Friday, September 10, 2010

මස්සිනාට පාඩමක්

මස්සිනාට පාඩමක්

සුරාගේ වැඩිමහල් සහොදරී එතනා. බාල සහෝදරී මැණිකා. මැණිකා ගැන දන්නවනේ නේද? අර අම්මගේ චීත්තෙං........................මතකනේ හැමෝටම. මැණිකා දීග දුන්න පස්ගම පැත්තට. පස්ගම හරි අපූරු සුන්දර පළාතක්. ඔය නම්පොතේ සගම, පස්ගම,අරත්තන, ............... කියලා හිටං දෙවනියට කියවෙන පංසල තියෙන්නෙත් මෙහෙ. යස පෙරහැරක් හෙම තියෙනවා ඇහැළ මහ පහුවෙන පෝයට.

පස්ගම කලු අප්පුත් එක්ක මැණිකා දීග ගියා ඉතිං. දීග ගොහිං ටික දොහකිං තමයි තේරුණේ කලු අප්පුවා රා ගුඩ්ඩෙක් වග. ගැමියො ගොඩක් ඉතිං පස්වෙනි  සිල් පදෙ කැඩුව. හැබයි ඉදලා හිටලා කාටත් නොදැනෙංට,   නම්බුවට. පැණි හකුරු ටිකට වෑහුන තෙලිදිය ටිකෙං; පැණි හකුරු ටිකටත් හොරෙං, කිතුල් මලටත් හොරෙං රා වතුර ටිකකුක් දා ගත්ත. කලු අප්පුවා එහෙම නෙවෙයි. පස්වෙනි සිල්පදේ මරණවා. ඒ කරලා නිකං හිටු. මැණිකටත් තඩි බානවා. කංට බෙදංට සුනංගුවුනාද? සුනංගුවුනාට තලනවා. වෙලාසන දුන්නද? වේලසන දුන්නට තලනවා. හිනාවුනොත්, හිනාවුනාට තලනවා. ඇඬුවද, අඬනවට තලනවා. ඉතිං බොළවු මේව උහුලං කලුවගෙං මැරුං නොකා මැණිකා හිටියයි කියමු. “අතිං පයිං ගහලා මේකා උන්දැව මරණ විත්තියක්” මැණිකට තේරිලා බෝම බයාදු වුනා. ඊට පස්සෙං පහු දවසක කලුවගෙං හොදට ගුටි කාපු මැණිකා “පැදුරටත් නොකියා” පැදුරු කඩමලුත් උස්සං ආපී මහගෙදෙට්ට.

‘සුරා අයියංඩි, කලු අප්පුවා මාව අතිං පයිං ගහලා මරයි’ ඒ හංදා  ගෙදර ආපු විත්තිය කියාන.

සුරා කිව්වා,

‘හෙනං තිගෙත් ගෙදරනේ. ඔහෙං හිටු. කලු අප්පුවා පස්සෙං පහු ඇවිත් කැටුව යයි නෙව’ කියලා. හේතුවටයි, අහේතුවටයි, අවාලෙයි රැයෙයි කලු අප්පුවාගෙං ගුටිකන මැණික නගාගේ කතාව අහපු සුරාගෙ හිතට සංවේග උපන්නා.කොච්චර හුරතලේට ඉංට පුළුවං කාලෙද මේකිට මේ දුක කියල හිටං.

සුරාල නොදන්නව උනාට කලු අප්පුවා මුල ඉදලම සෝමාරියා. ඒකා පිළිවෙලක් උනෙ යංතංවත් මැණිකගේ උදව්වෙං.

මැණිකා ආපිට ගොහිං පෝයෙං පෝයට කාලේ ගෙවෙද්දිං කලු අප්පුවාට මැණිකගේ අගේ දැනෙංට ගත්තා. එක දවසක් කලු අප්පුවා “කුකුළත් කරෙං අරන්” ආපි මැණිකව හොයාන.

සුරා ත් ඉතිං මේ වෙලාවෙ ගෙදර උන්නා. කලුවා දැක්ක විතරයි මැණිකා වහංවෙලා, අහං හිටියා දෙමස්සිනාලගේ කතාබහ. කලුවගේ කයිවාරුව ඉවරයි දැං. සුරා කියව්වේ ගෑනියි මිනිහයි කාලේ ගෙවංට ඕන තාලේ.


දැං මැණිකත් ආපහු කලුවා එක්ක පස්ගම යංට ගේ ඇතුලේ සූදානං වෙනවා. සුරා කලුවට අවසාන උපදේසෙ දෙනවා. හැබැයි සුරා කලු අප්පුවාට අතිං පයිං කියන වචනේ හැම වෙලාවෙම අවධාරනේ කොරන ගමං තමයි මේ ටික කිව්වේ.

උඹ අතිං පයිං ගහන හිංදයි මැණිකා ඔය ආපිට ආවේ. මස්සිනේ මැණිකා උඹෙ කසාද ගෑනි නෙව. උඹලගේ පුරස්න උඹලට. හැබැයි උඹ ඒකිට අතිං පයිං ගහන එකට මගෙත් මනාපයක් නැහැ බොළ. උඹට මැණිකව දුංනේ අතිං පයිං ගහන්ට හෙම නෙවෙයි. උඔ හොදට ඇගේ හයිය හක්තිය තියෙන එකා නෙව. ගෑණි උඹ ලගින් හැමදාම තියා ගංට ඕනනං අතිං පයිං ගෑණිට ගහන එක නතර කොරහං.

ඒ උපදේසේ (බොළාලට කෝමද දන්නෙ නැහැ) කලු අප්පුවට හොදට තේරුං ගියා.

කලුවා ඊට පස්සෙත් රානං බිව්වා ටිකක්. මැණිකට හොදට සැළකුවා. හැබැයි ගැණිට අතිං පයිං සැළකුවේ නැහැ.

වචනයක්.........................

සුරා ගුරුන්නාංසෙගේ කතා ටික පටං ගත්තේ උන්දැගේ වැඩිහිටි කාලේ හරබර කතා ටිකකිං ඕං. සුරාගේ ඉළංදාරි කාලේ කතා කියවද්දී සමහර හිතවතුංට හිතෙංට පුළුවං ‘සුරා ඇණ ගන්නවා‍ නේද ජාතියට’ කියලා. තවත් කෙනෙකුට හි‍තෙංට පුලුවං එයාලට සුරා වීරයෙක් වෙලා හිටයනං හෙම ‘අපේ වීරයා මැරෙනවා නේද’ කියලා.

කොහොම වුනත් වචනයක් කියංට ඕනේ. වැඩිහිටි ගැමියෙක් කියංනේ තැලුණ පොඩිවුන මිනිහෙකුට. එයාලා හරියට මෝල් ගස් වගෙයි. ඕනම දේකට ඔට්ටුයි. එහෙම වැඩිහිටියො ගහන්නේ අතිං පයිං හෙම නෙවෙයි. වචනවලිං ආයිබොවං. සුරා චරිතයෙං අපි පෙංනංට ලක ලෑස්ති වුනේ ගැමියංගේ මෙන්න මේ ගුණාංගේ. බෞද්ධ පිංවතුං දන්නව නෙව හිත, කය, වචනය කියන තුංදොර  සංවර කර ගන්ට ඕනේ කියන කාරණය. අපේ ගැමියො වචනය සංවර කරගන්නවා කියන කාරණ‍යෙං එහාට ගිහිං වචනය කළමනාකරණය කරගත්තයි කියලයි මටනම් හිතෙංනෙ. උන්දලා අතිං පයිං නොගහා විරුද්ධවාදියාට ගැහුවා නැත්තං උපදෙස් දුංනා සදාකාලිකව මතක හිටිංටම වචනයෙං.

සුරාල අයිති මෙන්න මේ පරංපරාවට. ඒ වගේ මිනිස්සු ගොඩ නැගුන හැටි තමයි සුරාගේ ඉළංදාරි කාලෙදි පෙංනංනේ. සුරාගේ අවසාන කාලේ වෙද්දී සුරා ගුරුංනාන්සේව උපහාසෙට ගන්න පිරිසක් ඇතිවෙනවා. උන්දෑ ඒවට උත්තර දෙංනේ වෙනම විදිහකටයි. ඕං ඒවයෙං කීපයක් කියවංට ලැබෙයි ඉස්සරහට. සුරා චරිතේ පොත් පිංචකට කැටි කරංට හිතේ තියෙන හීනේ හැබෑවෙන දවසක තවත් කතා ගොඩක් කියවංට ලැබෙයි .ඕං එතකං මේ කතා ටික කියවලා ප්‍රතිචාරෙකුත් දුන්නනං හෙම බෝම අගෙයි ආයිබොවං.