Thursday, March 10, 2011

හිත ගිය හිගුරු මල


පිංචි එතනා මළ පොතේ අකුරක් අදුරගෙන හිටං සද්ද කොරලා කියංට බැරි එකී වෙච්චි. ඒ වුනාට පිංචි එතනට ඇලේ දොළේ, ගහේ වැලේ, කැලේ, මලේ, සතා සීපාවගේ, රැහැයි නාදේ, හාතියල් වෙල් යායේ රැව් දුංන කුරුළු නාදේ, අව් කාස්ටකේ, වරුසාවේ, දූවිලි පුසුබේ විතරක් නෙවෙයි මෙකී නොකී  හැම තැනම  අකුරු වෙලා තිව්න කංදක් තරං දේවල් පපු කැනත්තට වැටහෙන විදිය බෝම තේරුං කොරලා කියව ගංට  සුවල්ප වැටහීමක් නෙවෙයිලු තිවුනේ ඕං. ආයිබොවං ඒ විතරක් යෑ. ඒ හැම දේම බෝම අගේට කවි කොරලා හිටං තාලෙට කියංටත් පිංචි බෝම දස්සයිලු. ඉතිං මේ කවිකාරිට බෝම මනාප වෙලා හිටං ලංදෙ දෙවැටේ පිංචිගේ හිත ගංට කියලා ගොං පස් අල්ලංට වගේ උංදෑ පස්සෙ වැටුනේ කවුද දංනවද ආයිබොවං. ඒ කාලේ ගමේ ඉස්කොලේ උංනු ලොකු ලොකු ඉස්කෝලේ මහත්තැංලු.

කොයි තරංනං දැනමුත්තෙක් වුනත් පිංචි එතනා ඒකිගෙ ආලවංතකම එහෙම ලේසියෙං පුදංට ගොහිං නෑල්ලු බොලල්ලා ලොකු ඉස්කෝලේ මහත්තැංට.

මේ කාලේ තමයි පිංවත්තේ ඉස්කෝලේ බෝම ජයට තිව්න කාලේ. කංනංගර මහත්තැං මද්ය විද්යාලෙ හදංට කලියෙං.

උඔ වගෙ එකෙක් ගමේ හදලා ආයෙත් මෙහෙ වරෙං

කියලා හිට තමයිලු ඒ කාලේ ‍සිදාදියෙං ඉස්කොලේ මහත්තැංලා ගමේ ඉස්කෝලවලට එවංනෙ. ඒ කියංනෙ, ඒ වගේම දැනුමැත්තෙක් ගමේ හදංට  කියන එකලු. හිතාපල්ලකෝ ඒ චිංතනේ කොයතරංනං උත්කුරුස්ටද කියලා හිටං. මේක වැරදියට ‍උච්චාරනේ කොරලා වෙන නොසංඩාලකං කොරාපු ගුරාලත් ඒ සංදියෙ උංනලු. මොකෑ තමං වගේ දැනමුත්තෙක් ගමේ හදංට ආව ගුරාලා තමං වගේ රූප සොභාවෙ උං තනලා හිටං පැදුරටත් නොකියා යංට ගිය කතා පිංචි දංන හිංදා.  ඒක ඒම වැරදියට තේරුං ගත්ත සමහර උං ගමේ බිංන බැස්සලු. ඔය මේ ගමෙත් සමහර තැංවල දැනුත් ඉංනේ එහෙව් ගුරාලා හැරමිටියට බර දීගෙන හිටං.

මෙහෙව් දේවල් මට කියලා දෙංනෙ මීරුප්පෙ මාම නෙව. මේව ඉතිං උංදැගේ ඉස්මරනේ අවුස්සලා, අල්ලසට බුලත්විටක් හෙම දීලා විතරක් යෑ ඒක වංගෙඩියේ කොටලත් දීලා එලියට ගත්තු දේවල් ඕංන. මීරුප්පෙ මාමා කියව්වේ පිංචි එතනා උංමාද චිත්තරා වගේ කියල හිටං. උංදැත් දැං වයසයි නොවැ සමහර විට උංමාද චිත්තරා දැකලත් ඇති. ඒ තරමට වයසයි උංදැටත්. ඒත් ඔය කීව කවියට  සීපදේට බෝම දස්ස හිටිවන කවිකාරි වෙච්චි පිංචි එතනා කෙනෙක්නං හැරමිටියෙං යනවවත් මංනං මේ ගං තුලානේ කවදාවත් දැකලා නෑ සත්තකයි ආයිබොවං.

ඔංන ඉතිං කතාවෙං ලංවෙංට බැරිවුනු සෙනේවංතකමට  පිංචිට තේරුං යන සීපදෙංම තේරුං කොරලා දෙංට තමයි දැංලොකු ඉස්කෝලේ මහත්තැං උත්සහ කොරංනේ. ඔංන දවසක්දා තනිපංගලමෙ ඇස්සර ගැටිච්චි පිංචි එතනට සිදාදියෙං ආව ලොකු ඉස්කෝලේ මහත්තැං  ඒ ගං තුලානේ සිරියාව පිංචිට ආදේස කොරල හිටං මෙහෙව් සී පදයක් කියනවලු,

හිගුරු මලයි පතනට දෙංනේ                 පිරිය
තිසරු සරයි විල මත පෙංනා                  සිරිය
සඳරු මවයි මුව මත මැවෙනා                සිරිය
බමරු පතයි අවසර රොං සුව                 රිසිය 

ඕක තාලෙට කියල හිට මීරුප්පෙ මාමා මට කියනවා,

පිංචිට ආගංතුක දෙයක් යෑ බොල කයිය, ඊට පස්සෙං පහු ඒකිත් කියාපි මේම
                                             
හිගුරු පෙති හළා පතනේ යාය            පුරා
තිසරු තටු හැලී විල මත හිදී                 බලා
සදරු මුහුන සගවයි කෙළවරේ            වළා
බමරු කුමට රොං උරනා පියුම්             තලා

ඒකෙං කියවෙලා තියෙංනේ සිදාදියෙං ආව ඇත්තංට සෙනෙහෙ පුදල ගමේ ගෑනූ වළේ වැටුනු හැටිලු
                                                       
තමං එහෙව් නොසංඩාල වැඩ නොකරන විත්තියත්, පිංචිට හැබෑවටම මනාප විත්තියත් තේරුං බේරුං කොරංට ඊට පස්සෙං පහු ලොකු ඉස්කෝලෙ මහත්තැං කියලා තියෙංනෙ මෙංන මේ සී පදේ,

හිගුරු මල සුවද නැහැයට        දැනෙනවනං
තිසරු විල රන දෑ‍හට          පෙනෙනවනං
රු  මුව සුවය  හිත කිති          කවනවනං
බමරු දුරිං ඉද රොං ‍බොන              ඕනතරං

ඒ ටික කණේ වැටුනට පස්සෙං පහු පිංචි බෝම පැහැදුනාලු නෙව ඉස්කෝලෙ මහත්තැංට. එදා ඉදං ඒ ආලවංතකම ලියලංට ගත්තලු. ආයිබොවංට මං කීව නෙව කමවදාකවත් මං පිංචි කෙනෙක් ගමේ දැකල නැති විත්තියක්. මං ඉතිං ඇහුවා මාමංඩියාගෙං,

මාමංඩි දැං ඉතිං ඒ පිංචි කොයි කියලා හිට.
උංදෑ කියාපි,

ලොකු ඉස්කොලෙ මහත්තැං කැටුං දීගතල ගියෑයිං පහු  මාත් නොදැක්ක එකී;  තෝ වගේ කජුකිරි කොල්ලංට කොහෙ ඇස්සර ගැටෙංටද බොල?

2 comments:

අනුෂ්ක තිලකරත්න said...

මට අදටත් පුදුම වගේම ලොකු ගෞරවයක් ආදරයක් හිතෙන්න ඉස්සර අපේ මිනිස්සුන්ගේ මේ කවි කමට. මළපොතේ අකුරක් නොදන්න අයත් උපමා අලංකාර ඇතුව මෙහෙම කවි කිව්වේ කොහොමද කියල හිතා ගන්න අමාරුයි. අද උපාධි 10ක් ගැහුවත් මෙහෙම ලස්සන හිටිවන කවි කාරයො බිහිවෙයිද?

Siribiris said...

හරිම ලස්සන කතාවක් මේවා පරණ පරම්පරාවත් එක්ක වැලලියා යා නොදී මහෙම අපත් එක්ක බෙදාගන්නවට බොහොම පිං. අර කීවැගෙ මේ කයි ටික නං පංකාදුයි, මලේ.