Tuesday, September 7, 2010

මම තවම එලිබැහැපු  හැටියටමයි.............

ඔන්න ඉළංදාරි කාලේ සුරාලගේ කතාවක් අහමුකෝ. ඒ කාලේ සුරාලටත් හිටියා හොද රංචුවක්. මුං ඉතිං ඒ කාලේ හැටියට ගම හොල්ලං හිටියේ ඕං. ඒ කාලෙත් සුරා කොයි එකටත් තැනට ඔබින හොද කතංදරකාරයා. දවසක් ‍මුං රංචුවම එකතුවෙලා “ඔය වැලෑනේ” තිබ්බ මී අඹ ගහ පාළු කරංටයි තනංනේ. “ඔය වැලෑන” යි කීවේ දිය පාර අයිනෙ තියෙන වැල් ගොහොටාවට.  ඔය ඉංගිරිසියෙං රිසිවේසම කියංනේ. ඒකට තමයි මේ ටික අයිති.

සුරාලගේ ගම්මානේ මායිම තීන්දු කොළෙත් මෙන්න මේ දිය පාර. ඒකට තමයි “ඔය” කියව්වේ. ඕං නමින්ම කියනවනං මේක තලාතුඔය. ඔන්න සිතියං පොතෙත් තියෙනවා. හන්තානෙං ඒ කියන්නේ ඌරාගල ඉසව්වෙං පටං අරං දඟර ගගහා ගොහිං ගුරුදෙණිය ඉසව්වෙදි මහවැලි ගඟට බහිනවා. ගම්මානේ මායිම තීන්දුකොරා වගෙම ගම්මානේ කොල්ලංගේ හයිරං තීන්දු කොරන්ටත්, කොයි එකටත් ඔය    “ඔය” බලපෑං කොරා. ඉතිං මෙගොඩ ගොඩට ඇවිත් කවුරුත් සෙල්ලං දානව බොරු. ඔය, ඔයේ මී අඹ ගහ තිවුන ඉසව්වේ  “පනන්වල අලියා” එහෙම නාවන තැන වතුර මැද තියෙනවා “ගොං ගල” කියලා ගලක්. ගොනෙක් ගිනියම යංට වතුර මැද දපල ඉන්නවා වගෙයි පෙනෙංනේ. ඒකයි ඕකට ගොංගල කියංනෙ. ඔතනම අයිනේ ගල්පොත්තෙ තමයි හේනේ මාමා රෙදි අපුල්ලංනෙත් ඕං.  මේ ඉසව්වේ හැමදාම උදේට ගූ ගඳ. මොකෙක් හරි නොසන්ඩාලයෙක් මෙතැන එලිබැහිල්ල පුරුද්දක් කොරගෙන තිව්නා. හේනේ මාමා කියනවා,

‘මේකා නයා කන්ට එපෑයැ; දානව මං මේක උඩට මතුරලා ගිනි අඟුරු’

කිය කියා. එතකොට වැඩේ කරපු මිනිහගේ පස්ප පැත්ත දන්ට ගන්නවලු. මොක කිව්වත් වැඩේ නෙවෙයි නතර උනේ. හේනේ මාමගේ රෙදි අපුල්ලිල්ල තමයි වෙන ගලකට ගියේ.

එදා පංසලේ හීල් දානෙට කලියෙං බුද්ද පූජාවට ගන්ටාරෙ ගහලා ටික වෙලාවක් යංට ඇති ඕං. ඉළංදාරි ටික යනවා ගොංගල පැත්තෙං මී අඹ ගහ පාළු කොරංට. යකො මෙන්න බිල්ලෙක් වගේ ඉදගෙන හිතේ හැටියට ‍ඔය වැලෑනේ හඹරල ගොල්ල අස්සේ එලි බහිනවා; බඹරදෙණියේ ක‍ඩේ පොඩි මහත්තයා. මේකගෙ උපාය කියංනේ ඔයෙං මෙගොඩ පැත්තට ඇවිත් ඒ කියංනේ සුරාලගේ ගම පැත්තට ඇවිත් තමයි වාඩිවෙලා ඉංනේ. එතකොට හිතංනේ ගමේ එකෙක් එලි බහිනවා කියලනේ. සුරාලට සුරුස් ගාලා තේරුං ගියා “හැම දා  නියං එකදා වැහි වළාවෙං අහවරයි” කියලා.

දැං ඉතිං ඔන්න සුරා ඉළංදාරියාගේ වචනෙට තමයි මෙතැං ඉදලා කොල්ලො වැඩ කොරංනේ.කොල්ලො රෑන පොඩි මහත්තයා නොදැක්ක ගානට හීනියට  සද්දයක් හෙම දාගෙන හාංකවිත්තියක් නැතුව පාඩුවේ යනව. “කිරි අප්පට බල්ලො පැනපි” කිව්වලු මේක ඇහුනා විතරයි කවුදො එනව දැණුන පොඩි මහත්තයා “භූමි තෙල් වක්කරපු ලිපෙං ගින්දර නගිනවා” වගේ කෙලිං හිට ගත්තයි කියමුකො වැඩේ පැත්තක තියලා. දැං ඉතිං මිනිහා මෙහෙම දෙයක් නොකළ ගානට, හිමිං හිමිං ඇවිදං ඉස්සරහට යනවා. කොලු රෑන මේ වග දැක්කා නොවැ. ඒ හංදා මිනිහට ටිකක් කිට්ටු කොරලා කොල්ලො අහනවා ,

‘ආ පොඩි මහත්තයා කොහෙද උදෙංම බෑරක්ද?..........’ කියලා.

පොඩි මහත්තයා කඩ මංඩියේ ජයට වෙළදාං කොරන ගරු සරු ඇති වැඩිහිටි මුදලාලියෙක්. ඒ හංදා ලැජ්ජාවත් දෙගුණයි. කොරපු වැඩේ වහං කොරංට වුවමනා හිංදා පොඩි මහත්තයා කියනවා,

‘මම මේ ලොකු හාමුදුරුවො මුණගැහෙංට පංසලට ගොහිං එංට යනවා බං......’ කියලා.

‘හොදයි එහෙනං ගොහිං එංට......’

කියපු කොල්ලො එහෙමම හිටං ඉන්නවා. ඉතිං පොඩි මහත්තයත් කොල්ලංට කිව්වා වගේම, ‘ මුං මග ඇරුනම වතුරට බැහැල හෝද ගන්නව’ කියලා හිතාන මීගම්මන කුඹුරු යායේ ඇළවේල්ල උඩිං කොල්ලංට පේන්ට පංසල පැත්තට යනවා ඇට්ටිංබෙංම.

මී අඔ කැඩිල්ල පැත්තකින් තියපු  ඉළංදාරි ටික පොඩි මහත්තයා පස්සෙං වැටුනා කියමුකො. නොසන්ඩාල කොලු රෑන පස්සෙම්ම එනව. කරන්නට තියෙන ඕනම වැඩේ පැත්තකට දාලා පොඩි මහත්තයා යනවා දැං පන්සල්. දැං ඔන්න හැතැම්මක් විතර ඇවිදං ගියා පංසලට. “බල්ලට හැතැංම නෑ” වගේ ‍සුරාලත් ඒ පස්සෙං යනවා; පොඩි මහත්තයත් එක්ක කතාවටත් වැටෙනවා. කර ගන්ට දෙයක් නැති පොඩි මහත්තයා පන්සලට ගොහිං ලොකු හාමුදුරුවංව විපරං කොරන්ටයි ලෑස්තිය.

සුරාල හෙමිහිට කතාවෙනවා,

‘මේ ඇට්ටිම්බ පස්සෙං දැං පැන්නුවා ඇති’  කියලා. ඊට පස්සෙ සුරා, සද්දෙං මෙහෙම කියනවා,

‘අනේ බොලල්ලා ; පොඩි මහත්තයා ගොහිං හාමුදුරුවො බැහැ දැකලා එයි. මටනං බෑ පන්සල් වත්තට අඩිය තියංට. මොකද බොලව් මට දැනුයි සිහියට ආවේ; මම උදේ එලි බැස්ස විතරයි; හෝදගත්තේ නෑ නෙව බොලව්. මම තවම ඇට්ටිංබෙං.’

ඒ කියලා හිටං කොල්ලො රංචුව මී අඹ ගහ පාළු කරන්ට ගියා.

ඊට පස්සෙනං ගොංගල ළඟ අර සුවඳ ආවේ නෑ බොලව්.