Wednesday, April 27, 2011

අහක යන සරුපයි

ආයිබොවංට කාලෙකිං සුරාලගේ ගේ දිහාවේ සිද්ද වෙච්චි කතංදරයක් අමුනංට බැරි උනා හැබෑමයි. දැං උන්දලව මතකත් නැතිව ඇති නේද උඔලට. මෙදා කියංනේ ලොක්කගේ කතාවක් ඔංන. ලොක්ක කොහොම එකෙක්ද වග අමතකනං කියවපල්ලා මේකයි, ඊට පස්සෙං පහු මේකයි. දැං දංනව නෙව ලොක්ක ගැන සහසුද්දෙංම.

බොලව් ලොක්කගෙ අඹුව වෙච්චි කාංති කෙල්ල ගැන මේ වෙද්දිං ගංතුලානෙ කයි කතංදර ඕසෙට. ඒ කයි කතංදරේ කොයි එකක වුනත් බේකරියෙ මුදලාලිත් කොනක වෙංට ගැවීලා හරි උංනා. ආයෙ ඉතිං අමුතුවෙං ඒවා කියංට ඕනයෑ උඹල වගෙ අං ගිලපු එවුංට. ලොක්කා නැති අල්ලපනල්ලේ මුදලාලි කඩුල්ල පනිනවා කිව්වොත් පැහැදිලියි නෙව.  මේ කොයි කතාවත් ඉතිං අමරයා, පද්මෙට හෙම බෝම වටන කියන නිමිති වෙච්චි.

ඔංන බොලල්ලා මේ කියන දවස්වල තමයි රේඩියෝ බාස් මිය පරලොව ගියෙ. (ආ... බොලා දැනගංනවනං රේඩියො බාසුත් එක විදියක එකෙක්. උංදෑ ගැනත් අපූරු කයිකතංදර ගෝනියක් විතර තියෙනවා. මේ  අංතර් ජංජාලෙට බිල් ගෙවන කෙරුවාව මඩියට ඔරොත්තු දෙන තත්වෙක දිගටම තිවුනෝතිං හිට ඒවත් පස්සෙං පසු කියංනංකො. (රේඩියො බාස්ගෙ මිනිහටම වෙං වෙච්චි සමහර පරිබෝජන වස්තු තිවුනා. ඉං එකක් තමයි උංදෑ ඇදපු දිගත් නැති කොටත් නැති, දණිය වැහෙංට ඇදපු ‘මං එනකං යං කලිසං’ තාලේ කොට කලිසම.  මුලු පැත්ත පලාතෙම මෙහෙව් ඇදුමක් ඇංද එකම එක නාකි උංදෑ රේඩියො බාස්ම විතරයි. ඉතිං ගමේ උං මේ තාලේ කලිසං කොටවලට කිව්වේ ‘රේබා කලිසං’ කියලා හිටං ඕං. ‘රේබා’ කී‍වේ රේඩියෝ බාස් කියන එකේ මුල් අකුරු අරං හිටං කොට කොරලනෙ ආයිබොවං.) ඒ වුනාට බොලාලට කියංට දැංනං මේ ගංවලත් රේබා කලිසං කාරයෝ ඕසෙට. ඒ විතරක් යෑ, මේ බවලත් උදවියත් අදිනවා බොලව්. උං ඒවට කියංනේ ‘තිරි කුවාටර’ ද මොකක්දො ඕං. මටනං ආයිබොවං ඔය තිරි කුවාටරකාරයෙ ඇහැ ගැටුනොත් සුරුස් කියද්දිං මතක් වෙංනෙ රේබා කලිසං ඕං.)

දැං ඒවයිං කාරි නෑ කියංට ආව කතාව කියල ඉංනංකො. ඉතිං ඔංන රේඩියො බාස්ගෙ මුර්ත කලබරෙට තනි රකිංට රාත්තිරියට ගමේ උං යනව විතරක් යෑ බූරු ගහනවා, ඕබි ගහනවා, රට බීම බෝතල් හිස් කොරනව, විට හපනවා, තව අවලං කතා කියනව. ඔය වගේ අමුතුම රාත්තිරි ටිකක් ගමේ ගෙවිල යනවා ඕං. මොකාගේ වුනත් මුර්ත කලෙබරේ වලපල්ලේ දානකං ගමේ ඕම තමයි ආයිබොවං. හිතුමනාපෙට කංට බොංටත් තිව්නා. ඒක සමහර කොල්ලො කුරුට්ටොංට හරියට පෝසන සතියක් වගේ.

මෙහෙව් රාත්තිරියක ඉතිං ඔය කීව ලොක්කත්  අර අමරෙ පත්මෙ උංගෙ තලේට වෙලා අවලං කතා අහං  විරිත්ත විරිත්ත ඉංනව. කතා කිව්වට මොකද මෙවුං කොරව්වේ උං තලේ ඉංන එකෙක්වම ඔලොක්කුවට අරං මඩවන එක. දැං ඉතිං මුංගේ කතාවලට ඉඩ දීලා මහ රාත්තිරියත් ගෙවිලා හිටං හෝරාවක් විතර ගෙවිලා. දැං ඉතිං මුංගෙ සූජානම ලොක්කව මඩවංට. මේ මහ රාත්තිරියේ කාංති කෙල්ල තනි කරලා හිටං ලොක්ක රේඩියෝ බාස්ලයෙ දිහාවෙ. ඉතිං කාංති තනිපංගලමෙ ගෙදර ඉංන එකයි ඒක හිංදම වෙංට පුලුවං කියලා අනුමානෙට හිතෙන දේවල් ගැන තමයි දැං මෙතන ඊළගට කතාවෙංට ගත්තෙ. ලොක්ක ඉතිං මේවා තේරුං ගංන එකෙක්යෑ. එක අතකට ලොක්කව මඩවංටමත් නෙවේ බොලව්, ලොක්කට මේව ගැන ඉඟි කොරලා හිටං සිද්දවෙන අපවාදෙං ගැලවෙන විදිහක් කල්පනා කොරංට ලොක්කව පොළඹවංටත් එක්කයි දැං නඩේ උං වෑයං කොරංනේ. ඒ කියංනේ ලොක්කට පරච්ඥාව දෙංට. එහෙව් සමාජ අවබෝදෙ ඇතිකරන දේවලුත් මෙහෙව් තැංවලදී සිද්ද වෙනවා අයිබොවං. ඒකට සුජානං වෙංටත් එක්කං, ඉතිං එක එක විදිහේ උපහැරන කතා හෙම කියවලා අමරෙ කියන එකා ලොක්කට කියව්වා,

‘හැබෑට ලොක්කා දැං දෙගොඩහ ජාමෙත් පහුවෙලා, අර පාලු පැලේ කාංති නඟා තනියෙං නෙව. උඹ නැති අල්ලපනල්ලෙ අහක යන සරුපයි ගෙට ගොඩ වෙංටත් බැරි නෑ නෙව; නරකද දැං උඹ ගියෝතිං.’

එක අතකට ලොක්කට මුං තලේ විරිත්ත විරිත්ත ඉංන එක අලි විනෝදයක් වෙච්චි එකේ ඒක නැති කොර ගංට ලොක්ක කැමති වුනෙත් නෑ. ඒ හංදා ලොක්කා බොක්කෙ තිබ්බ දේ සබාවෙ මැද කියපි. ඒක ඇහුනම අමරයට රෙද්දෙ රෙවුන වගෙ දැනුන. මෙංන මේමයි ලොක්ක කිව්වේ: හරියට වක්කඩෙං වතුර ගලංනැහෙ,

‘හ්ම්, සරුපයි රිංගංට මයෙ ගෙට......... ඒව කොහෙද......මුදලාලි එක්කං. මං නැති වුනාට, උන්දෑ  ඒව බලාගනී’

9 comments:

sithuwilimandiya said...

රෙද්දෙ රෙවිලා බේරුනානන් ඇතිනොවැ ආයිබෝං ඔය අහගත්තු කතාවට.

පිණිබිඳු... said...

ලොක්කට කමක් නැති නම් අහක යන සරුපයි ගැන අපිට මොකෝ

චමිල said...

ලොක්ක තමයි ලොක්කා...

හුරුල්ලා said...

මොනවද ගොයියො "සරුපයි" කියන්නෙ?

විකී said...

සිම/පිණිබිදු/චමිල - නැචුව නැචුව

හුරුල්ලා - අනේ උඹ, "සරුපයි" ගැන දන්නෙම නැති එකා.

අනුෂ්ක තිලකරත්න said...

ලොක්ක ඉතින් හදන්ට පුලුවන් එකෙක් යැ

sameerausa said...

ලොක්කා දන්නව මුදලාලි වෙන සරුපයින්ට කාන්තිව කන්න දෙන්නෙ නෑ කියල.. දිගටම ලියමු ආයිබොං

කොමියා said...

ලොක්කටමයි වෙන්නෙ...

චමිල said...

කාලෙකින් එලිපහලියට බැස්සෙ නෑ නොවැ...