Wednesday, November 3, 2010

සැංටිබෝඩ් මහත්තයා එනවෝ.

සුරා ගුරුංනාංසේ දැං වළ පයයි ගොඩ පයයි. වත්තෙං පිටියෙං ආදායං කියලා එහෙමට ඇත්තෙත් නැහැ. අර ලොක්කලා, මද්දුවලා කියල උං හිටියට පවුල් පංසල් වෙලා උනුත් උංගෙ මනාපෙට තමයි ජීවත් වුනේ. සුරාට සරමක් බැනියමක් ගංටවත් ඕනෑකමක් තිවුනේ නැහැ. බොර පැහැ වෙච්ච  ඇදුං “ජංසං ගැරජ්” එකේ “කණ්නාඩි බාස්ගේ” ඇදුංවලටත් වඩා කිලුටයි.  පදුරක් අස්සෙ වහංවෙලා උංනත් “උනහපුලුවා ගිය මග වගේ” සුරා මේ අහලම ඉංන වග පුසුබෙංම අදුන ගංට පුළුවං. ඉතිං බොලව් සුරාට මෙහෙම වෙච්ච එක මහා නස්පැත්තියක් වගේ කාටවත් දැණුනේ නැහැ අමුතුවෙං. හිමිං හිමිං වෙනස්වුන සුරාගේ සුවරූපේ දිහා ඇහැ ගහං බලං උන්නු උං ගමේ හිටියේ නෑ. ගමේ උංට විසදගංට ඊට වැඩිය දේවල් තිවුනා.

ඒ කොහොමිං කොහොම හරි සුරාගේ මේ  ජරාජීරන බව නක්කලේට ගත්ත වුනුත් උංනා. හත් අට පාරට පාරේ ඇණ තියං ඉදලා ගෙදර යන සුරාට බේරෙංටම බැරි විදිහට කොලොප්පං කොලේ 'කොට පාලම' ළග සුගතයගේ කොල්ලෝ දෙංනා. සුගතයත් මහ කමකට නැති නොසංඩාලයෙක්. උගෙ දරුවොත් හදලා නෙවේ, “ගහේ කටු උල්කොරංට ඕංනේ නෑ” කියනවා වගේ හැදිලා උංනේ සුගතයාව ආදුරුසෙට අරං.

සුරා ගෙදර යද්දී හත් අට පොළකම ඇණ තියං ඉදලා ගියාට සුගතයාලගෙ ගේ ලගිං එක හුස්මට යනවා මේ ඇට්ටිබි කොල්ලංගෙං වහංවෙංට තියෙන උවමනාව හිංදම. මෙවුං දෙංන යංතං ඇටෙං පොත්තෙං එළියට ආව විතරයි. කොහෙංදෝ මුං අහුලගත්ත වචනයක් සුරාගේ පෙනුම එක්ක ඈදං කියවංට තියා ගංනවා.

වරුතමානේ මිනිසුංගේ සරිර සුවතාවයට හානි‍කර දේවල් හොයංනේ මහජන සවුක්කිය පරීක්සක මහත්තැං නෙව. ඒ කාලේ ඒක කොරාපු මහත්තැං අදුන්නව්වේ ඇවිල්ලා හිටං “සැංටිබෝඩ් මහත්තයා” කියලා. කිලුටට, අපුලට තියෙන තැං ඇහුගැටුනොත් හෙම මේ මහත්තැංට ආයේ ඒකට වග කියංට ඕනෙ උං වසලා අහවරයි. දඩ පිට දඩ. මේ වෙද්දීං සුරාගෙ පෙනුමත්  බෝම කිලුටයි, අපුලයි. මේක හිංදා අර සුගතයාගේ කොල්ලෝ  සුරා ඇහැ ගැටුන ගමං කියනවා,

‘ඒයි ඔංන සැංටි බෝඩ් මහත්තයා එනවා.’

කියලා හිටං. සුරා බෝම කිලුටු නිසා සැංටි බෝඩ් මහත්තයා දැක්කොත්  අල්ලලා දඩ ගහන බව නෙව මුං මේ අගවව්වේ. මේක සුරාට අලි වදයක් වෙලා නතර කොරගංන මගක් කම්පනා කොර කොරා ඉංන අල්ලපනල්ලේ, සුගතයා මිදුලේ උංනු දාකත් මුං මේ විදියට කියංට පටං ගත්තා. එහෙම කිව්වා විතරක් ද උංගෙ අප්පට පේංටත් එක්කම බැරි බැරි ගාතෙ ඇදෙන සුරාගේ පස්සෙං කොට පාලම දිහාටම පැංනුවා. සුගතයත් උගෙ දරුවංට හොද නරක කියලා දෙනව වෙනුවට කොරේ කට කොට්ටං අයාන විරිත්තං බලාන උංනු එක.

‘ඒයි ඔංන සැංටි බෝඩ් මහත්තයා එනවා.’

කිය කියා පස්සෙං එන ඇට්ටිබි කොල්ලංටයි, උංගෙ අප්පටයි දෙංනටම ඇහෙංට හොද පදයක් කියංට සුරා දැං සැරසුනේ නැතෑ, අත්දෙක පස්සට කරලා බැදං යන ගමන නවත්තලා, බෙල්ල කරකවලා, උගුර හෙම පාදලා ටිකක් උස් සුවරකට කට තනාත. සුරා නැවතුන ගමනට කොල්ලො දෙංනත් නැවතුනා. සුරා දැං සුගතයාටත් ඇහෙංට, කොල්ලංගෙං අහනවා මෙහෙම,

‘ආ..... හැබෑට...... සැංටි බෝඩ් මහත්තයා එනවද.........? එහෙනං උබලගෙ මව්ට කියපල්ලා විගහට ඇද හදලා නාලා එංට කියලා.’

පොඩි උං සුරා කියපු කතාව ලිහා ගංට බැරුව කට බලි අයාන බලං හිටියා. එක පාරටම සුගතයාගේ කට හඩ ඇහුනා බොලව්,  

‘අඩෝ, අඩෝ.....ඕ’

කියලා හිටං. ඒක ගානකටවත් නොගත්ත සුරා ගුරුංනාංසේ මෙහෙමත් කියලා යංට ගියා.

‘හැබැයි, ඇදට කොට්ටෙකුත් දාල හිටං, උඹලා තුංදෙනා එළියට පලයල්ලා ඈ.’

කොට පාලමෙං එගොඩ වෙලා ගොහිං හිටං “බන්නැහැ ගෙදර” ළග කන්දේ පාර අයිනට වෙංට ඇණ තියං උංනු සුරා ගුරුංනාංසේට සුගතයාගේ කොල්ලො දෙංනා විලාප තිය තිය අඩන සද්දේ ඇහුනා බොලව්.