Saturday, September 25, 2010

මුලාවේ වැටුන මාමණ්ඩිට

      
      මීරුප්ප කිට්ටුව ගමක් තියෙනවා තලාව කියලා. තලාවේ බෝම සිරියාවන්ත කුඹුරු යායක් තියෙනවා. මේ යායේ අස්වැන්නෙං බඩ පුරව ගංට කලියෙං ඒ සිරියාව දැක්කම හිත පිරෙනවා. 
          
     මේ පැත්තට ඉතිං මහා වරුසාව එංනේ ඇහැළ මහෙං පස්සේ. ඉල්, උදුවප් මාසවලදී බෝම තදයි. ආකාසේ වළාකුළුවලිං පිරිලා.මී වදයක් වගේ මේ කාලෙට. පාලොස්වක පෝයටවත් හඳ පේංනේ නැහැ. ඒ තරමට වළාකුළු. ඒත් එක්කම කොහෙටත් දැනෙන දුරුතු හීතලත් හරිම තදේට  දැනෙනවා. හැබැයි මේ හීතල බාල මහළු කාගෙත් සරීරවලට දැනෙන විදිහයි ආලවංත හිත්වලට දැනෙන විදිහයි දෙකක්.

තලාව ගමේ හිටියා තනිපංගමේ ජීවත්වුන ඉළංදාරි වයසේ කොලුවෙක්. මේ කොලුවා තදෙංම ආලෙං බැදිලා  හිටිය  පෙම්වතිය හිටියෙත් ඒ ආසංනෙමයි. හීතල දුරුත්තට කලිං මේකිව සහේට ගංට තමයි හිතං හිටියේ. ඒත් ඒකට කෙල්ලගේ අප්පච්චිගෙං මනාපයක් තිව්නේ නෑ. කොල්ලා හොද හිටිවන කවිකාරයා. දැං උදුවප් මාසෙත් ගෙවෙනවා, හීතල දුරුත්ත අත ළගටම ඇවිත්. මේ ඉළංදාරියාට පෙම්වතිය පෙනුනේ හඳක් වගේ.  අර මුලිං කීවේ උදුවප් මහට පාලොස්වක හද පේංනෙ නෑ කියලා හිටං. වළාකුළු හන්දා. හරියට ඒ වළාවෙං වැහුන හඳ  වගේ මේ ඉළංදාරියාගේ හදවතේ පායපු හඳ කෙල්ලගේ අප්පච්චී ඉළංදාරියාගෙං වහං කොරගෙනයි හිටියේ.

කෙලීගේ අප්ප  උංගේ ආලවංත හිත් ගැන නොදැන මහා මුලාවක වැටිලා කියලා ඉළංදාරියා හිතුවා. දැං කාලේ වගේ මේ පුරස්නේ බේරුං කොරගංට කෙල්ලගේ අප්පට හත්පොලකට පිහියෙං අණිනවා වෙනුවට මේ කොල්ලා රෑට රෑට පෙම්වතීගේ අප්පච්චීට විතරක් නෙවෙයි මුළු ගමටම ඇහෙංට කවියක් කිව්වා. මෙන්න මෙහෙම,  
                                                                                           
හීතල දුරුත්තට අත වනන            වෙලාවේ
මං පැලේ තවම තනියම                  තලාවේ
උදුවප් මහේ හඳ හංගන                  වළාවේ
කවුරුද ගමං යංනේ මං                   මුලාවේ

මීරුප්පේ මාමාගේ ජනකවි






මේ පැත්තේ, දැං කාලෙත්  පරිසරයේ වැඩිවෙනසක් නැහැ.  උරාගලිං පටං ගත්තම උඩුවෙල, රටේමුල්ල, ඇතුල්ගම, නැහිනිවෙල, හිප්පල, බටගල්ල, සගම, නුගලියද්ද ගොඩමුන්න, මැදගම, කපුලියද්ද ආයෙත් කිවුල්ළිදේ ඉදං කන්දේවෙල, තලාව, මීරුප්ප, පස්ගම,හේවාවිස්ස, , ඹලුවාවත්ත, දෙහල්කඩ, හගුරංකෙත එක දිගටම කුඹුරු යාය ඕං.

ඒ උනාට ඉස්සර; මේ කොයි යායෙත් අස්වද්දන කාලෙට මේ කාලෙට වඩා සිරියාවයි. හැම දේම පටං ගත්තෙත්; අහවර උනෙත්; කලාවෙං. කවිය තමයි ආයුබොවං අවිය වෙලා තිවුනේ, කොයි වැඩෙත් දුකත් සතුටත් හෑල්ලු කොරාගංට. මගේ මාමංඩිගේ ගං පළාත මීරුප්ප. උන්දැට හැමෝම කිව්වේ මීරුප්පේ මාමා. ඒ කාලේ කවිය ගැන මීරුප්පෙ මාමට බෝම මතකයක් තිබ්බා. උන්දැ මතක් කොරලා කීව කවි  හැමෝටම  කියවංට බොලොග් එකට  ගේංට හිතුනා. ඉතිං ඕං කවියේ නිධාන කතාවත් එක්කම ඒ කවි කියවමු.

ආයුබොවං මේක දාන ලේබල් එක (label) මීරුප්පේ මාමාගේ ජනකවි අද ඉදං කියවංට පුළුවං ඕං.