Saturday, September 25, 2010

මුලාවේ වැටුන මාමණ්ඩිට

      
      මීරුප්ප කිට්ටුව ගමක් තියෙනවා තලාව කියලා. තලාවේ බෝම සිරියාවන්ත කුඹුරු යායක් තියෙනවා. මේ යායේ අස්වැන්නෙං බඩ පුරව ගංට කලියෙං ඒ සිරියාව දැක්කම හිත පිරෙනවා. 
          
     මේ පැත්තට ඉතිං මහා වරුසාව එංනේ ඇහැළ මහෙං පස්සේ. ඉල්, උදුවප් මාසවලදී බෝම තදයි. ආකාසේ වළාකුළුවලිං පිරිලා.මී වදයක් වගේ මේ කාලෙට. පාලොස්වක පෝයටවත් හඳ පේංනේ නැහැ. ඒ තරමට වළාකුළු. ඒත් එක්කම කොහෙටත් දැනෙන දුරුතු හීතලත් හරිම තදේට  දැනෙනවා. හැබැයි මේ හීතල බාල මහළු කාගෙත් සරීරවලට දැනෙන විදිහයි ආලවංත හිත්වලට දැනෙන විදිහයි දෙකක්.

තලාව ගමේ හිටියා තනිපංගමේ ජීවත්වුන ඉළංදාරි වයසේ කොලුවෙක්. මේ කොලුවා තදෙංම ආලෙං බැදිලා  හිටිය  පෙම්වතිය හිටියෙත් ඒ ආසංනෙමයි. හීතල දුරුත්තට කලිං මේකිව සහේට ගංට තමයි හිතං හිටියේ. ඒත් ඒකට කෙල්ලගේ අප්පච්චිගෙං මනාපයක් තිව්නේ නෑ. කොල්ලා හොද හිටිවන කවිකාරයා. දැං උදුවප් මාසෙත් ගෙවෙනවා, හීතල දුරුත්ත අත ළගටම ඇවිත්. මේ ඉළංදාරියාට පෙම්වතිය පෙනුනේ හඳක් වගේ.  අර මුලිං කීවේ උදුවප් මහට පාලොස්වක හද පේංනෙ නෑ කියලා හිටං. වළාකුළු හන්දා. හරියට ඒ වළාවෙං වැහුන හඳ  වගේ මේ ඉළංදාරියාගේ හදවතේ පායපු හඳ කෙල්ලගේ අප්පච්චී ඉළංදාරියාගෙං වහං කොරගෙනයි හිටියේ.

කෙලීගේ අප්ප  උංගේ ආලවංත හිත් ගැන නොදැන මහා මුලාවක වැටිලා කියලා ඉළංදාරියා හිතුවා. දැං කාලේ වගේ මේ පුරස්නේ බේරුං කොරගංට කෙල්ලගේ අප්පට හත්පොලකට පිහියෙං අණිනවා වෙනුවට මේ කොල්ලා රෑට රෑට පෙම්වතීගේ අප්පච්චීට විතරක් නෙවෙයි මුළු ගමටම ඇහෙංට කවියක් කිව්වා. මෙන්න මෙහෙම,  
                                                                                           
හීතල දුරුත්තට අත වනන            වෙලාවේ
මං පැලේ තවම තනියම                  තලාවේ
උදුවප් මහේ හඳ හංගන                  වළාවේ
කවුරුද ගමං යංනේ මං                   මුලාවේ

මීරුප්පේ මාමාගේ ජනකවි






මේ පැත්තේ, දැං කාලෙත්  පරිසරයේ වැඩිවෙනසක් නැහැ.  උරාගලිං පටං ගත්තම උඩුවෙල, රටේමුල්ල, ඇතුල්ගම, නැහිනිවෙල, හිප්පල, බටගල්ල, සගම, නුගලියද්ද ගොඩමුන්න, මැදගම, කපුලියද්ද ආයෙත් කිවුල්ළිදේ ඉදං කන්දේවෙල, තලාව, මීරුප්ප, පස්ගම,හේවාවිස්ස, , ඹලුවාවත්ත, දෙහල්කඩ, හගුරංකෙත එක දිගටම කුඹුරු යාය ඕං.

ඒ උනාට ඉස්සර; මේ කොයි යායෙත් අස්වද්දන කාලෙට මේ කාලෙට වඩා සිරියාවයි. හැම දේම පටං ගත්තෙත්; අහවර උනෙත්; කලාවෙං. කවිය තමයි ආයුබොවං අවිය වෙලා තිවුනේ, කොයි වැඩෙත් දුකත් සතුටත් හෑල්ලු කොරාගංට. මගේ මාමංඩිගේ ගං පළාත මීරුප්ප. උන්දැට හැමෝම කිව්වේ මීරුප්පේ මාමා. ඒ කාලේ කවිය ගැන මීරුප්පෙ මාමට බෝම මතකයක් තිබ්බා. උන්දැ මතක් කොරලා කීව කවි  හැමෝටම  කියවංට බොලොග් එකට  ගේංට හිතුනා. ඉතිං ඕං කවියේ නිධාන කතාවත් එක්කම ඒ කවි කියවමු.

ආයුබොවං මේක දාන ලේබල් එක (label) මීරුප්පේ මාමාගේ ජනකවි අද ඉදං කියවංට පුළුවං ඕං.

Saturday, September 18, 2010

පච්ච කෙටීම.

ඊයේ 2010.09.16 ගැමියගේ ලංකාවේ පාඨකයෝ ගාන සීය පැංනා. ඒ හිංදා හිතව්වා ඕං ‘අළුත් කතා ’ label එකට අමතරව වෙනත් label එකක් යංට ‘හුණු කිල්ලෝටය’ කියලා. හුණු කිල්ලෝටයට ඇගිල්ල දාලා බලපුවාම ඒකේ  ඇතුලේ තිබුණ පළමු කතාව තමයි මේ.
------------------------------------------------------------------------------------------

පච්ච කෙටීම.
කෙටීම. පච්ච කෙටීම. පච්ච

දැන්  බොහොම වියපත්වෙලා “මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ” විදිහට ඉන්න ලොකු අත්තලා, මාමලාගේ තරුණ කාලේ චර්යාව දැනගන්න හොදම නිහඩ සාක්ෂියක් තමයි සමහරුන්ගේ ඇගේ කොටලා තියෙන එක එක විදිහේ පච්ච. පච්ච හරහා විවිධ දේවල් සමාජයට, අනෙකාට සංනිවේදනය කළා. නැතිනම් ඇගෙව්වා. අහිසකකම , ආදරය, දරුණුකම ඔය කෝකත්. ගමේ මිනිසු වසර්තියෙක් විදිහට හදුන්වපු මිනිහගේ පපුවේ වම් පැත්තේ (හදවත පැත්තේ) කොටපු පච්චෙක තිබිලා තියෙන්නේ රෝස මලක්.




මගේ යාළුවෙක්ගේ ලොකු අත්තා මැරුණා. මිනිසු කතාවුනා ‘ඒ කාලේ හොද පොරක් තමයි මිනිහා’ කියලා. පොරක් කියන එක බර කරලා කිව්වට  වැඩි විස්තර කිව්වේ නැහැ. ඒවා හිතා ගන්න ඕනේ. එහෙම තමයි ගැමියෝ. ලොකු අත්තා එම්බාම් කරන එක බලන්න කොල්ලො කාමරේට රිංගුවා. එම්බාම් පොම්පෙ ගහන්ට ඇදුං අයිං කරපුවාම කකුල් දෙකේම කළවා මුදුනේ පච්ච දෙකක් කොටලා. දණ ගහ ගත්ත ගෑණු දෙන්නෙක් රහසඟ දිහාට වැදගෙන ඉන්නවා. එතකොට තමයි තේරුණේ ‍එයා පොරක් වුනේ මොවගෙංද කියලා.තවත් වැඩිහිටියෙකුගේ උරහිස් දෙකේ තිබුණේ එයාගේ දරුවෝ දෙන්නගේ නම් දෙක. මගෙ දරුවො මං දෙවුර දරාන ඉන්නවා කියලා වෙන්ට ඇති.

 පච්චේ අනුව ගමේ සමහරු අදුන ගැනිල්ලත් ලේසි වුනා. ගමේ විජේලා දෙන්නයි. එක විජේ කෙනෙක්ගේ භාහුවක කොටියෙක් . ඒ නිසා එයා කොටි විජේ. පච්ච සිරා, පච්ච සෝමේ, පච්ච ගුනේ කියලා කිව්වේ පච්චේ පිහිටෙන් අදුන ගන්න පහසුවෙන්න.

දන්න කියන වැඩිහිටියෙක් කතාවක් කිව්වා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කතාවුනාලු පච්ච කොටන්න. කට්ටියම ගියා. රා බිව්වා. හය හත් දෙනෙක්ම පෝලිමේ කොටා ගත්තා.අම්මා බුදු වේවා, මරුවා සමග වාසේ, මේවා ඒ කාලේ ජනප්‍රිය පච්ච වැකි. ඔය එක එක විදියේ ඒවා කට්ටියගේ අවයවවල එක එක ප්‍රමාණයෙන් කෙටුනා. අන්තිමට මෙයා. පොරොන්දු වුනාට මේකට මුන්දැගේ වැඩි මනාපයක් නැහැ. කොල්ලො තරහා කරගන්ට බැරි හින්දා,

‘මෙන්න පුතේ මං කොටා ගත්තු පච්චේ.’

කියලා මිනිහා පෙන්නුවා අතේ තිබුණ පච්චේ.අබ ඇටයක් විතර තිතක්.

·         

දකින කෙනෙක් හිතන්නේ උපං ලපයක් කියලා. පච්ච කොටා ගන්ට කලින් බොනවලු. අපේ ගමපැත්තේ තේ කඩයක් තිබුණා. තේ හදව්ව කෙනා ඇන්දේ සරමයි බැනියමයි. එයාගෙත් පපුවේ පච්චයක් තිබුණා

“ජීවිතය සනටකි”

කියලා. මොකක්ද මේකේ තේරුම. එයා පච්ච කොටා ගන්න ගිය දවසේ පච්ච කොටපු එකා ඉදලා තියෙන්නේ නහුතෙට බීලා. තේ කඩේ සහෘදයා තේරුම් ගත්ත විදිහට ජීවත්වෙන එක මොන වගේද කියලා හැමෝටම පේන්න කොටා ගන්ටයි ඕනෙවුනේ. කිව්වේ 


‘ජීවිතය සටනකි කියලා කොටපං’


කියලා . මිනිහා කෙටුවේ වෙරිමර ගාතේ අකුරු මාරු කරලා .

“ජීවිතය සනටකි” 

කියලා.  ඒකාලේ පච්ච කෙටිල්ලෙදි වැරද්ද වුනොත් වුනාමයි. ආයේ මකනව බොරු. උන්දෑ නම් දැන් මිය පරලොව ගොහිල්ලා. හැබැයි මේ පැත්තේ මිනිසු තවම කියන කතාවක් තියෙනවා. මිනිසු මගදී හමුවනාම ආගිය තොරතුරු කතාකරනවනේ සැපදුක එහෙම අහලා. එහෙම වෙලාවට අතර මග දී කවුරු හරි ඇහුවොත් 

‘කොහොමද බං ජීවිතේ’

කියලා උත්තර දෙන්නේ,

‘ජීවිතේ සනටකි’    

කියලා. හැබෑවටම සටනක් වුන ජීවිතේ ගැන බර දාල හිතල ලෙඩවෙනවට වැඩිය, සැහැල්ලුවෙං හිතංට අවුරුදු ගානකට කලියෙං අකුරු මාරුවෙං වුන වැරද්ද  පිහිටවෙලා කියලා එක වෙලාවකට මට හිතෙනවා ආයුබොවං. 

හොරකමකට පාඩමක්


අපෙ ගම් පළාතේ ගම්මුංගෙ වතුවල වැට මායිමට හදංනේ එඬරු, වැටහිර, ඉංදියං රබර් වගේ නොවටිනා ගහකොල ඕං. මොකො එහෙම කොරංනේ. වටිනා කියන ගහක් හදාපංකො කොස්, පොල්, කරාඹු වගේ. පස්සෙං පහු ආරවුල් වෙනව නෙව, දෙපැත්ත; ගහට තංනහව ගහල.  ඒක නැති කොරංට උපායක් ඒක.

සුරා ගුරුන්නාංසෙගෙ වැටෙ මායිමක එක්කොනක් ගංසභා පාරක්. ඉතිං මේ ගං සභා පාරට මායිං වෙච්ච වැටේ වටින කියන ගහක් කොළක් හැදුනට, පස්සෙන් පහු ආරවුලකට මුල්වෙයි කියලා ඕං උගුල්ලලා දාංට ඕනැ වුනේ නැහැ.  වත්ත මැද තියෙන කොයි ගහකොළ ගැනත් බෝම විප‍රමෙං ඉංන සුරා ගුරුංනාන්සෙ මේ වැට මායිමේ ගහකොළ ගැනත් ඒ සැළකිල්ලම තිබුණා.

මේ වැටේ බෝම ජයට වැවිලා තිව්නා ගංසුරියා ගහක්. ගං සභා පාරපැත්තට යංතං ඇලවෙච්චි ඒකෙ ගොබිලක් අහස පලාන ගියා බඹ තුන, හතරක්ම උහට  එක කෙළිං. පුවක් ගහක් තරං මහතට. සුරාට මේ ගොබිල දැකලම ඒකේ ස්වරූපෙ මතක හිටලා ඕං.

ඔංන ඔය කාලේ තමයි මුල්ගම ගෙදර මැද්දු හරක් ගාල අළුත් කොළේ; වහළෙට යට ලී, පොල් අතු, පිදුරු හෙම අළුතෙංම  හෙවිල්ල ලා. මැද්දුවා ගුරුංනාංසෙගේ වත්ත කිට්ටුවම තමයි වසව්වේ. බෝම ජයට හදල තියන අළුත් ගාල දිහාවට දවසක් සුරාගෙ ඇහැ ගියේ ඒකෙ තිබුන අපූරුව හිංදමයි.


ඒත් ගාලේ වහලේ මුදුං ලීයෙනං අපුරුවක් නෙවෙයි බෝම හුරුවක් තමයි සුරාට දැණුනේ. ‘හ්...ම්..බෝම හුරු පුරුදු පාටයි.’ සුරා ඉතිං ඕක ගැන කල්පනාවෙං අත්‍ දෙකත් පස්සට කොරං වත්තට ගොහිං වැටේ ගංසූරියා ගහ බලව්වට පස්සෙං පහු තමයි තේරුනේ වෙලා තියෙන සංගදිය. යස අගෙං තිබ්බ සූරියා ගොබිල නෙව මද්දුවා මේ හොරෙං අරං ගොහිං  ගාලේ යට ලීයට දමල තියෙංනෙ කියලා සුරාට යමර කේන්තියි..

ඔංන සුරා ගුරුංනාංසෙ ඒ වුනත් වත්තෙ හෙම කරක් ගහලා හෙමිහිට පල්ලම් බහිනව ආපහු  මැද්දුවාගේ ගෙවල් දිහාවට. වයසට ගියා වුනාට මේ කාලේ ඉතිං හයි හක්තිය හෙම තිව්න කාලේ. මැද්දුවා හරක් ගාල පිටිපස්සේ බෝම සීරුවට වැඩ.

ගුරුංනාංසේ  ඉතිං ඒ ඉසව්වට ඇවිත් හිටං මද්දුවාට පේන දුරිං ඇණ තියා ගත්තා.දැං ඉතිං මැද්දුවාගේ අවසරයක් නැහැ උංදැ තනියෙං කතාව.

‘ඈ බං මැද්දුවෝ, උඹ දැක්කද මගේ වැටේ......... ගංසූරියා ගහේ තිව්න ගොබිල.’

මේක ඉතිං “හොරාගේ අම්මගෙං පේණ අහනවා” වගේ‍ වැඩක් විත්තිය සුරා දංනවා. මද්දුවා ගත් කටටම කියනවා,

‘මොන ගොබිලක්ද , ඔහෙ නෑ ගුරුංනාංසේ’ කියලා.

සුරා දැං මෙහෙම හිතනවා “වහලෙ තියෙන ගොබිල ගහේ තිව්න ගොබිලට සමයිනං; ගහෙත් ඒ ගොබිල නැත්තං, මම දන්නවා නෙව මූ ඒක කපං ඇවිත් විත්තිය. ආයේ ඉතිං මේකගෙං වහලේ ගලවලා ලීය ගංටයැ. අනෙක් අතට ඔය සතාට හෙවන දෙංට මං දානයක් දුන්න කියල හිතනවා. ඒත් ඉස්සරහටවත් මෙහෙව් හොරකං නොවෙංටනං මූට පාඩමක් කියලා දෙංට එපෑය.”  එහෙම හිතපු සුරා මැද්දුවාට ඇහෙංට මෙහෙම කියලා ඇණ තියං හිටපු තැනිං නැගිටලා අත් දෙකත් පිටිපස්සට ගැටගහගෙන යංට යනවා.

‘අනේ, විපරං කොරලා බලාපං මැද්දුවො; ඒක උඹෙ ගාලේ වහලෙටවත් යටවෙලාද කියලා. මට ආයේ ඕක දෙසැරක් බලංට වෙලාවක් නැහැ අප්පච්චී.’

Thursday, September 16, 2010

මොකක්ද හැබෑටම මේ වචනේ තේරුම


මොකක්ද හැබෑටම මේ පිඩිය කියන්නේ. මමනං ආයුබොවංට සුරා ගැන කතාවෙදි මේ පදේ කිව්වේ  ගැමියො වහරන නරකම පදයක් විදිහටයි. මේ වචනේ මට ඇහිලා තියෙනවා ගමේ බොහෝම පාත (ග්‍රාම්‍ය) වචනයක් විදිහට ඕං. ඒ අර්තෙං තමයි සුරත් මේක  පිටකොලේ උගෙ කටිං මුදලාලිට විතරක් ඇහෙංට.

මේක ගැන තවත් හොයංට ඕන හිංදා මම අද පෙරළලා බැලුවා ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සම්පාදනය කරාපු ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය. වචනයක් ගැන කුකුසක් ආවහම සුමංගල ශබ්දකෝෂයෙං හරි සිංහල ශබ්දකෝෂයෙං හරි හොයාගන්ට පුළුවංද කියලා බලන එක මගෙ සිරිත. කාට නමුත් හැබෑවටම සිංහල බසේ වහරන  වචනයක් තේරුං බේරු කොරාගංට ඕනනං ලේසියෙංම  ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයත් ඕං දැං තියෙනවා වහල් කොරාගංට පුළුවං. ඉතිං ඕං ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය පරිශීලනය කොරාම පහත තැං ටික ඇහැ ගැටුනා. පිඩිය කියන එක සුරා කිව්වේ මොන අර්තෙංද කියන එක කාට කාටත් පැහැදිලි වෙයි මේ උපුටා ගැනීම් ටික බැලුවම.

-------------------------------------------------------------------------------
පිඩි නාප්‍ර 1 තට්ටම, පිඩුව, ගුළිය 2. ස්ත්‍රී නිමිත්ත 3. ආහාරය 4. පංගුව, කොටස (1114 පිටුව)
යෝනි/ යෝනිය නාප්‍ර 1. දිය, ජලය, වතුර  2. ස්ත්‍රී නිමිත්ත ......... (1450 පිටුව)

ස්ත්‍රී ලිඟු  1. ස්ත්‍රී නිමිත්ත................. (1951 පිටුව)

-------------------------------------------------------------------------------
මෙම වචනය සමාජ භාවිතාවේ යෙදෙන අවස්ථා කීපයක් බලමු.

ඕං යනව පිඩි කංට  යම් තැනක තිබෙන  ආහාර  නැතිනම් පිඩුව කෑමට යාම. එයින් යම් ස්ථානයක  අනවශ්‍ය ගැවසීමක් අදහස් කරයි.

යනවා පිඩිය ලෙවකංට යම් ස්ථානයකට අනවශ්‍ය කාර්යයකට යාම නැතිනම් යම් අයෙක් සමග පවත්වන හිතවංතකම අනවශ්‍ය ගණුදෙණුවක් බව ඇගවීම  අන්‍යයන් විසින් පවසන ආකාරයකි. මෙහිදී අදාළ වචනය ස්ත්‍රී නිමිත්ත යන අදහසෙන් ඉදිරිපත් කරයි.
------------------------------------------------------------------------------

මේවා ඉතිං කුණුහරුප නෙවෙයි. අපේ භාෂාවේ බෝම ප්‍රාණවත් වචන. මොකද ආයිබොවං එහෙම කියංනේ. අවස්ථා කීයකටනං වහල් කොරාගංට පුළුවංද මෙහෙව් වචන.

Wednesday, September 15, 2010

සුරාගේ කෙල්ලගේ විභාග ප්‍රතිඵල

සුරා ගුරුන්නාංසෙටත් තහුතෙට නැංග තැං අනංතයි අප්පරපමානයි. ඉතිං ඒවත් කීවේ නැත්තං මේ ගම්මුංගේ චරිත වහං කොලා වෙනවා. හැබැයි උංදැ ඇගෙව්වා ‘බොලව් මගේ හීමාව පැංනා,  දැං ඇති නවත්තපංලා’ කියලා. ඒකටත් බෝම තැනට ගැලපෙන විදිහට හරබර රහබර වචන ටිකක් තමයි වහල් කොරගත්තේ ඕං.

අපේ ගුරුනාංසේ ඔන්න දවසක් කඩ මංඩියට ගියා. මේ කාලේ වෙද්දී ගුරුංනාංසේ ගමනක් ගියොත් යංනෙ තුං හතර පාරට. ඒ මොකද දැං ඇගේ පතේ හයි හක්තිය පිරිහෙන කාලේ. තුං හතරපොලක ඇණ තියං හති ඇරලා තමයි ගාටංනේ. රෝගෙකට හෙම නෙවෙයි වයසට. ඉතිං මෙහෙම කඩ මංඩියට ගිය සුරා “ගංහතේ කඩෙං” කහට කෝප්පයක් බීලා දොර ලෑලි ටික හේත්තු කොරලා තියෙන තැනිං පාර පැත්ත බලාන ඇණ තියා ගත්තා.
ඔංන මේ වෙද්දි ඉස්කෝලේ කොල්ලො කෙල්ලෝ අවේලාවේ පාරේ එහෙට මෙහෙට ඇදෙනවා. ඉතිං ඔය රටේමුල්ල, ඇතුල්ගම, කිරිමැටිය, මොරගොල්ල, බව්ලාන, කොළඹිස්ස, මාරස්සන, පස්ගම කොහෙත් බස් එක නතර කොරන්නේ ගංහතේ කඩේ ගාව. ඉස්කෝලේ කොල්ලො කෙල්ලොත් මෙතෙංට ආපි.

පෙළක් උංගේ මූණු ඇඹුල්වෙලා, පෙළක් උංගේ මූණු මල් හතයි. ඕං දැන් මුංගේ කයිවාරුව. එකෙක් එයාට සී පහයි කියනවා. මට ඩී හයයි කියනවා. තව එකියක් අනේ! එයා පව්, ගගා කන්දොස්කිරියාව. මොනවද මේ. ඒ කාලේ මොකද මේ මෑතක් වෙනකංම විභාග සමර්ථ කොරපුවාම ඒව හදුංවව්වේ ඩී, සී, ඇස්, ඇප් කියල නෙව. එව්ව නෙව මුං මේ දොඩවංනේ. මුංගේ විභාගේ ප්‍රතිඵල.

මේ කතාව සුරාට හරිම වේදනාවක් ඕං. මොකද එහෙම වුනේ. සුරා පෝලිමට හදාපු දරුවංට අකුරු සාත්තරේ හරි හමං විදිහට නොපිහිටපු එක.

සුරා ඇණ තියං උංනේ මහ වේදනාවෙං. ‘කොච්චරනං හොදද ගිය පාරවත් පොඩි එකී විභාගෙං සමර්ථ වුනානං’ කියලා මේ ගැනයි සුරා හිත හිත උංනේ . පොඩි එකී නොදංනවා උනාට සුරා බලාපොරොත්තු තියං හිටපු ඒකිත් ඒ ගැන තකලා වැඩ සිද්ධ කර ගත්තේ නැහැ නෙව.

..............ගංහතේ මුදලාලි විතරක් නෙවෙයි සුරාල ගැන  කතා කරපු දන්න කියන උං සේ‍රම සුරාගේ ළමයි ගැන කිව්වේ අමන නෝංජල් ගානට. ගංහතේ මුදලාලිටත් ඉස්කෝල ලමයිංගේ කතාව කණ වැටිලා උංනේ.  මුදලාලි සුරා ඇණ තියං උන්නු තැනට කිට්ටු කොරලා හිටං සුරාට දැනෙංටත් එක්ක මෙහෙම කියනව.

‘මුංගේ ඇස් ඇස් සී ප්‍රතිඵල ඇවිල්ල නෙව. අහං හිටිංකො සුරා, මුං ඒ ගැනයි ඔය කතාව’

දරුවංට වැරදුන එකට සුරාට දුකයි. තරහයි. ඒත් උං දරුකමෙං උපංනු ලෙංගතුකමෙං අයිං කොරංටද? “තුවාලේ ඇති එකාට නෙව ඒකෙ වේදනාව” පිට උංට කොහෙද ඒවා තේරෙංනේ. සුරාට නෑහෙන දෙයක් අහංට කියලා මුදලාලි කියනවා නෙවෙ නොවැ. මුදලාලිට ඕනේ සුරාව රිදවංට. මුදලාලි දිගිං දිගටම කියෝගෙන යනවා.


‘ගුරුංනාංසේගේ අර බාල කෙළී, එකීගෙ විභාගෙ ප්‍රතිඵළ කොහොමද බං හැබෑටම’

මුංදෑ මේක අහංනේ නොදංනා කමකට හෙම නොවන වගත් මගේ හිත පාරංට වගත් සුරා තේරුං ගත්තා.සමහරුංගේ හිත තැලෙන දේවල් කියලා සතුටු වෙන සොබාවයක් සමහරුංගේ තියෙනවා . මුදලාලිත් එහෙව් එකෙක්. මුදලාලිගේ පුරස්නේ නෑහුන ගානට සුරා ඉංනවා. මුදලාලි ආයේ ආයෙත් ඒකම අහනවා. සුරාට මේක මහ වදයක් වුනා.  සුරාට නහුතෙට නැංග. දැං මුදලාලි ආයෙත් ඒ පුරස්නේ අහනවා ඕං.

ඉතිං සුරා ගුරුංනාංසෙත්  උත්තර දෙන්නයි ලක ලෑස්තිය.

‘ඒකි‍ට “සී” තුනයි “ඩී” හතරයි නෙව මුදලාලි’ කියපි

මුදලාලි ‘මේ කඩප්පුලියා කියන බොරු. වළ පයයි ගොඩපයයි තියාන’ කියලා හිතලා හිටං

‘ඒ මොනවටද ගුරුංනාංසේ ’ කියල අහපි.

සුරා සීරුවට උත්තර දුංනා බෝම අහිංසකව මෙංන මෙහෙම.

‘ඕකි අපේ මායියගේ බඩ පිස්සී, දැං හොද ළමස්සී, මං ඕකිට කියංනේ වැස්සී එතකොට සී තුනයි.ඒකිගේ ඔලුවේ තඩී ඉංනවා නෙව, අපේ මායියා එවුං හොයද්දී ඕකිට කියංනේ අඩී කියලා, ඕකිට අනෙක් උං කියන්නේ පොඩී කියල නෙව මුදලාලී. එතකොට ඩී තුනයි’


කියලා කීව සුරා ඇණ තියං උන්නු තැනිං කොන්දටත් අත තියලා හිටං, හිටගත්තා. අර ඉස්කෝලේ කොල්ලො කෙල්ලංටත් මේක ඇහුනා. මූණු එල්ලං හිටිය උනුත් මේක ඇහිලා හිනා වුනා. බෝම අහිංසකව එහෙම කියලා නැගිට්ට සුරාගෙං මුදලාලි අහනව,

‘එතකොට සුරා ගුරුංනාංසේ අනෙත් ඩී එක’ කියලා.

දැං ඉතිං මුගෙ කට වහංට ඕනෙ වෙලාව කියලා සුරා හිතුවා.

‘අනෙක් එකද මුදලාලි’  කියලා අහල හෙම, අත් දෙකත් පස්සට බැදං; පිං වපරෙ අස්සෙං මුදලාලි දිහා බලලා; මුදලාලිගේ කනට බෝම කිට්ටු උනා. අර මද්දුවාට ලොක්කා ගැන කිව්වේ එදා වගෙ (ඇත්තමයි බොළව් මේකනං මුදලාලිට විතරමයි ඇහුනේ.) ඊට පස්සෙං පහු මෙන්න මෙහෙම කියලා සුරා එතනිං යංට ගියා.

‘ඇයි මුදලාලි, ඒකිට පිඩියකුත් තියනවනේ. එතකොට ඩී හතරයි’

මේක අහලා හීං දාඩිය දාපු මුදලාලි කඩේ ඇතුළට ගියා. හිතේ අමාරුවටම  නහුතෙට නැංග හිංදාම වුනත් මේක සුරා කිව්වේ වෙන කාටවත්ම නෑහෙංට. ‍බොහෝම සංවරව. සුරා කිව්වේ මොකක්ද කියලා එතන හිටපු ඉස්කෝලේ කොල්ලො කෙල්ලොවත් තවම දංනේ නෑ ඕං.

Saturday, September 11, 2010

සුරාගේ කසාදේ......................



සුරාගේ අක්ක එතනා දීග දීලා ගොඩක්කල්, මැණිකත් එහෙමයි. සුරාගේ මඟුල් පරක්කුවට හේතු වුනෙත් මේ අක්ක නගෝගේ දීගදීම. උන් දැන් බෝම ජයට ඉන්නවා ගොයිතැං බත් කොරාන, දරු මල්ලො හදාන ගිය ගිය තැංවල. සුරාගේ වගක් උන්ට නෑ. බැරි බැරි ගාතේ නමුත් සුරාගේ අම්ම තවමත් සුරාගේ තනියට ගෙදර ඌත් එක්කං ඉංනවා.  සුරා මේ වෙද්දිත් “කැතිගානාකඳුරේ ලමස එකී” ත් එක්ක පෙම් පළහිලව්වක පැටලිලා උන්නේ. ලමසගේ අම්මා එක දවසක් පන්සලේදීත් මේ ගැන සුරාගේ අම්මට කියලා තිබුණා. ඒත් උන්දැට ඒකේ වගක් නෑ. උන්දෑ හිතව්වේ සුරා කොලුවා ඕවට ඉක්මං නැති ගානට.
සුරාටත් මේක උගේ අම්මට කෙළින් කියංට හිත දෙන්නෙත් නෑ. සුරාගේ ඉළංදාරි නඩේ එවුමුත් දැං පවුල් පංසල් වෙලා හිටං තැං තැංවල. ලමසගෙනුත් හැමදාම කන්දොස්කිරියාව ‘මාව එක්කං පලයං උඹළගේ දිහාවට’ කිය කියා. වෙලාවකට සුරාට හිතෙනවා “යන කැකිරි වත්තකිං යන්ට” කියලා ලමසව ගෙදර උස්සං යංට. ඒත් ඌට මේක අම්මගේ කටෙංම කියලා ලමසලාගේ ගෙදෙට්ට, ඒ විදිහට පිළිවෙලක් වෙන එක ගැන තමයි සුරා හිතුවේ. මේක අම්මා අහංනෙත් නැති එකේ අම්මට කියංට කට ඉස්සර කර ගංට ඌට කොච්චර මහප්පරානකාරය වුනත් හයිය තිවුනේ නෑ ඕං.

ඉතිං අම්මගෙංම ‘පුතේ දැං උඹ පෙළවහක් කොරගනිං’ කියලා කියවෙන තැනට වැඩ කොරන්ටයි සුරා දැං තනංනේ.

සුරා දැං දානවා පොඩි පහේ උප්පරවැට්ටියක්. සුරා ලමසලාගේ දිහායිං හරි කඩමංඩියෙං හරි බඩ පුරෝගෙන ඇවිත් අර අහිංසක අම්මා තම්බලා තියන එක නොකා, නොකා නොබී සෝකෙං ඉංන ගානට උපවාසෙං නිදා ගංනවා. එතකොටවත් මුංදැට දැනිලා  ‘පුතේ දැං උඹ පෙළවහක් කොරගනිං’ කියලා කියයි කියලා හිටං. දවස් දෙකක් විතර ගියාම අම්මට තේරුණා පුතංඩියාගේ වෙනසක්. මේක දැං ‍දවස් දෙකක්ම නොකා නොබී හාමතේ නිදාගත්තේ. අම්ම කියනවා එක දවසක් උදෙං කුඹුර දිහාට යංට යන සුරාට,

‘මයෙ පු‍තෙ පොඩ්ඩක් නැවතියංකො කියලා.’

සුරාගේ “ඉහේ මල් පිපුනා” උප්පරවැට්ටිය හරි. දැං අම්මා කියයි ‘පුතේ දැං උඹ පෙළවහක් කොරගනිං’ කියලා. එහෙම හිතං නැවතුන සුරාට අම්ම කියනවා

‘පුතේ උඹ දැං දෙදොහක්ම හාමතේ. අජීරණයක්වක් තියෙනවනං වෙද රාළ හම්බවෙලා කසායක් හදාන වරකො’
කියලා. සුරාට හොද පද සිහිවුනා. කියංට ඈ මව්ට.

‘හොදයි අපෙ අම්ම’    කියලා හිටං සුරා යංට ගියා.

ඒ උපාය හරි නොගිය එකේ සුරා හිතව්ව වෙන උපායක්. මූ එදා රාත්තිරියෙ කලියෙංම නින්දට වැටුනා. සුරාගේ අම්ම තාම ඇස් ඇරගත්තු ගමං. සුරා දන්නවා අත් දැකීමෙංම ඌ ගොර අදිංට ගත්තු ගමං පානත් අරං ඇවිත් අම්ම සුරා ළගට කිට්ටුවෙලා උගෙ මූණ බලලා යන වග. දැං මූ බොරුවට ගොර අදිනවා. අම්මත් පාන උස්සං ඌ දිහාවට ඇවිත් හිටං උගෙ මූණ බලලා යංට හැරුන. එතකොට මූ හීනෙං වගේ,

ග්... රොං..... ග්ර්.......

ගාලා ගොර ඇදලා හෙම, හීනෙං දොඩවන ගානට මෙහෙම කියනවා

‘ම්.... හ් ..... ලමසා........, අම්මටත් එක්කම කහට වක්කොරපං............. ම්...හ්....ම්......කොයි, කොයි, අපෙ අම්මා පැත්තකිං ඉංට ලමසා බත් ටික ලිපේ තියයි........’

එහෙම කියපු සුරා ආයෙත්,

ග්...... රොං........ ග්ර්.......කියලා ගොරවංට ගත්තා.

ඒක ඇහුන ගමං අම්මගේ සිහියට ආව එක පාරටම ලමස කෙලීගේ මව් පංසලේදී කියපු කාරණේ. ‘මම ඒක එච්චර තකව්වේ නෑ නෙවද?’ කියලත් උන්දැට හිතුනා. මෙච්චර කාලයක් මෙකගෙ තිබුන සාංකාවට හේතුව හෙනං මේකයි. මට ඒකේ වගක් නිච්චි නැති වුන හැටි අම්මපල්ල.................මේකා හීනෙනුත් ඉංනෙ එකීත් එක්ක නෙව හැබෑට............... කියල සුරාගේ මව් විස්සෝප වුනා.

පහුවදාට එළිය වැටුනා. සුරාත් ඇස් ඇරියා. අම්මා කලිංම නැගිටලා රෙද්ද හැට්ටෙ ඇදං පිළිවෙලකට උන්නා. එහෙම ඉදං උංදෑ කියනවා,

‘මයෙ පුතේ උඔ කුඹුරට යංට කලියෙං කාලා හිටිං. මම කැතිගානකඳුරේ යනවා ලමසා එකිගේ දෙමව්පියංට කතා කොරංට. උඔත් හවහ ඒ පැත්තේ පළයං’  කියලා.

ඕන්න සුරාගේ කසාදේ තීන්දුවුනේ ඔය විදිහටයි.

Friday, September 10, 2010

මස්සිනාට පාඩමක්

මස්සිනාට පාඩමක්

සුරාගේ වැඩිමහල් සහොදරී එතනා. බාල සහෝදරී මැණිකා. මැණිකා ගැන දන්නවනේ නේද? අර අම්මගේ චීත්තෙං........................මතකනේ හැමෝටම. මැණිකා දීග දුන්න පස්ගම පැත්තට. පස්ගම හරි අපූරු සුන්දර පළාතක්. ඔය නම්පොතේ සගම, පස්ගම,අරත්තන, ............... කියලා හිටං දෙවනියට කියවෙන පංසල තියෙන්නෙත් මෙහෙ. යස පෙරහැරක් හෙම තියෙනවා ඇහැළ මහ පහුවෙන පෝයට.

පස්ගම කලු අප්පුත් එක්ක මැණිකා දීග ගියා ඉතිං. දීග ගොහිං ටික දොහකිං තමයි තේරුණේ කලු අප්පුවා රා ගුඩ්ඩෙක් වග. ගැමියො ගොඩක් ඉතිං පස්වෙනි  සිල් පදෙ කැඩුව. හැබයි ඉදලා හිටලා කාටත් නොදැනෙංට,   නම්බුවට. පැණි හකුරු ටිකට වෑහුන තෙලිදිය ටිකෙං; පැණි හකුරු ටිකටත් හොරෙං, කිතුල් මලටත් හොරෙං රා වතුර ටිකකුක් දා ගත්ත. කලු අප්පුවා එහෙම නෙවෙයි. පස්වෙනි සිල්පදේ මරණවා. ඒ කරලා නිකං හිටු. මැණිකටත් තඩි බානවා. කංට බෙදංට සුනංගුවුනාද? සුනංගුවුනාට තලනවා. වෙලාසන දුන්නද? වේලසන දුන්නට තලනවා. හිනාවුනොත්, හිනාවුනාට තලනවා. ඇඬුවද, අඬනවට තලනවා. ඉතිං බොළවු මේව උහුලං කලුවගෙං මැරුං නොකා මැණිකා හිටියයි කියමු. “අතිං පයිං ගහලා මේකා උන්දැව මරණ විත්තියක්” මැණිකට තේරිලා බෝම බයාදු වුනා. ඊට පස්සෙං පහු දවසක කලුවගෙං හොදට ගුටි කාපු මැණිකා “පැදුරටත් නොකියා” පැදුරු කඩමලුත් උස්සං ආපී මහගෙදෙට්ට.

‘සුරා අයියංඩි, කලු අප්පුවා මාව අතිං පයිං ගහලා මරයි’ ඒ හංදා  ගෙදර ආපු විත්තිය කියාන.

සුරා කිව්වා,

‘හෙනං තිගෙත් ගෙදරනේ. ඔහෙං හිටු. කලු අප්පුවා පස්සෙං පහු ඇවිත් කැටුව යයි නෙව’ කියලා. හේතුවටයි, අහේතුවටයි, අවාලෙයි රැයෙයි කලු අප්පුවාගෙං ගුටිකන මැණික නගාගේ කතාව අහපු සුරාගෙ හිතට සංවේග උපන්නා.කොච්චර හුරතලේට ඉංට පුළුවං කාලෙද මේකිට මේ දුක කියල හිටං.

සුරාල නොදන්නව උනාට කලු අප්පුවා මුල ඉදලම සෝමාරියා. ඒකා පිළිවෙලක් උනෙ යංතංවත් මැණිකගේ උදව්වෙං.

මැණිකා ආපිට ගොහිං පෝයෙං පෝයට කාලේ ගෙවෙද්දිං කලු අප්පුවාට මැණිකගේ අගේ දැනෙංට ගත්තා. එක දවසක් කලු අප්පුවා “කුකුළත් කරෙං අරන්” ආපි මැණිකව හොයාන.

සුරා ත් ඉතිං මේ වෙලාවෙ ගෙදර උන්නා. කලුවා දැක්ක විතරයි මැණිකා වහංවෙලා, අහං හිටියා දෙමස්සිනාලගේ කතාබහ. කලුවගේ කයිවාරුව ඉවරයි දැං. සුරා කියව්වේ ගෑනියි මිනිහයි කාලේ ගෙවංට ඕන තාලේ.


දැං මැණිකත් ආපහු කලුවා එක්ක පස්ගම යංට ගේ ඇතුලේ සූදානං වෙනවා. සුරා කලුවට අවසාන උපදේසෙ දෙනවා. හැබැයි සුරා කලු අප්පුවාට අතිං පයිං කියන වචනේ හැම වෙලාවෙම අවධාරනේ කොරන ගමං තමයි මේ ටික කිව්වේ.

උඹ අතිං පයිං ගහන හිංදයි මැණිකා ඔය ආපිට ආවේ. මස්සිනේ මැණිකා උඹෙ කසාද ගෑනි නෙව. උඹලගේ පුරස්න උඹලට. හැබැයි උඹ ඒකිට අතිං පයිං ගහන එකට මගෙත් මනාපයක් නැහැ බොළ. උඹට මැණිකව දුංනේ අතිං පයිං ගහන්ට හෙම නෙවෙයි. උඔ හොදට ඇගේ හයිය හක්තිය තියෙන එකා නෙව. ගෑණි උඹ ලගින් හැමදාම තියා ගංට ඕනනං අතිං පයිං ගෑණිට ගහන එක නතර කොරහං.

ඒ උපදේසේ (බොළාලට කෝමද දන්නෙ නැහැ) කලු අප්පුවට හොදට තේරුං ගියා.

කලුවා ඊට පස්සෙත් රානං බිව්වා ටිකක්. මැණිකට හොදට සැළකුවා. හැබැයි ගැණිට අතිං පයිං සැළකුවේ නැහැ.

වචනයක්.........................

සුරා ගුරුන්නාංසෙගේ කතා ටික පටං ගත්තේ උන්දැගේ වැඩිහිටි කාලේ හරබර කතා ටිකකිං ඕං. සුරාගේ ඉළංදාරි කාලේ කතා කියවද්දී සමහර හිතවතුංට හිතෙංට පුළුවං ‘සුරා ඇණ ගන්නවා‍ නේද ජාතියට’ කියලා. තවත් කෙනෙකුට හි‍තෙංට පුලුවං එයාලට සුරා වීරයෙක් වෙලා හිටයනං හෙම ‘අපේ වීරයා මැරෙනවා නේද’ කියලා.

කොහොම වුනත් වචනයක් කියංට ඕනේ. වැඩිහිටි ගැමියෙක් කියංනේ තැලුණ පොඩිවුන මිනිහෙකුට. එයාලා හරියට මෝල් ගස් වගෙයි. ඕනම දේකට ඔට්ටුයි. එහෙම වැඩිහිටියො ගහන්නේ අතිං පයිං හෙම නෙවෙයි. වචනවලිං ආයිබොවං. සුරා චරිතයෙං අපි පෙංනංට ලක ලෑස්ති වුනේ ගැමියංගේ මෙන්න මේ ගුණාංගේ. බෞද්ධ පිංවතුං දන්නව නෙව හිත, කය, වචනය කියන තුංදොර  සංවර කර ගන්ට ඕනේ කියන කාරණය. අපේ ගැමියො වචනය සංවර කරගන්නවා කියන කාරණ‍යෙං එහාට ගිහිං වචනය කළමනාකරණය කරගත්තයි කියලයි මටනම් හිතෙංනෙ. උන්දලා අතිං පයිං නොගහා විරුද්ධවාදියාට ගැහුවා නැත්තං උපදෙස් දුංනා සදාකාලිකව මතක හිටිංටම වචනයෙං.

සුරාල අයිති මෙන්න මේ පරංපරාවට. ඒ වගේ මිනිස්සු ගොඩ නැගුන හැටි තමයි සුරාගේ ඉළංදාරි කාලෙදි පෙංනංනේ. සුරාගේ අවසාන කාලේ වෙද්දී සුරා ගුරුංනාන්සේව උපහාසෙට ගන්න පිරිසක් ඇතිවෙනවා. උන්දෑ ඒවට උත්තර දෙංනේ වෙනම විදිහකටයි. ඕං ඒවයෙං කීපයක් කියවංට ලැබෙයි ඉස්සරහට. සුරා චරිතේ පොත් පිංචකට කැටි කරංට හිතේ තියෙන හීනේ හැබෑවෙන දවසක තවත් කතා ගොඩක් කියවංට ලැබෙයි .ඕං එතකං මේ කතා ටික කියවලා ප්‍රතිචාරෙකුත් දුන්නනං හෙම බෝම අගෙයි ආයිබොවං.

Tuesday, September 7, 2010

මම තවම එලිබැහැපු  හැටියටමයි.............

ඔන්න ඉළංදාරි කාලේ සුරාලගේ කතාවක් අහමුකෝ. ඒ කාලේ සුරාලටත් හිටියා හොද රංචුවක්. මුං ඉතිං ඒ කාලේ හැටියට ගම හොල්ලං හිටියේ ඕං. ඒ කාලෙත් සුරා කොයි එකටත් තැනට ඔබින හොද කතංදරකාරයා. දවසක් ‍මුං රංචුවම එකතුවෙලා “ඔය වැලෑනේ” තිබ්බ මී අඹ ගහ පාළු කරංටයි තනංනේ. “ඔය වැලෑන” යි කීවේ දිය පාර අයිනෙ තියෙන වැල් ගොහොටාවට.  ඔය ඉංගිරිසියෙං රිසිවේසම කියංනේ. ඒකට තමයි මේ ටික අයිති.

සුරාලගේ ගම්මානේ මායිම තීන්දු කොළෙත් මෙන්න මේ දිය පාර. ඒකට තමයි “ඔය” කියව්වේ. ඕං නමින්ම කියනවනං මේක තලාතුඔය. ඔන්න සිතියං පොතෙත් තියෙනවා. හන්තානෙං ඒ කියන්නේ ඌරාගල ඉසව්වෙං පටං අරං දඟර ගගහා ගොහිං ගුරුදෙණිය ඉසව්වෙදි මහවැලි ගඟට බහිනවා. ගම්මානේ මායිම තීන්දුකොරා වගෙම ගම්මානේ කොල්ලංගේ හයිරං තීන්දු කොරන්ටත්, කොයි එකටත් ඔය    “ඔය” බලපෑං කොරා. ඉතිං මෙගොඩ ගොඩට ඇවිත් කවුරුත් සෙල්ලං දානව බොරු. ඔය, ඔයේ මී අඹ ගහ තිවුන ඉසව්වේ  “පනන්වල අලියා” එහෙම නාවන තැන වතුර මැද තියෙනවා “ගොං ගල” කියලා ගලක්. ගොනෙක් ගිනියම යංට වතුර මැද දපල ඉන්නවා වගෙයි පෙනෙංනේ. ඒකයි ඕකට ගොංගල කියංනෙ. ඔතනම අයිනේ ගල්පොත්තෙ තමයි හේනේ මාමා රෙදි අපුල්ලංනෙත් ඕං.  මේ ඉසව්වේ හැමදාම උදේට ගූ ගඳ. මොකෙක් හරි නොසන්ඩාලයෙක් මෙතැන එලිබැහිල්ල පුරුද්දක් කොරගෙන තිව්නා. හේනේ මාමා කියනවා,

‘මේකා නයා කන්ට එපෑයැ; දානව මං මේක උඩට මතුරලා ගිනි අඟුරු’

කිය කියා. එතකොට වැඩේ කරපු මිනිහගේ පස්ප පැත්ත දන්ට ගන්නවලු. මොක කිව්වත් වැඩේ නෙවෙයි නතර උනේ. හේනේ මාමගේ රෙදි අපුල්ලිල්ල තමයි වෙන ගලකට ගියේ.

එදා පංසලේ හීල් දානෙට කලියෙං බුද්ද පූජාවට ගන්ටාරෙ ගහලා ටික වෙලාවක් යංට ඇති ඕං. ඉළංදාරි ටික යනවා ගොංගල පැත්තෙං මී අඹ ගහ පාළු කොරංට. යකො මෙන්න බිල්ලෙක් වගේ ඉදගෙන හිතේ හැටියට ‍ඔය වැලෑනේ හඹරල ගොල්ල අස්සේ එලි බහිනවා; බඹරදෙණියේ ක‍ඩේ පොඩි මහත්තයා. මේකගෙ උපාය කියංනේ ඔයෙං මෙගොඩ පැත්තට ඇවිත් ඒ කියංනේ සුරාලගේ ගම පැත්තට ඇවිත් තමයි වාඩිවෙලා ඉංනේ. එතකොට හිතංනේ ගමේ එකෙක් එලි බහිනවා කියලනේ. සුරාලට සුරුස් ගාලා තේරුං ගියා “හැම දා  නියං එකදා වැහි වළාවෙං අහවරයි” කියලා.

දැං ඉතිං ඔන්න සුරා ඉළංදාරියාගේ වචනෙට තමයි මෙතැං ඉදලා කොල්ලො වැඩ කොරංනේ.කොල්ලො රෑන පොඩි මහත්තයා නොදැක්ක ගානට හීනියට  සද්දයක් හෙම දාගෙන හාංකවිත්තියක් නැතුව පාඩුවේ යනව. “කිරි අප්පට බල්ලො පැනපි” කිව්වලු මේක ඇහුනා විතරයි කවුදො එනව දැණුන පොඩි මහත්තයා “භූමි තෙල් වක්කරපු ලිපෙං ගින්දර නගිනවා” වගේ කෙලිං හිට ගත්තයි කියමුකො වැඩේ පැත්තක තියලා. දැං ඉතිං මිනිහා මෙහෙම දෙයක් නොකළ ගානට, හිමිං හිමිං ඇවිදං ඉස්සරහට යනවා. කොලු රෑන මේ වග දැක්කා නොවැ. ඒ හංදා මිනිහට ටිකක් කිට්ටු කොරලා කොල්ලො අහනවා ,

‘ආ පොඩි මහත්තයා කොහෙද උදෙංම බෑරක්ද?..........’ කියලා.

පොඩි මහත්තයා කඩ මංඩියේ ජයට වෙළදාං කොරන ගරු සරු ඇති වැඩිහිටි මුදලාලියෙක්. ඒ හංදා ලැජ්ජාවත් දෙගුණයි. කොරපු වැඩේ වහං කොරංට වුවමනා හිංදා පොඩි මහත්තයා කියනවා,

‘මම මේ ලොකු හාමුදුරුවො මුණගැහෙංට පංසලට ගොහිං එංට යනවා බං......’ කියලා.

‘හොදයි එහෙනං ගොහිං එංට......’

කියපු කොල්ලො එහෙමම හිටං ඉන්නවා. ඉතිං පොඩි මහත්තයත් කොල්ලංට කිව්වා වගේම, ‘ මුං මග ඇරුනම වතුරට බැහැල හෝද ගන්නව’ කියලා හිතාන මීගම්මන කුඹුරු යායේ ඇළවේල්ල උඩිං කොල්ලංට පේන්ට පංසල පැත්තට යනවා ඇට්ටිංබෙංම.

මී අඔ කැඩිල්ල පැත්තකින් තියපු  ඉළංදාරි ටික පොඩි මහත්තයා පස්සෙං වැටුනා කියමුකො. නොසන්ඩාල කොලු රෑන පස්සෙම්ම එනව. කරන්නට තියෙන ඕනම වැඩේ පැත්තකට දාලා පොඩි මහත්තයා යනවා දැං පන්සල්. දැං ඔන්න හැතැම්මක් විතර ඇවිදං ගියා පංසලට. “බල්ලට හැතැංම නෑ” වගේ ‍සුරාලත් ඒ පස්සෙං යනවා; පොඩි මහත්තයත් එක්ක කතාවටත් වැටෙනවා. කර ගන්ට දෙයක් නැති පොඩි මහත්තයා පන්සලට ගොහිං ලොකු හාමුදුරුවංව විපරං කොරන්ටයි ලෑස්තිය.

සුරාල හෙමිහිට කතාවෙනවා,

‘මේ ඇට්ටිම්බ පස්සෙං දැං පැන්නුවා ඇති’  කියලා. ඊට පස්සෙ සුරා, සද්දෙං මෙහෙම කියනවා,

‘අනේ බොලල්ලා ; පොඩි මහත්තයා ගොහිං හාමුදුරුවො බැහැ දැකලා එයි. මටනං බෑ පන්සල් වත්තට අඩිය තියංට. මොකද බොලව් මට දැනුයි සිහියට ආවේ; මම උදේ එලි බැස්ස විතරයි; හෝදගත්තේ නෑ නෙව බොලව්. මම තවම ඇට්ටිංබෙං.’

ඒ කියලා හිටං කොල්ලො රංචුව මී අඹ ගහ පාළු කරන්ට ගියා.

ඊට පස්සෙනං ගොංගල ළඟ අර සුවඳ ආවේ නෑ බොලව්.

Sunday, September 5, 2010

ඉළංදාරි සුරාට ඇබැද්දියක්



      සුරා ගුරුන්නාන්සේ නිකංම සුරා කාලේ ඒ කියන්නේ ඉලංදාරි ගැටයා සංදි‍යේ හොද කෙළිකාරයා.හොද හොද සෙල්ලං දාලත් තියෙනවා, හොද හොද සෙල්ලං සිද්ද වෙලත් තියෙනවා. ඔය කොයි ‍කොයි කෙළියෙත් අහ පුරුද්ද, දැක පුරුද්ද, කර පුරුද්ද ඔක්කොම මිනිහට තියෙනවා. පුංචි පැලේ ගහ වෙද්දි ලාමක ගතිය ඇරිලා ගියාට සමහර  කරුණු කාරණාවලදි  සුරාට “ඩෝං” ගිය වෙලාවලුත් නැත්තෙම නැහැ නෙවේ. ඒවත් දැනගංට ලැබෙයි පස්සෙං පහු කතා ටික කියවං යද්දි. ඒ ඔක්කොම පැත්තකිං තියලා ඉළංදාරි කාලේ සුරාට වෙච්චි ඇබැද්දියක් කියවලා බලමුකෝ. මේක සිද්දවෙලා තියෙන්නේ හෙම්මාතගම කඩෙං පරිප්පු ගේංට ගිය වෙලාවක.

     සුරාගේ මෑණියෝ ලොකු චීත්ත රෙද්දක් ගෙනාවා මල් වැටිච්ච. ඉතිං ඒ කාලේ දැං වගේ බඩු දාන යංට කඩවලිං සිලිං බිලිං මලු දෙන්නේ නැහැ නොවැ. ඒක හංදා උන්දෑ චීත්තෙං කෑල්ලක් කපලා අරං ටිකක් ලොකුවට මැහුව කොට්ට උරයකුත්, කඩෙං අඩුවැඩිය අරං දාගෙන එන්ට කියලා.

      දැං ඉතිං කඩේට, සම්පකාරෙට අඩු වැඩිය ගේන්ට කවුරු ගියත් සුරාලගෙ ගෙදරිං, ඒත් එක්ක කොට්ට උරෙත් යනවා. ඕං ඉතිං දවසක් සුරාගේ මෑණියංට හිතෙනවා කොල්ලංට බතට පරිප්පු ටිකක් උයල දෙංට. උංදැට එහෙම හිතුනේ මීරුප්පෙ ගෙදර දානෙට හදලා තිබුන පරිප්පු වැංජනේ කාලා. ඒක කෑවට ඒ රස මතක්වෙද්දි පපුව හෝස් ගානවා උන්දැගේ. මං කෑවට කොල්ලංට කන්ට ලැබුනෙ නෑ නොවැ කියලා. කොල්ලංටත් පරිප්පු වෑංජනයක් හදලා දෙන්ට ඇත්නං කියලා සල්ලි ටිකක් හොයා ගත්ත උන්දෑ දවසක්  සුරාට කියනවා.

‘ලොකු එකෝ කඩ මංඩියෙං පරිප්පු රාත්තලක් අරං වරකො. උඹලට තම්බල දෙන්ට. කොට්ට උරෙත් අරං පලයං.’  කියලා සල්ලිත් දුන්නා.

‘හොදයි, අපෙ අම්මා’

කියලා ගෙදර පිනි වැලේ තිබ්බ අර කොට්ට උරෙත් අකුලං සුරා ගොහිං හිට ගත්තේ හෙම්මාතගම කඩේ. මුදලාලිට පරිප්පු රාත්තලකට සල්ලි දීලා සුරා අකුලං හිටපු කොට්ට උරේ කට ඇල්ලුවා තරාදිය ළගට,

‘හා මේකට දාංට’ කියලා

බඩු කිරන හාදයා, තරාදියෙං කොට්ට උරේ කටට හලපු පරිප්පු රාත්තල උරේ අඩි‍යෙං දෙපැත්තට ගියෙ නැතෑ

“සොරෝ...ස් ”       සද්දෙට පොළොව පුරාම. මොකද බොළ මේ වුනේ කියලා අංදුං කුංදුං වෙච්ච ඉළන්දාරි සුරා කොට්ට උරේ උඩට අල්ලලා, වපර ඇහැත් කරකවලා, බැලිංනං ඒක ඉස්තිරියක්ගේ යට ඇදුමක් නෙවැ.

       පොළොව පලං යංට තරං, විලි ලැජ්ජාවෙං ඇඹරුන සුරාට තේරුං ගියා අම්මගේ චීත්තෙං කෑල්ලක් අරං සහෝදරී ජංගියක් මහගෙන විත්තිය. සුරා කොට්ට උරේ කියලා වැරදිලා අකුලං ගොහිං තියෙන්නේ පිනි වැලේ තිබ්බ බාල සහෝදරිගේ ඒ ජංගි කොටේ. ඒක බාල සහෝදරී වුන මැණිකගෙම කියල ටක්කෙටම හිතව්වේ ඒකෙ ප්‍රමානෙං. එදානං කඩ මංඩිය මැදිං සුරා ඉස්තිරියක්ගේ යට ඇදුමත් උස්සං ගෙදරම දිව්වෙ වටේ හිටපු උං ‘හූ’ තියද්දිමයි. කාලයක් යනකංම කොල්ලො කුරුට්ටො වහංවෙලා ඉදලා සුරාට,

 ‘මැණිකා ගෙදරද..............?’

කියන්ට ගත්තු එක සුරාගෙ හිතට අලි වදයක් වෙලා තිබුනා ඕං.

Thursday, September 2, 2010

ගුරුන්නාංසෙගේ නඩු විසදිල්ල.


    සුරා ගුරුන්නාන්සේට දරුවෝ පස් දෙනයි. වැඩිමහල් කොල්ලො ‍තුන්දෙනයි. බාල කෙල්ලො දෙන්නයි. මේ කියන්ට යන වැඩේ වුනේ උං පොඩි එවුං සන්දියේ.  ලොකු කොල්ලට කිවේ ලොක්කා. බාල කොල්ලා බාලේ. ඒ දෙන්නට මැද කොල්ලා මද්දු. ලොකු කෙල්ලට කීවේ ලොකූ. පොඩි එකීට කීවේ පොඩී. කාටත් අදුර ගන්ට ලේසියි. පහසුයි. හරිම තාර්කිකයි. මුන් ටික ඉතිං එකෙකුට එකෙක් කිරි පැණි වගේ තමයි.  හරියට සාත්තුවට පාවිච්චි නොකලොත් ඉතිං කිරි පැණිත් හිටපු හැටියේ නරක්වෙනවනේ. ඉතිං මුන් අතරෙත් ලොකු පොඩි රණ්ඩු සරුවල් ඇති නොවුනම නෙවෙයි.බේරන්ට බැරිම පැටලවිල්ල තිබුනේ ලොක්කයි මද්දුමයයි අතරේ. හැමදාම දිනන්නෙ ලොක්කා. ඒත් ඇදගන්නේ මද්දුමයා. නමුත් ගුරුන්නාංසෙගේ මායියට මේවා විසදංට තියා උංගේ අප්පට කියන්ටවත්; නිකමටවත් හිතුනේ නැහැ.පොඩි උංගේ පොඩි පොඩි ආරවුල් නෙව. ටික වෙලාවකින් උං හිටියා වගේමයි.

    ටික දොහක් යද්දි මුන් දෙන්නගේ පැටලිල්ල මෝරන්ට ගත්ත. පුරුදු විදිහටම ඇදගන්නේ මද්දුවා. නාන්නෙත් මද්දුවා. ලොක්කා හැමදාම තලනවා උට මදි නොකියන්ට. සුරා ගුරුන්නාංසේ දවසක් ගෙදර එද්දි  මද්දුවා අඬාගෙන ඉස්සරහට දුවං ආවා.

      ‘අප්පච්චී ලොක්කා ගැහුවා....................’ කියාගෙන.

ගුරුන්නාංසේ පිංවපරෙ අස්සෙං ඌ දිහා බලලා හිටං හිනාවුනා. එච්චරයි.

     පහුවදාත් මද්දුවා ලොක්කා එක්ක හටං කොරන්ට ගියා. එදත් පරාදයි. එදත් හවහ ගෙදර එන ගුරුන්නාංසෙගේ ඉස්සරහට ඇවිත් මද්දුවා පැමිණිලි කොළා. ඒත් අප්පගේ කළබලයක් නැහැ.එදත් හිනාවුනා.

     දැං ඊට පහුවෙනිදා. තුංවෙනි දවස. පැටලිල්ලක් දා ගත්ත මද්දුමයා එදත් කෑව ලොක්කගෙන් බඩ කට පුරෝලා. රිදෙන්ටම. හෙන්දිරික්කා මල් පිපෙද්දි පිඹින්ට ගත්ත හොරණෑව, මද්දුවා නවත්තන්නෙම නැතුව හූ තිය තියා අඬනවා. ගුරුන්නාංසෙට ගෙට හූවක් දුරින් තියෙන ඇකිරියේ ගෙවල් දිහායින් එද්දිම ඇහුනා. දැන් ගුරුන්නාංසෙට මැවිලා පේනවා තුංවෙනි දවසටත් මද්දුවා නඩුව කියන්ට පෙරමඟට එන තාලේ.

    ගුරුන්නාංසේ කල්පනා කොරනවා දැන්නං මුංගේ ආරෝව විසදංට කාලේ. නැත්තං මුං ජම්මාන්තර වයිරක්කාරයො වෙන විත්තිය. ගුරුන්නාංසෙට  ඒ වෙද්දිත් ඉව වැටිලා තිබුනේ පැටලිල්ලට මුල මද්දුවා කියන එක. ඒ වගේම  උට ලොක්කා එක්ක පැටලෙන්ට කුරුළුබෙට්ටත් සෑහෙන නිමිත්තක් වග.

හිතුවා වගේම පඩියෙං මිදුලට ගොඩවුනා විතරයි මද්දුවා පෙරමඟට ආවා හූ තියාන උඩ පැනගෙන. වල්ගේ මිරිකපු ගොනා වගේ.

       ‘අප්පච්චී............ ලොක්කා ගැහුවා............’  කියාන

    ගුරුන්නාංසේ අයිය මලෝගේ පැටලිල්ල සදාකාලිකවම නතර කොරන්ට ඉටා ගත්තා. දැං ඉතිං සුරා ගුරා දාංටයි තනන්නේ සම්‍යක් ප්‍රයෝගයක් පොඩි උංට තේරෙන බාසාවෙං. මේක දිහා වත්තේ මායිමටවෙන්ට බලං හිටපු ලොක්කා අප්පා වටේට ඇහැ කරකන විත්තිය දැණුන ගමං වහං වුනා. දැං වට පිටාවේ මොකෙක්වත් පේන්ට නැහැ.

    ගුරුන්නාංසේ බෝම බියෙං සැකෙං වටපිට බලලා මද්දුවාට ළගට කතා ‍කළා. ළගට ආපු මද්දුවාටවත්  නෑහෙන ගානට ආයෙත්,

     ‘මෙහාට වරෙං මද්දුවෝ.......ළගටම වර’       කියලා තවත් ළගට ගත්තා.

     දැං අප්පගේ නාඩි වැටෙන සද්දෙත් පුතාට ඇහෙන තරං කිට්ටුවෙං දෙන්නා. දැන් මුන්දෑ ආයෙත් වටපිට ඇස් යවනවා බෝම සැකෙං. ඒ කරලා හිටං බෝම හිමිං, සැකෙන් බියෙං වචන බර කරලා මද්දුවාගෙං අහනවා.

     ‘හැබෑටම මද්දුවො.... උඹට ලොක්කා ගැහැව්වද.’

     කිතුල් ගහක් වගේ හිටපු අප්ප පුවක් ගහක් වගේ වෙනස්වෙලා කතාකොරන වගක් මද්දුවාට තේරුනා. අප්ප මෙච්චර බයාදුවට අසරණ වුනු දවසක් මද්දුවා කවදාවත් දැකලා නැහැ. අප්පගේ වෙනස්වීම දැක්ක මද්දුවා  ‘ඔව්’ කියනවා වෙනුවට  ඔළුව හෙල්ලුවා.


ගුරුන්නාංසේ ආයෙත් අර සුවරෙංම කියනවා,

    ‘මේ මද්දුවො......මයේ පුතේ, ඔය ලොක්කා මහ වසවර්තියා. මං උඹට හිංදා කියන්නේ. උඹ කා....ටවත් කියංට එපා මේක. උඹ ඕකත් එක්ක ආයෙවත් හැප්පෙන්ට යංට එපා. උඹ දන්නවද ඇයි කියලා? උඹට විතරක් නෙවෙයි දවසක් ඕකා මටත් ගැහුවා.’

        මේක අහපු මද්දුවා ආයෙනං ලොක්කට හයිරං දාංට ගියේ නෑ