Tuesday, February 1, 2011

ආලෙං මත්වුන බාලේ

වයසට නොගැලපෙන උංගේ ආස්සරේට වැටිලා අමාරුවේ වැටුන සුරාගේ බාල කොල්ල‍ ගැන මතකයි නෙව. අමතකනං තද කොරහල්ලා මෙතන.  ඉතිං මේ බාලේ  දැං ඉලංදාරියා වේගෙන එනවා. මේ ඉළංදාරි වයසට සමහර උං කීවේ “කොල්ලා බල්ල වෙන කාලේ” කියලයි ඕං. මේ කාලෙට ඉතිං කියංට තරමේ අසනීපයක් ඇති එකෙක් නෙවේනං හෙම, කොයි එකාගෙත් හිත්වල ආලවංතකං ලියලනවා. මෙහෙව් ඉළංදාරි ගොං ඉතිං පොල් පැල දිහාවට හැරෙංට ගංනවා නෙව.   ඕං ඉතිං දැං බාලෙටත් ගැහුව මදන විසේ. එ‍්ම කීවාම කාටත් තේරුං ගංට පාසුයි‍ නෙව.  වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිවම බාලේ, “හිත ගිය තැන මාළිගාව” කියලා හිටං තෝරා ගත්ත කියමුකො එගොඩ ගමෙං ඉස්කෝලෙට ආව කෙල්ලක්ව. ඒකිගෙ නම ලලිතා. දැං ඉතිං බාලේ මේ දැරිවිට පේංට ඉගි බිගි පානවා. ආලවට්ටං දානවා, මේ විදිහට ලීලේ පාංට ගත්තා තමංගෙ හිතේ තියෙන ලෙංගතුකම ඒ දැරිවිට පෙංනංට. ඒත් බොලව් මේ දැරිවි ඒම පාසුවෙං නම්ම ගංට පුළුවං එකියක් නෙවේ ඕං. බාලේ සෙනේ පානකොට මේ දැරිවි පෙනේ පාංට ගංනවා, ගස්සනවා, රවනවා, ඒ විතරක් යැ බණිංටත් ගත්තා. 


ඉතිං මේ දැරිවිගේ හිතේ තිව්ණේ කොහොමිං කොහොම හරි විභාග පාස් කොරලා හිටං අම්මා අප්පටත් නම්බුවක් වෙන විදිහේ රස්සාවක් හොයා ගංට විනා පරස්තාවම නෙවේ ඕං. දැං ඉතිං ඉස්කෝලෙයි, දෙවැටෙයි කංදෙයි, ලංදෙයි හැම තැනම ඉදං මේ දැරිවිගෙ හිත ගංට බාලේ කොරන විකාර මේකිට දැං වදයක් වෙච්චි. ඒ විතරක් යෑ ඉස්කෝලේ මේකි යන එන හැම තැනම මේකා වහං වෙවී යංට ගත්තා බොලව්. මුංගේ ඉස්කොලේ වැසිකිලිය තිව්නෙ ඈත ලංදක් දිහාවට වෙංට. ලලිතා දොට්ට පිළට ගියත් මූ ලංදෙ වහං වෙලා අහලිංම ඉදලා තියෙනවා නෙව හැබෑටම. සමහර දවස්වල කාටත් හොරෙං හවහට ආයෙත් ඉස්කෝලෙට අවුදිං ලලිතගෙ පුටුවේ වාඩි වෙලා ඉංනවා.

එක අතකිං ඉගනීම කඩාකප්පල්වෙනව. ඒ මදිවට මේකි බාලෙට වැඩි මනාපෙකුත් නෑ. අනික් අතට ලොකු ඉස්කෝලෙ මහත්තයට මේවා ආරංචි උනොත් හෙම ඉස්කෝලෙමුත් දොට්ට දානවා සිකුරුයි. මීට කලියෙං එහෙම දේවල් ලොකු ඉස්කොලෙ මහත්තැං කොරලා තියනවලු ඉස්සර උංන තැංවලදී.

ඒ හංදා ලලිතගේ හිතේ වැඩියෙංම බය තිව්නේ ඉස්කෝලෙං දොට්ට දායි කියල කීවොත් වරදක්ම නෑ. දැං ලලිතට ඕනෙ බාලෙගෙ කරදරෙං  ගැලවෙංට. ඒ හංද මේකි මේ පලහිලව්ව ඉස්කොලේ හාමිනේ කෙනෙකුට කියපි. නිකං නෙවේ අඬ අඬා.

‘අනේ ඉස්කොලේ හාමිනේ මේ කරදරේ හංදා මාව ලොකු ඉස්කෝලේ මහත්තයා ඉස්කොලෙමුත් දොට්ටදාවි’

කියලා හිටං අඬංට ගත්තා. ලලිතත් ඉතිං ඉස්කෝලේ හොද දැරිවියක්. ඉගන ගංටත් මනාපයි. ඒ හංදා ඉස්කෝලෙ හාමිනෙත් ලලිතට මනාපයි.

ඉතිං ඉස්කොලෙ හාමිනේ දැං මේක ලොකු ඉස්කොලෙ මහත්තැංගෙ කණේ නොවැටෙන විදිහට විසදංටයි ලක ලෑස්තිය. මොකෑ මේවා නියපොත්තෙං කඩලා දැම්මාම ලේසියි. පොරවෙං කොටංට තියා ගංනවට වඩා. දැං ඉතිං මේ උංදෑ බාලෙයි, ලලිතයි  ගෙංන ගත්තා ඉස්කෝලේ කවුරුවත් නැති ඉසව්වකට. බාලෙට ඉතිං සිද්ද වෙංට යන දේ හිතා ගංට පුළුවං වෙච්චි. බාලෙට දැං ලලිතා ගැන තරහත් එක්කලා. දැං ඉස්කෝලේ හාමිනේ නඩුව විසදනවා, දකුණු අතේ තඩි පොල්ලකුත් තියෙනවා. ලලිතා බයවෙලා ඉංනෙ ඉස්කොලෙං දොට්ට දායි කියලා නෙව. ඉස්කෝලේ හාමිනේ බාලෙගෙං අහනවා;

‘මේ ලලිතා උඹේ නොසංඩාල වැඩවලට බයවෙලා ඉංනෙ ඇයි කියලා උඹ දංනවද බූරුවා.’

කියලා හිටං. මූ අර සමාජ ආස්සරෙං උත්තර දෙන එකා නෙව.  මූට මතක් වුනේ එහෙම එකක්. බාලේ බෝම ගරු සරුව කියනවා,

‘එහෙමයි මම දංනවා ඉස්කොලේ හාමිනේ, ඒත් මගෙං ඒම දෙයක් දැංම සත්තකටම වෙංනෙ නෑ ලලිතා’

කියලා. මේ හතර බීරි කතාව ඉස්කොලේ හාමිනේටවත් ලලිතටවත් තේරුං ගියෙ නෑ නෙව. ඉස්කෝලේ හාමිනේට මේක දැනගංටත් ඕනේ. ඒ හංදා කියාපි මේ විදිහට,

‘කියාපිය බලංට උඹම, ඔය කීව කතාව තේරුං කොරලා ආයෙත් සැරයක්’ කියලා බෝම කෝපාවිස්ට වෙලා හිටං.

ආයෙ දෙකක් නෑ දකුණු අතේ තියෙන පොල්ලෙං කනවට වැඩිය හොදයි මම දංන දේ කියන එක කියලා හිතපු බාලේ කියනවා

‘ඉතිං මං ලලිතට කීවා යෑ දැංම දීගෙක යං කියලා හිටං

‍බාලේ දුංනු උත්තරෙං ඉස්කොලේ හාමිනේට කියාගංට බැරිතරං ලැජ්ජා හිතුනා. ඒත් එක්කම නහුතෙට තදවුනා. ඒ හිංදා තරහෙං පුපුර පුපුර වෙව්ලන ගමං ඉස්කෝලේ හාමිනේ වං අතෙං බාලෙගෙ දකුණු කණ ඇඹරුවා, බාලෙට මූත්තරා වෙන ගානට. මොකෑ, ඉස්කොලේ හාමිනේ හිතව්වේ ලලිතගේ ඉස්කෝලෙ ගමනත් මේකගෙ වැඩ හංදා නතර වෙයි කියලයි. ලලිතා බය වුනෙත් ඒක නිසාවෙං නෙව. මේකගේ තියෙන නොසංඩාලකමට මේකා හිතංනේ වෙන කුණුහරුපයක්. ඉස්කොලේ හාමිනේ බාලෙගෙං  බලාපොරොත්තු වුනේ මේවා ලොකු ඉස්කොලේ මහත්තැංගේ කණ වැටුනොතිං හෙම ලලිතා ඉස්කොලෙං දොට්ට දායි කියන එක. බාලේ දීපූ උත්තරෙං පස්සේ දැණුන ලැජ්ජාවත් එක්කලා ඉස්කොලේ හාමිනේ අංදුං කුංදුං වුනා, ඒ හිංදම කියංට ඕනෙ මොනවද කියලත් අමතක වෙච්චි. ඒත් එක්කම  හිතේ තිබ්බ දේ බාලෙට කිව්වට මොකෑ ඒක කියවුනේ සමහර වචන නැතුව  බාගෙට.


ඉතිං බාලේ දංනවායෑ ඒකෙ වගක්. ඉස්කෝලේ හාමිනේ වචන අඩුවෙං කියාපු පද ටික   ඊළගට  ඇහුනම බාලෙට මතක් වුනේ වෙන දෙයක්. අංදුං කුංදුං වෙච්චි ඉස්කොලේ හාමිනේට ඊළගට කියවුනේ මෙහෙමයි,

‘මම අහන්නේ බූරුවො, උඹ දංනවා නෙවෙද, ලලිතා දොට්ට දැම්මහම මොකද වෙංනෙ කියලා හිටං

මොකද මේ දැරිවිගෙ ඉගෙනීම කඩා කප්පල් වෙනවා නෙව. ඉස්කොලෙ හාමිනේ හිතංනෙ ඒක නෙව. 'ලලිතා ඉස්කෝලෙං දොට්ට දැම්මහම මොකද වෙංනෙ' කියලා හිටං අහංට හිතුවට ඉස්කොලෙ හාමිනේට කියවුනේ "ඉස්කෝලෙං" කියන පදේ නැතුවයි. 

මේක ඇහුණ ගමං බාලෙට කණ අඹරපු එක අමතක වුනා. තරු පෙනුනා. හීං දාඩිය දැම්මා. මොකද බොලල්ලා  මේකා හිතුවෙ ලලිතා දොට්ට දාංට ගියාම මේකා හොරෙං බලාන හිටපු එකත් ඉස්කොලෙ හාමිනේ දැනගෙනයි කියලා. දැං ඉතිං මේක ලොකු ඉස්කෝලේ මහත්තයා දැන ගත්තෝතිං හෙම විසුමක් වෙංනෙ නැතිවග බාලෙට හිතුනා. ඊට පස්සෙ සිද්ද වෙංට පුලුවං දේවල් බාලෙට සුටුස් ගාද්දිං මැවිලා පෙනුනා. ලලිතා දොට්ට දානවා බැලුව එක දැන ගත්තෝතිං බාලේ ඉස්කෝලෙං දොට්ටදාවි කියලා ඌට හිතුනා. මේක හැමෝම දැනගෙන වහකංට වෙයි කියලා බාලෙගෙ ඉහමොළ රත් වුනා. ඔංන ඔය විදිහට ඉස්කෝලෙ හාමිනේ පද අඩුවෙං කියාපු දේට  කලබල වුනු බාලේ ඉස්කෝලෙ හාමිනේ ඉස්සරහ වැද වැටිලා, බැගෑපත් වෙලා මෙහෙම කිව්වා.


'ලලිතා දොට්ට දාද්දිං මම ඒ අහලිං වහංවෙලා උංන බව හැබෑව. ඒත් මං මොනවාවත්ම දැක්කෙ නෑ ඉස්කෝලෙ හාමිනේ' 

මේ නොසංඩාලයා කියන මොකකවත් අගක් මුලක් නොදංන ඉස්කොලෙ හාමිනේ නඩු විසදිල්ල පැත්තක තියලා, බාලෙට අතේ තිව්න පොල්ලෙං නෙලුවා පිට මැදටම.


ප ලි -  මුල් ලිපිය පළකර පැයකට පමණ පසු සංශෝධනයකට ලක්කරන ලදී.

10 comments:

සෝරෝ said...

හිහ්.........
යකෝ බාලා ෆට්ට ඩයල් එකක් නේ........... :D

Taboo Subjects said...

ඔබ තව පෝඩ්ඩක් භාෂාව පාලනය කරගෙන නැවත ලිව්වොත් හොඳයි කියා හිතෙනවා. කතාවේ වැරද්දක් නිසා නෙවෙයි. ඒ වගේම මා වැනි නාගරිකයකු නම් ඔහොම ලිව්වාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැමි වහරේ අනිවාර්යයෙන්ම තියෙන සංයමය මේ කතාවේදී ගිලිහී ගොහින් තියෙනෙවා. වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ අතාවේ කොටස් ඉවත් කරන්න කියා නෙවෙයි. මේ කියන දේවල්ම තව ටිකක් නිර්මාණශීලීව කියන්න කියලා. ගැමි වහර ඊට ශක්තිමත් බව මා දන්නවා. ඔබ ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. (අර ලූණු තෙල් අබ ඇට කතා නම් අයින් කරන්න. Too gross)

- Taboo

විකී said...

සෝරෝ- ඇත්තටම මගෙ උත්සහය බාලේ හරහා එහෙම චරිතයක් ගොඩ නැගීම.

Taboo - ඔබේ ඉක්මන් දැණුවත් කිරීම පිළිබද ස්තුතියි. දැනට යම් ඉක්මන් සංශෝධනයක් කරන්නම්. අනාගත ප්‍රකාශනයකදී වඩාත් නිවැරදිව සිදුවේවි. මට මේ චරිත ගොඩ නගා ගැනීමට මෙවැනි අදහස් ඉතාමත් අත්‍යාවශ්‍යයි. ඔබට ස්තුතියි.

``` Outsider``` said...

දැන් අලුත් පරපුර භාවිතා නොකලට ගමේ ගොඩේ මිනිස්සු දොට්ට යනව කියල තමයි කියන්නෙ.
නියමයි කතාව..

පිණිබිඳු... said...

වචන එහෙ මෙහෙ උනාම මුලු කතාවක්ම කනපිට හරවන්න පුලුවං

සොඳුරු සිත said...

සමාජ ආස්සරෙන් උත්තර බඳින එක හැම වෙලේටම හරි යන්නෙ නැහැ වගේ...

අපි කොහොමත් ..මොන දේ ඇහුවත්, කියෙවුවත් ගොඩක් වෙලාවට උත්තර දෙන්නෙ තමන්ගෙ හිතෙන් මැනල බලල තියෙන පෙර දන්න කතාවක් එක්ක හරි හිතෙන් අනුමානයට හිතන් ඉන්න කතාවකට හරි මිසක් පැහැදිලිව අහන දේට නෙමෙයි නෙව...

ඉස්කෝල හාමිනේගෙනුත් කලබොලේට වැරදි වෙච්චි, ලලිතා කෙල්ලත් තකහනියෙම හදිස්සි වෙච්චි, බාලෙටම දෙසා බෑව එක වැරදියි නෙව ආයුබෝං ...වු තක්කඩිය වෙච්චි බව හැබෑව. පස්සෙන් පහු ඒකාගෙ හිතේ ආලවට්ටම් මිසක දැරිවිට හදි කරන හිතක් තිබිල නැහැ ඕං...

විකී said...

Outsider - කෙනෙකුට සමහර විට මෙහෙම කියංටත් පුළුවං,

"ගෙදරිං දොට්ට ආවේ, දොට්ට යං නැති එක දොත්තරට කියල බේතක් ගංට"

පිණිබිදු - අහලා තියනවා නේද?

01. තේ වතු රජය පාලනයට ගනී
02. තේ වතුර ජයපාල නයට ගනී

සොදුරු සිත - ඒකනේංනං මස්සිනේ, මේ ඉස්කෝලෙ හාමිනේලයි ලලිතලයි තේරුං ගංනෙම නෑ නෙව බාලෙලාගේ පපුවෙ තියෙන ආලවංතකං.

sithuwilimandiya said...

බාලෙගේ හිතේ තිවුණු ආලවන්තකම පොලුපාරත් එක්කම නැතිවෙලා ගියාද දන්නෙ නෑ.

විකී said...

සි ම ට - පොලු පාරකට පුලුවංද ආයි‍බොවං ආලවංතකමක් මට්ටු කොරංට. පස්සෙං පහු බලමුකො මොකොද වෙංනේ කියලා හිටං.

අනුෂ්ක තිලකරත්න said...

බාලෙ තව ලොකුවෙනකොට වෙන් සීන් කෝන් තමයි මට හිතාගන්න බැරි