Saturday, January 15, 2011

වැහි අස්සේ මොන රස කතාද එක අතකට




වැස්ස වළාහක දෙයියංට මොන වරදක් වුනාටද මංදා හැබෑවටම මෙහෙව් වැස්සක්. ඉස්සරනං මේ කාලෙ හීතල දුරුත්ත. රෑ එළිවෙනකං වකුටුවෙලා පටලං වැඩක් පළක් කොරලා නිදාගෙන ඉදලා හිටං දවල්ට හේනේ කුඹුරෙ වැඩක් පොළක් කොරනවා බෝම අගේට. ඊයේ වෙනකම්ම තිවුන හීතලේ හැටියට දවල්ටත් පටලං ගුළි වෙලා නිදා ගංටමයි හිතෙංනේ වැඩක් පොළක් නොකරම. ‍මේ දැණුත් මේ පළාතේ ගහ කොළ නිකං ‘නයා මැරුණු අහිකුංටකයෝ’ ගානයි. බුම්ම ගත්තු ගමං. ඒ මදිවට මන්දාරම.

පහු ගිය දවස්වල සොබාදර්මේ කණපිට හැරුණ අංදම හංදා ‍බොලොග් ලියනවා තියා කියවංටවත් බැරි වුනා නෙව. ඒ කොහොම වුනත් ‘රසකතා’ කියලා හංවඩුවක් දානවා කියලා හිටං පෝස්ටුවක් දැම්මට මේ  වෙලා තියෙන සංගදිය එක්කං මොන රස කතාද කියලා හිතුනා හැබෑටම. ඒක හිංදම ‘මූණ එක්ක තරහ අවුදිං නාසේ කපා ගන්නවා’ කියැංනැහේ මකලා දැම්ම ඒ පොස්ටුව. ඒ ගැන කියලා හිටං ලාංකීය සිතුවිලි ඇත්තංටනං මං පයිංඩෙකුත් තිබ්බා.

ඒත් බොලව් මේ පැත්තේ තවම වරුසාව. මංදාරම.

ගේ දොර කැඩිච්ච විනාශ වෙච්චි, ජීවිතේ අහිමි වුනු, අවදානමට අහු වෙච්චි මිනිසු අස්සේ එක අතකට මොන රස කතාද නොහිතෙනවනං, මං මේ පොළොවේ එකෙක් වෙංට බැහැ නෙව. ඒ කොහොම වුනත් උංදැලා කීප දෙනෙකුට හරි සහනයක් වෙංට අබ ඇටයක් හරි තරමට හරි ගැමියත් අනුමෝදං වුනා. ඉස්සරහටත් වෙංටයි සූජානම.

මං හිතංනේ ආපදා තත්වෙ හංදා ලියන එක පරක්කු වෙනවයි කිව්ව එකට කොමෙන්තු දාපු සිතුවිලි මංඩිය, නවං මාවත, පුතාට හෙම උත්තරේකුත් ලැබෙංට ඇති මේ පෝස්ටුවෙං.

ඇතිවුන ආපදා තත්වේ තවම පහවෙලානං නැහැ. ඒවටත් කොහොම හරි මූන‍ දෙංට හිත දැඩි කොර ගත්තා. මේ තත්වෙට මූණපාපු  අපෙ ඇත්තංට ඉස්සරහටත් මොනවා හරි උදව්වක් කොරංටත් එක්කම. මං හිතංනෙ බොලොග් කරුවො හැමෝටම එකතුවෙලා මෙහෙව් ආපදාවංවලදී මිනිස්සු වෙනුවෙං මැදිහත් වෙංට කිරමයක් තියෙනවනං ඒකත් බෝම සද් කිරියාවක් වෙයි ආයේ සැකයක් නෑ ආයිබොවං.

ඒ කොහොම වුනත් හෙට උදේම කියවංට පුලුවං වෙයි ‘රසකතා’ කියන අලුත් හංවඩුව මේ වැහි අස්සේ සිද්දවුන කතාවකිංම ඕං.