Sunday, September 5, 2010

ඉළංදාරි සුරාට ඇබැද්දියක්



      සුරා ගුරුන්නාන්සේ නිකංම සුරා කාලේ ඒ කියන්නේ ඉලංදාරි ගැටයා සංදි‍යේ හොද කෙළිකාරයා.හොද හොද සෙල්ලං දාලත් තියෙනවා, හොද හොද සෙල්ලං සිද්ද වෙලත් තියෙනවා. ඔය කොයි ‍කොයි කෙළියෙත් අහ පුරුද්ද, දැක පුරුද්ද, කර පුරුද්ද ඔක්කොම මිනිහට තියෙනවා. පුංචි පැලේ ගහ වෙද්දි ලාමක ගතිය ඇරිලා ගියාට සමහර  කරුණු කාරණාවලදි  සුරාට “ඩෝං” ගිය වෙලාවලුත් නැත්තෙම නැහැ නෙවේ. ඒවත් දැනගංට ලැබෙයි පස්සෙං පහු කතා ටික කියවං යද්දි. ඒ ඔක්කොම පැත්තකිං තියලා ඉළංදාරි කාලේ සුරාට වෙච්චි ඇබැද්දියක් කියවලා බලමුකෝ. මේක සිද්දවෙලා තියෙන්නේ හෙම්මාතගම කඩෙං පරිප්පු ගේංට ගිය වෙලාවක.

     සුරාගේ මෑණියෝ ලොකු චීත්ත රෙද්දක් ගෙනාවා මල් වැටිච්ච. ඉතිං ඒ කාලේ දැං වගේ බඩු දාන යංට කඩවලිං සිලිං බිලිං මලු දෙන්නේ නැහැ නොවැ. ඒක හංදා උන්දෑ චීත්තෙං කෑල්ලක් කපලා අරං ටිකක් ලොකුවට මැහුව කොට්ට උරයකුත්, කඩෙං අඩුවැඩිය අරං දාගෙන එන්ට කියලා.

      දැං ඉතිං කඩේට, සම්පකාරෙට අඩු වැඩිය ගේන්ට කවුරු ගියත් සුරාලගෙ ගෙදරිං, ඒත් එක්ක කොට්ට උරෙත් යනවා. ඕං ඉතිං දවසක් සුරාගේ මෑණියංට හිතෙනවා කොල්ලංට බතට පරිප්පු ටිකක් උයල දෙංට. උංදැට එහෙම හිතුනේ මීරුප්පෙ ගෙදර දානෙට හදලා තිබුන පරිප්පු වැංජනේ කාලා. ඒක කෑවට ඒ රස මතක්වෙද්දි පපුව හෝස් ගානවා උන්දැගේ. මං කෑවට කොල්ලංට කන්ට ලැබුනෙ නෑ නොවැ කියලා. කොල්ලංටත් පරිප්පු වෑංජනයක් හදලා දෙන්ට ඇත්නං කියලා සල්ලි ටිකක් හොයා ගත්ත උන්දෑ දවසක්  සුරාට කියනවා.

‘ලොකු එකෝ කඩ මංඩියෙං පරිප්පු රාත්තලක් අරං වරකො. උඹලට තම්බල දෙන්ට. කොට්ට උරෙත් අරං පලයං.’  කියලා සල්ලිත් දුන්නා.

‘හොදයි, අපෙ අම්මා’

කියලා ගෙදර පිනි වැලේ තිබ්බ අර කොට්ට උරෙත් අකුලං සුරා ගොහිං හිට ගත්තේ හෙම්මාතගම කඩේ. මුදලාලිට පරිප්පු රාත්තලකට සල්ලි දීලා සුරා අකුලං හිටපු කොට්ට උරේ කට ඇල්ලුවා තරාදිය ළගට,

‘හා මේකට දාංට’ කියලා

බඩු කිරන හාදයා, තරාදියෙං කොට්ට උරේ කටට හලපු පරිප්පු රාත්තල උරේ අඩි‍යෙං දෙපැත්තට ගියෙ නැතෑ

“සොරෝ...ස් ”       සද්දෙට පොළොව පුරාම. මොකද බොළ මේ වුනේ කියලා අංදුං කුංදුං වෙච්ච ඉළන්දාරි සුරා කොට්ට උරේ උඩට අල්ලලා, වපර ඇහැත් කරකවලා, බැලිංනං ඒක ඉස්තිරියක්ගේ යට ඇදුමක් නෙවැ.

       පොළොව පලං යංට තරං, විලි ලැජ්ජාවෙං ඇඹරුන සුරාට තේරුං ගියා අම්මගේ චීත්තෙං කෑල්ලක් අරං සහෝදරී ජංගියක් මහගෙන විත්තිය. සුරා කොට්ට උරේ කියලා වැරදිලා අකුලං ගොහිං තියෙන්නේ පිනි වැලේ තිබ්බ බාල සහෝදරිගේ ඒ ජංගි කොටේ. ඒක බාල සහෝදරී වුන මැණිකගෙම කියල ටක්කෙටම හිතව්වේ ඒකෙ ප්‍රමානෙං. එදානං කඩ මංඩිය මැදිං සුරා ඉස්තිරියක්ගේ යට ඇදුමත් උස්සං ගෙදරම දිව්වෙ වටේ හිටපු උං ‘හූ’ තියද්දිමයි. කාලයක් යනකංම කොල්ලො කුරුට්ටො වහංවෙලා ඉදලා සුරාට,

 ‘මැණිකා ගෙදරද..............?’

කියන්ට ගත්තු එක සුරාගෙ හිතට අලි වදයක් වෙලා තිබුනා ඕං.