ස විද්‍යාලෙට ගියා වුනත් තිලකෙයාට හරියටම ලකුණු හතරක් මදිවෙලා හේනේ කුඹුරෙ දාඩිය වගුරංට වෙන තැනට වැඩ සිද්ද වුනා.
ඉස්සර ඇච්ඇස්සී පංතියේ ඉංදැද්දිං තිලකයා ළග පොතක් තිවුනා ආයිබොවං ඇස්ඇස්සී විභාගේ ලියද්දිං හොරෙං ගෙදර ගෙනාපු ආණ්ඩුවේ විභාග කරදහිවලිං තනාපු. ආර්තික විද්දියාව පොත විදිහට තමයි ඕං ඌ ඒකෙං ප්‍රයෝජං ගත්තේ.  විභාගේ ලියංට දීපූ  ආණ්ඩුවේ කරදහි  විභාග සාලාවෙ උංනු මහත්තුරුංට හො‍රා බඩ ඇතුලේ හංගං ගෙනත් තනාපු මේ පොත මහා විස්ම කර්ම නිර්මානයක් හැටියට තමයි පංතියේ එකාලා කෝකත් සැලකුවේ. මේක තිලකයාත් බෝම තට්ටක් විදිහට තමයි සැලකුවේ. ඇච්ඇස්සී පංතියේදිං සිරිල් මහත්තයටත් වැඩියෙං දස්සයා උනෙත් තිලකෙයා. ලොකු ඉස්කෝලේ මහත්තයත් කීවේ “තිලකසිරි නවතිංනෙ විස්ව විද්දියාලෙම තමයි” කියල හිටං.
ඔහොමිං ඔහොම කාලෙ ගතවෙලා  කොහොමිං කොහොම හරි විබාගෙ ලියංට දින වකවානුත් ආවයි කියමුකෝ. දැං ඉතිං හැමෝම බෝම උනංදුවෙං විබාගේ ලියනවා. මේ අතරෙ තිලකයා සුරුවමට විබාගෙ ලිව්වට මොකෑ අර පරණ පුරුද්ද ඒ කිව්වේ විභාග කරදහි හොරාට ගෙදර ගේන එකත් බෝම සුරුවමට කොරනවා. ඇස් වහක් කටවහක් නෑ තිලකයා අගේට විබාගෙට උත්තර ටික ලීව බව ඌට වාගෙම ඉස්කෝලේ හැමෝටම විස්වාසයි. මේ වෙද්දි විබාගෙ ඉවරයි.
දැං ඉතිං කාංසියෙං ගෙදර ඉංන ගමං තිලකයාට හිතිලා මෙදා පාර සාලාවෙ මහත්තුරුංට හොරෙං ගෙනාපු විබාග කොලවලිනුත් පොතක් හදංට. මෙදා කොළ මිටිය බලපුවාම ගිය පාරට වැඩිය ලොකු පොතක් තනංට පුලුවං වග තිලකයාට තේරුං ගියා. හිතට ආවේ පුදුම සතුටක් ඕං. අනාගතේ විස්ස විද්දියාලෙදිං  පාඩං ලියාගංට යස පොතක් තනාගංට පුලුවං නෙව. ඒක පුදුම සතුටුවෙංට නිමිත්තක් නෙව.
ඉතිං ඕං මේ හීන ලෝකේ ඉදං තිලකයා පොත තනංට ගත්තා. ඒ හීන ලෝකේ බිදිලා තිලකයාට ඉහ මොළ රත් වෙලා හීං දාඩිය දාංට මහ ලොකු වෙලාවක් ගියේ නෑ ආයිබොවං. අර මොකද? අවුරුදු දෙකක් තිස්සේ මහංසිවෙලා, බෝම අගේට පාඩං තියාගෙන, ඇච්ඇස්සී විබාගේදි ආර්තික විද්‍යාව පුරස්නවලට ලියාපු, උත්තර කොල ටිකකුත් තිලකයා ගෙදර ගෙනත් නෙවැ අර හොර කරදහි එක්කං බඩ ඇතුලේ හංගාගෙන. එතනිං එහා උගේ ඔලුවට ආව ඒව අකුරු කොරංට මට ඥානයක් නෑ බොලව්.
මාස ගානකිං විභාගේ සමර්තකං ආවා. සිරිල් වනිගරත්න උඩිංම ඇච්ඇස්සී සමත්. මාවිල්මඩගෙදර තිලකසිරිට විස්ස විද්දියාලෙට යංට ලකුණු හතරක් මදි. ඒ වුනත් ඊළග පාර විබාගෙ සමර්ත වෙංට හිත දැඩි කොරං ලක ලෑස්තිවුන තිලකයාට ඒකට සොබාදර්මේ ඉඩ දුංනේ නෑ. ආයුබොවංට සමහර කරුණු කාරණාවලදිං සොබාව දර්මයා දෙපාරක් ඉඩ දෙංනේ නෑ . ටික දොහකිංම උගෙ අප්ප වළපල්ලට ගියා. පවුලේ බර කරට ගංට මහ පොළොව එක්ක ඔට්ටු ‍වෙංට ඌට සිද්ද වුනා.   
එකම ගමේ එකම පංතියේ එකට ඉදං අකුරු කොරාපු යාලුවො දෙංනගෙං සිරිල්, සිරිල් මහත්තයා වෙලා කොළොංපුරේ රවුං බිල්ඩිමක වීදුරු කාමරේක ඉදං සිරිලංකාවටම අණ පතුරනකොට ඒත් එක්කම කරට කර උංනු තිලකසිරි දැං ගමේ නිකංම නිකං තිලකෙයා වෙලා   මහ පොළොවත් එක්කං ඔට්ටුවෙනවා ආයුබොවං. 
ඇයි තිලකයාට මෙහෙම වුනේ. ඒක ටක්කෙටම පැහැදිලි කොරලා කියංට මට තේරෙංනේ නෑ ආයිබොවං.