Sunday, January 16, 2011

වැහි අස්සේ පුච්චපු රොටිය

කොහොම නමුත් මේ වැහි අස්සේ ගේ අස්සටම වෙලා ඉදලා හිටං, රාජකාරියකට යංට‍ ලක ලෑස්ති වෙද්දිං සිද්ද වෙච්චි දේකිංම රසකතා පටං ගත්තනං හොදා කියලා හිතුනා ඕං.

පරිසරේ මොක වුනත් අපේ ගෙදර උංදැ බලංනේ උංදැගේ රාජකාරි ටික සීරුවට කොරලා හිටං එකිං එක නිදහස් වෙංටයි. ඉතිං බොලව් ඔයිං උංදැගේ එක රාජකාරියක් තමයි රෙදි හේදිල්ල. දවසේ ඇඳල දැම්ම සරම, කමිසේ, කළිසම, බැනියම මේ කෝකත් ඉක්මනිං හෝදලා වේළලා හිටං අල්මාරියේ දාංට හරි, බෝල කූඩුවේ එල්ලංට හරි තියෙනවනං උංදෑ නිදහස්. මේ වැහි අස්සෙත් ඉතිං උංදෑ රෙදි හේදිල්ල අතනොහැර කොරාය කියමුකො. දංනවා නෙව ඒ වහිංට ගත්තු ගමන තවම ඉර දෙයියො දැක්කෙ නෑ නෙව හරියකට. මට හිතෙන විදිහට ‘නව ඉර බැලීම’ කියලා චාරිත්තරයක් කොරංටත් වේවිද මංදා. එහෙව් එකේ මේ හෝදපු එක රෙදි කෑල්ලක්වත් වේල ගංට ලැබුනේ නෑ හරියකට තාමත්. ඉතිං රාජකාරියකට එලිපෙහෙලියකට ඇදං යංට ඇදුමක් ඕනම නෙව. මුල් දින කීපෙනං කොහොමිං කොහොම හරි අටව ගත්ත. පස්සෙං පහු මේ විදුලි බිලත් වැඩිවෙනවා කියන අල්ල පනල්ලේ වුනත් ඉස්තිරික්කෙට පිං සිද්ද වෙංට තමයි රාජකාරියට ගියේ ඕං. ඔංන ඉතිං මේ වැඩි ඈතක නෙවේ ගිය සවුදා උදේ රාජකාරියට යංටෙයි කියලා හිටං, ඇඳං යංට රාත්තිරියේ මැදලා තියාපු ඇඳුං කෑලි ටික ගත්තා කියමුකො.

කොයි තරං මිළෙං වැඩි උනත් රටේ ලෝකේ එවුංට ඇඳං යද්දිං නොපෙනුනත්, පුරුස පාර්සවේට අත්තියාවස්ය තුං හුලස් ඇදුමක් තියෙනවා නෙව සරමට හරි, කලිසමට නැත්තං, සරම ඇදලා හිටං රිසව් එකටත් යටිං අදින. මගේ අංන ඒවා ඇදං යංට බැරි තරමටම තෙත බරියං වෙලා. ඉතිං අපෙ දිහා ඔය වොසිං මැසිං හෙම නෑ නෙව. වේලා ගංට පුලුවං විදිහේ. දැං ඉතිං විදුලි මීටරේ දිහාව නොබලා මේ තුං හුලස් ඇදුම ඉස්තිරික්කෙංම වේලා ගංට තමයි මම වළි කංනේ. මේක නැතුව පාරේ යනවා බොරු පිරිමියෙක් වුනාම. 

අනේ බොලව්  ඒ පුංචි ඇඳුං කෑල්ල උඩිං ඉස්තිරික්කේ ති‍යනකොට චිරී....ස් කියලා අඩංට ගංනවා, දුං දදා.  ටික වෙලාවක් ඒ සද්දේ ආවා ඉතිං දැං ඒ සද්දේ අහවරයි. ඒත් තෙත බරියං ගතිය එහෙමම හිංදා දැං මං ඒක තවත් මදිනවා දුං දම දමා ඕං. ඒක ඒම දැං සිද්ද වෙනවා.

අපේ ‘කොයිං කුඩම්මා’ බෝම හිත හොද උංදෑ. පාරේ අහළිං යනවනං හෙම අපෙ ගෙදෙට්ටත් ගොඩවෙනවාම තමයි. අපෙ අම්මට,

‘අපෙ අක්කා තේ ඇබිංදක් බොමු ඈ’

කියාගෙන. උංදෑ ඉතිං මොනවා නමුත් කටෙං බඩට යන දෙයක් කියං තමයි ගෙට ගොඩවෙංනේ ඕං. ගෙදෙට්ට ගොඩවෙන කෙනෙකුට වතුර උගුරක් හරි දෙන එක අපිටත් ‘ලොකු තට්ටක්’ හංදා ඒවා ඉල්ලන විදිහටම සිද්ද වෙනවා. සමහර දාක කරෝල කෑල්ලක් තෙල් දාන දවසට මුංදෑ ගෙට ගොඩ වෙංනේ,

‘අපෙ අක්කා කරෝල පුසුඹ අපේ ගේ දිහාවටම ආව. පාං කෑල්ලක් තිබ්බනං හෙම ගෙදෙට්ට වෙලා පුසුඹෙංම කංට පුළුවං ගානයි.’

කියාගෙන.  එදාට ඉතිං කොයිං කුඩංමට අපෙ අම්ම කරෝල එක්ක බත් දෙනවා. එහෙම කීවාම අනිවාරියෙං උංදැට ඒ පංගුව ලැබෙනවාය කියන විස්සාසේ දැං උංදැගේ හිතේ පැලපදියං වෙලා.

ඉතිං බොලව් මේ කියන දවසෙත් උංදෑ ගෙට ගොඩ වෙච්චි. මම කාමරේ වහංවෙලා ‍අර තුං හුලස් ඇදුම මදින ගමං තමයි උංනේ. දැං ඒකේ දුම ගේ පුරාම යනවායි කියමුකෝ. මට ඇහුනා කොයිං කුඩංමා මේම කියාගෙන ගෙට ගොඩ වෙනවා.

‘අපෙ අක්......කා රොටී පුච්චන පුසුම්....බ අ අ අ.  අදනං අපෙ අක්කගෙං රොටියක් කාලා හිටං කහට උගුරක් බොංට පුලුවං මේ නොකල් හීතල අන්තරස්දාන වෙංටම’ කියාගෙන.

‘මොන රොටීද බං’

අපෙ අම්ම අහනවා මට ඇහුනා.එතකොට කොයිං කුඩංමා කියනවා

‘ඇයි ඔය එංනෙ පුසුඹ’ කියලා හිටං.

නොකල් හීතල අන්තරස්දාන වෙංට කොයිං කුඩම්මට කහට කෝප්පයක් දෙන එකනම් අහවල් දෙයක් යෑ. ඒත් රොටිය වගේ කරවෙච්ච මගේ තුං හුලස් ඇඳුම උංදැට දීලා කොහොමද ආයුබොවං.

හැබෑටම ඊට පස්සේ අපෙ අම්ම මොනව කොරා ගත්තද මං දංනෙත් නෑ. අහංට ගියෙත් නෑ.  

8 comments:

පුතා said...

රස කතා නැගල යයි වගේ... ආය කියන්ට අහවල් එකක් නෑ... පට්ටයි ඕං....

raala said...

මෙන්න මෙව්වගේ එව්වනෙ ලියන්ට ඕන.
ආයුබොවං දිගටම කියන්ට.
අපි මග බලාන ඉන්නව ඕං.

sithuwilimandiya said...

එහෙනම් විකීගේ තුන් හුලස් ඇඳුමෙන් එන්නේ රොටී පුසුඹ ඈ.

Beetle said...

කට්ට සම්බෝල ටිකක් වැඩිපුර දාලා ගත්තනං, නරකක් වෙන්න නැතිවෙන්නත් තිවුණා... :D කවුරුත් මීට ඉස්සරින් ට්‍රයි කරලා ඇති එකක්යෑ... :D

sameerausa said...

අර කිව්වට් වගේ තුන් හුලස් ඇඳුම කොහොමද අප්පා රොටී පුසුඹ එන තරමට හදා වඩා ගත්තෙ

Siribiris said...

ටික දොහකින් මේ ඉසව්වෙ ඇවිත් යන්නත් බැරිඋනා ආයිබෝං. ආපු ගමං කියෝගන කියෝගන ගියා මඟ ඇරිච්ච ඔක්කෝම. හෙහ්, හෙහ් වැරදිලාවත් කොයිං කුඩම්මා ඇත්ත දැනගත්තා නං, ආයි ජීවිතේටම රොටි කන එකක් නෑ.

ඔය තුන් හුලස් ඇඳුම අඳින පිලිවෙල:
නිකං මෑන් - කලිසමට යටින්
සුපර් මෑන් - කලිසමට උඩින්

Ravi said...

අම්මප කුඩම්මට එන්න ඇත්තෙ රොටි පුච්චන සුවඳද රොටී කර වෙන සුවඳද කියන එක නෙව මට ඇති වෙච්චි පුරස්නෙ,

විකී said...

පුතාට- බෝම පිං
රාළට - අනිවාරියයි දෙනවා
සිමට - මදිනකොට විතරයි
බීට්ල්ට - බලලා කියහං මචෝ
ස යූඑස්ඒ - ඒක රහසක්
සිරිබිරිස්- අපේ දිහා එන එකකුත් නැහැ.
රවි- රොටී පුච්චන සුවද බොල.