Tuesday, August 31, 2010

සුරා ගුරුන්නාසේගේ කතාවක්


      අපේ ගුරුන්නාසේ ගැන දැන් කට්ටිය ටිකක් දන්නවනේ. මුන්දැට තිබුණා හරි අපූරු නමක් කවියක් වගේ. සුරසෙනගේ සුරා සුරසෙන. මනුස්සයා ඉස්කෝලේ නොගියට කණ අත්සන හෙම තිබ්බෙ නැහැ ඕං. හරි අපූරුවට ඔය අකුරු ටික ගලපනවා. හීනෙන් බයවුන එකාටයි බඩේ රුදාව හැදුන එකාටයි දෙහි ගෙඩිය මතුරල සුව කරන්ට දන්නවා. වත්තේ තියෙන ගම්මිරිස් වැල පොළොවේ යාං වෙන්ට නොදී ගහක අරිනවා. පොල් පුවක්වලින් ආදායං ගන්නවා. නරෙට ගියාම තියෙන හැම තැනෙකින්ම අවශ්‍ය වැඩක් කරගන්ට තේරෙනවා. පාරේ අයිනෙන් යන්ට එන්ට දන්නවා. මිනිහා නොමිනිහා අඳුර ගන්ට ඉව තියෙනවා. කාගෙවත් හිත තැලෙන්ට කට අරින්නේ නැහැ. ඊට වැඩිය මොනවද රටේ ජීවත්වෙන්ට ඕන කරන්නේ.


      ඒත් සමහරු හිටියා මෙයාගේ අහිංසකකම අමනකමක් කියලා හිතපු කපටියො. එහෙම එක්කෙනෙක් හිටියා සුරා ගුරුන්නාසෙගේ වත්තට උඩින් වත්තේ. මිනිහගේ වත්ත අක්කර නවය හමාරක්. කරාඹු, පොල්, පුවක් පිරිලා. ආදායම් එමටයි. මෙයා කල්පනා කළේම අර පහළින් තියෙන   සුරා ගුරුන්නාසෙගේ අක්කර දෙක මෙයාගේ කෑල්ලට පූට්ටු කරගන්නේ කොහොමද කියලා.

       දවසක් ගුරුන්නාන්සෙ මායියයි, දරුවොයි එක්ක වත්තට ගියා. වැටිලා තිබ්බ  පොල් ගෙඩි ලෙළි ගහලා; හනස්ස මටුල්ල එකතු කරගෙන; දර මිටි බැලා; ඒවත් එක්ක ඒ අයව පිටත් කළා ගෙදර. පුරුදු විදිහට බුලත් විටක් හපලා ඇන තියන් වාඩිවෙලා හිටියා ඈත කඳු යාය දිහා බලාන.
  
    මෙහෙම තනි පංගලමේ ගුරුන්නාන්සේව අල්ලගන්ට බලං හිටිය අර අල්ලපු වත්තේ ගොයියා හිමිං හිමිං ගුරුන්නාංසේ ළගට කිට්ටු කරා. කයියට වැටුනා. දැන් දැන් මේ ඉඩ කඩංවල ආදායං සරු නැති විත්තිය සුරා ගුරුන්නාන්සේට ඇවෙන විදිහට කතා කළා.

ඇත්ත තමා දැං ආදායං අඩුයි


     සුරා ගුරුන්නාන්සේත් මේක පිළිගත්තා.


 දැන් හොදම වේලාව වත්ත කාට හරි විකුනංට කියලා වචනේ දාන්ට. එතකොට මේක මුන්දැ ගන්ට කියන්නේ මටමයි. එහෙම හිතපු මිනිහා මෙහෙම කිව්වා.

ඈ බං සුරා, නරකද මේ ඉඩංවලින් වෙන ආදායමක් එන අළුත් කිරමයක් විදිහක් කල්පනා කොරානං

‘අළුත් කිරමයක්. ඒ කොහොමද මහත්තයෝ’ 


      සුරා ගුරුන්නාන්සේ එහෙම ඇහුවේ අළුත් කිරම නොදන්නාකමටමයි.

      ‘ඒ කිව්වේ, නරකද; මේ ඉඩං කෑල්ල විකුණලා සල්ලි ටික බැංකුවේ දැම්මනං. ඒ එන පොළියං මීට වැඩිය ආදායං ගන්ට පුළුවං.

       සුරා ගුරුන්නාන්සේට තේරුනා බොලව් මේකා එන්නේ මගේ ඉඩං කෑල්ලට විදින්ට කියලා. ඒ වුනාට මෙයාට බැනලා මිනිහෙක්ව තරහා කොරගෙන කොහොමද කියලත් හිතුවා. ඒ හින්දා අළුත් ක්‍රමේ  ගැන ගුරුන්නාංසේ දුන්නේ එක උත්තරයයි. ඒක අහපු උඩහ වත්තේ මිනිහා හිමි හිමින්ම කන්ද උඩට නැංගා. සුරා ගුරුන්නාන්සේ කිව්වේ මේන්න මේ ටික.

ඈ මහත්තයො. අදහසනං හොදයි. හැබැයි................., එතකොට මගේ ගෑණිටයි, ළමයින්ටයි................ හනස්සක්, මටුල්ලක් අහුලගන්ටත් බැංකුවට යන්ට වෙයි නේද?

Monday, August 30, 2010

සුරා ගුරුන්නාන්සේගේ තැනට සුදුසු නුවණ



සුරා ගුරුන්නාන්සේ ගමේ හිටපු එක්තරා විදිහක අමුතුම චරිතයක්. උප්පත්තියෙන්ම තිබුණ ඇහේ පිං වපරේ ගමේ පොඩි උංට දුන්නේ මහ ගුප්ත ඉගියක්. ඉතිං ගංතුලානේ හිටපු අංකුට්ටෝ මේ බයාදුකමත් එක්කම ඉළංදාරිවෙද්දි ඒ කියන්නේ සුරා ගුරුන්නාංසේට හැට පනිද්දි මේ අලුත් ඉළංදාරි රෑන උන්දැට ඉහේ රුදාවක් වෙන්ට ගත්තා. ඒ මොකෝ මුංගේ බදු ඉඩම උනේ උන්දැගේ අක්කර දෙක. 


පේර අඹ සියඹලා මේ කෝකෙත් මලෙන් ගෙඩියක් ලොකුවුනෙම නෑ. කුරුම්බැට්ටිය පොල් ගෙඩියක් වුනෙම නෑ. උන්දැ ඒවා දකින්ටත් කලියෙන් වත්තේ සේරම මුංගේ බඩගෙඩිවල. ඒත් උංදැ නෙවේ මේවට ඉළංදාරින්ගේ මහ එවුංට පැමිණිළි කොරන්ටවත් දන්න මන්තර සාස්තරෙංවත් මේකට වැඩ ගන්ට ගියේ. උංදැගේ කාලේ ඈයෝ ඒවට යොදාගත්තේ ස්ථානෝචිත ප්‍රාව. වෙලාව එනකං ඉවසං බලාන හිටියා.

එක දවසක් කොල්ලෝ උන්දැගේ වත්තේ පොල් රුප්පා‍වක වටවෙලා. අක්කර තුන හතරක්ම ගොඩින් තියෙන අප්පෙක්ගේ පුතෙක් ගහ මුදුනේ. මෙන්න හැමෝටම පිටිපස්සෙං මතුවෙච්චි මෙච්චර වෙලා හැංගිලා ඉදපු සුරා ගුරුන්නාංසේ. ප්‍රශ්නෙකුත් අහගෙනම.


බංඩලා මොකද කොරන්නේ මගේ වත්තේ. ”


දැන් මොක කරන්නේ දීපංකෝ උත්තර. කුරුම්බා කඩන්ට තමයි ලෑස්තිය ඒක කියන්ටයැ.


ගහේ හිටපු එකා පහළට රූටන අතරෙම, රැළේ පොරක් හයිය අරන් උත්තර දුන්නා.


අපි මේ ලේන්නු අල්ලංට ආවා. ගුරුන්නාන්සේ...............


ඌත් ලොකු ඉඩං කාරයෙක්ගේ පුතෙක්.


සුරා ගුරුන්නාංසේ කොල්ලංගෙන් ඇහුවා හිතේ තිබුණ ප්‍රශ්ණයක්.


ඈ බංඩලා ...... තමුන්ලගේ වතුපිටිවල ගහකොළ අස්සෙත් ලේංනු ඉන්නවා නෙවෙද? ...................හැබෑට මගේ වත්තේ ඉන්න ලේන්නුංගේ කරේ රත්තරංවත් බැදලා තියෙනව ද? 


එදා ඉදං ඉළංදාරි වත්ත මාරුකළා.

විකී
2010.08.19

Tuesday, August 24, 2010

කතු වැකිය

 වටපිට වගතුග මගේ පළමු Blog එක. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සහ ලාංකීය සිතුවිලි එක්ක එකතුවුනා.  මට හිතුනා තව මොනවා  හරි දෙයක් කරන්න ඕනේ කියලා . පොත් ලියන්න කියලා අනන්තවත් කඩදාසි විනාශ කරපු මම Blog ඇසුරෙන් ලබන්නේ පුදුම ආශ්වාදයක්. මම දන්නෙම නැතුව එක්කෙනා දෙන්නා වටපිට වගතුග කියවන බව දැක්කම ඒක තවත් වැඩිවුනා.සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හරහා තාක්ෂණික ප්‍රශ්ණයක් ඇහුවම උත්තර කීයක්නම් ලැබෙනවද. මේ එකමුතුකම ලංකාවේ තරුණ ශක්තියට එකමුතුකමට ලොකු බලපෑමක් කියලයි මම හිතන්නේ.මොකද මම තරුණයන් වෙනුවෙන් වැඩකරන කෙනෙක් නිසා. ඒ හැමෝටම ස්තුතියි කියන ගමන් මට බ්ලොග් ගැන කියලා දුන්න අහම්බෙන් හමුවුනු තුෂාරටත් සාමදාන එකේ නිරෝෂන්ටත් පිං කියලා නොකියාම බැහැ.ගැමියා පටන් ගන්න හිතුනේ මේ හැමදේම හරහා. 

මේ බ්ලොග් එක  ගම කතා, අනංමනං සේරම ලියන තැනක්. එන්න ගොඩවෙන්න .හැබැයි Comments ගොඩක් වැදගත්වෙයි. ගැමියගේ ගෙදර ඒකට ඉඩ තියෙනවා ආයුබොවං................ඕන තරම්..........