Thursday, October 28, 2010

තොපි කීවේ බොරුනේ


කැතිගානාකදුර ගමෙං තමයි සුරා ගුරුංනාංසේ ලමසාව දීග ගෙනාවේ. ඒ කතාව අමතකනං මෙතෙංට අනිංටකෝ. දැං මතකයි නෙවෙද? මේ කැතිගානකදුරෙ හිටියා “කාංති” කියල හුරු බුහුටි කෙලි පැටික්කියක්. උංගෙ අම්මත් තවම ඒ වගේම හැඩහුරුවයි. අම්මට නොයෙක් පද ගමේ උං කිව්වට කෙල්ලටනං එහෙම කතංදර ඇහුනේ  නෑ. කාංතිගේ අප්පච්චි වැඩ කලේ ඇවිල්ලා හිටං “කලු මහත්තයාගේ” බේකරියේ.  කලු මහත්තය දළ කාරයා. අනෙක් සේවකයිංට වැඩිය කාංතිලගෙ  පවුලට බෝම හිතවංතයි. කාංතිත් දැං දීග දෙන වයස. දැං යස එකියක්. මේකි ගෙනියංට ඕන එකෙක් වහ වැටෙනව. ඒත් කොයිතරංනං   වත්පෝසත්කං තියෙන, පිරිමි මේ ඔත්තුව දැනං කාංතිගෙං බහ ගංට ආවත් මොන එකක් හිංදා ද මංදා ඒකි නෙවේ ඒ එකෙකුටවත් කැමති වුනේ. කාංතිගේ අප්පා කිව්වේ,


‘හෙනං තී ඒරොප්පෙං එනකං හිටු’ කියලා.

ලොක්කා සුරාගේ ලොකු කොල්ලා. සුරාගේ දරුවෝ ගැන අමතකනං මෙතන තද කොරංටකෝ. දැං මතකයි නෙවෙද? ලොක්කා නෝංජලයා. මේකා කොරව්වේ මී හරක් ආංබාං කොරන එක. හීයකට කුඹුරකට හරි කමතක ගොයං කොලේකට හරි  ඔට්ටුවුනාම මුගේ කෙරුවාව නොම්බර එකයි. හීයකට කුඹුරකට බැස්සාම, ඕසේ ඇදලා හීය හානවා,

උඩි     අ......ම්.....මෝ..................ව්.......ව්.......වෝ.......ඕ....

කියලා ගමටම සිරියාවයි.

මූටත් හිටියා හරි හරියට ගමේ නඩයක්. ලොක්කගේ නෝංජල්කම හිංදාම මේකව උපහාසෙට ගංටත් එක්කලාම මේ කොයි එකත් මූට ලංවුනා.

කැතිගානාකදුරේ කාංති ගැන ඔත්තුව  සුරාලගේ ගෙදරටත් ආවා කියමුකො. පස්සෙං පහු බලෙංම වගේ. ඉතිං දවසක සුරා ගුරුංනාංසෙයි, පවුලයි, ලොක්කයි ගියේ නැතෑ කාංතිල‍ ගෙදෙට්ට.

“අහේතු කාලේන කජ්ජේන පුහුලං” කිව්වලු.

ලොක්ක දැකලා බුලත් හෙප්පුව දීලා කතා බහ කොරල හෝරාවෙං කාංති කැමති වුනේ නැතෑ මේ නෝංජලයට.  ඉතිං කොහොමිං කෙහොම හරි දැං ලොක්කට කාංතිව තීංදු වෙලා.  තව සුමානයක් විතර මේ මගුලට කල් තියෙද්දිං ලොක්ක ගමේ කොලු රෑනට වැටුනා දවසක්. කාංති වගේ යස එකියක් මේ බූරුවට බහ දීපු එක මුංටත් මහ ප්‍රහෙලිකාවක්. හෙට අනිද්දාම  කාංතිව මනමාළියක් කොරලා මේකා කැංදං එංට යන වග දැං හමෝම දංනව.  ඉතිං දැං මුං ලොක්කව වටකොරං උපදෙස් දෙංට ගත්තා. අමරයා තමයි බේරංටම බැරුව කියවංනේ. පත්මෙත් එහෙමමයි. මුංගෙං සමහරු ඒ වෙද්දිත් පවුල් පංසල් වෙලා හිටපු උං හිංදා ලොක්කත් බෝම උනංදුවෙං, කං නමං මුංගේ කතාවට ඇහුංකං දුංනා.  කාංතිව ගෙදෙට්ට කැංදං ඇවිත් ගතකොරන පලමු රාත්තිරියේ සිද්දවෙනවයි කියපු සමහර දේවල්  ඇහුවම ලොක්කට බයත් හිතුනා.

 කාංතිගෙයි ලොක්කගෙයි මංගල්ලේ චාමෙට, ජයට සිද්දවුනා. බේකරියේ මුදලාලි අපරාදේ කියංට බෑ කොරාපු උදව් පදව් නොතියෙංට එහෙම මගුලක් කන එක කාංතිට හීනයක් වෙංටත් ඉඩ තිබුනා. මුදලාලිගේ වරුනේ ඉතිං කාංතිගේ දෙමාපියො නොකියා කෝමද? මගුලට උපාලි පියැට්කාරෙක දුංනෙත් මුදලාලි.

එයිං සුමානෙකට විතර පස්සේ ලොක්කා ආයෙත් කොල්ලො නඩේට කොටුවුනා. උං දැක්ක විතරයි සමහර කරුනු කාරනා නිසාවෙං ලොක්කට ඇතිවුනේ පුදුම තරහක්. “කාංතිව කැංදං එංට කලිං මුං මට කීවේ කොයිතරම්නං මුසාවක්ද” කියලා හිත හිතා ලොක්කා ආයෙත් තනියම කිපෙංට ගත්තා. ලොක්කා දැක්ක ගමං පත්මේ කියවංට ගත්තා,

‘ආ.........ලොක්කා කෝමද එදා අපි කීවේ බොරුද? ’

විවා ජීවිතේ ගැන එදා රාත්තිරියේ සිද්ද වෙච්ච දේවල් ගැන ලොක්කත් දැං යමක්කමක් දංනවා. ඒ නිසාම ලොක්කා කියනවා,

‘අනේ පලයල්ලා බං යංට හිතුවද මං තොපේ මුසාවංට රැවටිලා කියලා; තොපි කීවේ බොරුනේ’

කිව්වාම පත්මේ අහනවා 'අපි මොනවද තොට කීව බොරු' කියලා.

තමංගේ හිතේ තියෙන ලජ්ජාවයි, කෝපයයි නිවාගංට ලොක්කා මෙහෙම කීවා,

‘පත්මේ උඹ කිවුවා එදා රෑ කාංති කෑ ගහංට ගනී කියලා. කෝ කාංති කෑ ගැහැව්වද?....ඒක  බොරුනේ......එතකොට අමරයා කීවා, පළවෙනි දවසෙ රෑ, කාංතිගේ තුවාලයක් වෙලා ලේ යංට ගංනවා කියලා . කෝ එහෙම වුනාද?...........ඒකත් බොරුනේ............’

තමනුත් දැං බෝම දැනුං තේරුං තියෙන මිනිහෙක් වග කියංට  ලොක්කා එහෙම කීවාම  නඩේ උං නිස්සද්ද වෙලා මුනෙං මූන බලා ගත්තා.


Saturday, October 23, 2010

බූරු පොළ

ගමේ ඈයෝ අඩුම කුඩුම ගන්ට සති පොළට ගියේ බෝම සතුටෙං. මොකද "කීයක් හරි අඩුවෙං බඩුවක් ගංට පුළුවං" කියන හිතුවිල්ල එයාලගේ තිබුණා. ඒවගේම අළුත් බඩු, අමුතු බඩු, ලාභ බඩු,  සිදාදියේ බඩු, ගමේ බඩු තියෙන තැනක් විදිහට සති පොළ සැළකුවා. තොයිල් පොළ, නාන පොළ මේ වගේ ගොඩක් පොළවල් අතරේ ගමේ හිටපු හැටියෙ මළ ගෙදරකදී හරි නැතිනම් අවුරුදු කාලෙට හරි මතුවුන පොළක් තමයි බූරු පොළ. මේකටත් සමහරු ගියේ හරිම සතුටෙං. "කීයක් හරි හොයා ගංට පුළුවං" කියන හිතුවිල්ල එයාලගේ තිබුණා.

සමහරු මළ ගෙදරකට ගියේ මේකටමයි. ඉස්සරනම් මල ගෙදරක රාත්තිරිය  ගෙවෙනකං වෙස්සන්තර කතාව කිව්වට  මෑත ඒක දැකපු තැනක් නං නෑ ඕං. යම් මළ ගෙදරක රැයක් ගෙවෙනකං මිනිසු ඉංන එක ඒ ගෙදර අයට ගමේ ලොකු  තත්වයක්. ඉතිං කොහෙං හරි පැදුරු කෑල්ලක් හොයං  විදුළි එළියක් තියෙන තැනකිං හරි පැට්ටෝල් ලාම්පුවක් (පැට්රොමැක්ස්) එකක් කිට්ටුවෙං හරි බූරු පොළ දා ගන්න එක සිරිතක් වගේ වෙලා තිබුනා. සමහර වෙලාවට ගෙදරම ඈයෝ පැදුරු කෑල්ලක් එළලා තිබුනා මේ වෙනුවෙංම එළියකුත් එක්ක. ඉතිං පස්සෙං පහු සමහරුංගේ රස්සාවම වුනේ නැතෑ මළ ගෙදරවල බූරු ගහන එක. මුං වුර්තියටම බූරු කාරයෝ.  සමහරු මේකටම පුරුදු වුනු උං රැලක් විදිහට පුල්ලි තියපු බූරු කුට්ටමුත් අරගෙනම තමයි මළගෙවල ගියේ. පුල්ලි තියපු තැංවලිං අල්ලලා කුට්ටම කැපුවම උං එක්ක ආපු නඩේ තමයි හැමදාම දිනංනේ. පහු වෙනකොට මිනිසුංට තේරිලා මේක නොගැලපෙන දෙයක් කියලා මළ ගෙදරකට; දැං මේ ගං පළාත්වල මේක නොවෙනම තැනට ඇවිත්.

ඉස්සර සිංහල අවුරුදු කාලේ බක් මහට කලිංයෙංම මැදිං මහ පටං ගංන කොටම ගංවල මේකට වහවැටිලා හිටපු කොල්ලෝ, වැඩිහිටියෝ කාගෙත් සහයෙං පටං ගත්තා බූරු ගැහිල්ලත්. ඉස්සර  ගමේ හයි හක්තිය තියෙන ගස් තුන හතරකම ඔංචිල්ලා බදිනවා අවුරුදු කාලෙට. ඒ සමානවම බුරු පොළකුත් දානවම තමයි. හීං මාමගේ කඩේ ළග එහා පැත්තේ හරි ගොරක ගහ යට හරි බූරු පොළ දැම්මා. කඩේ ළගනං බූරුපොළේ  තෝං ගත්තේ හීං මාමා. ගොරක ගහ යට තෝං ගත්තේ විජේ මාමා. ඒ තැං අයිති එයාලට. ඒ තැංවලදී අලුත්ම කුට්ටමක් දැම්මෙත් එයාලමයි. හැමෝගෙම ඉස්සරහ කුට්ටමේ ඉටිකොලේ හීං මාමා අයිං කරනවා

ඕං බොලව් පුල්ලි තියපු එකක් හෙම නෙවේ පැකිං කැඩුවේ දැං ඈ කියලා.

වැඩේට තැන දුංනට ගෙවංට ඕන බිං කුළිය වගේ තමයි තෝං ගැනිල්ල. කවුරු හරි වට තුනක් එකදිගට දිනුවොත් තෝං දෙංට ඕනේ. තෝං ‍ලණුවෙං කරංනේ අල්ලං යන එක. ගොනාට එක දිගට යංට පාර කියන එක. එහෙවු එකේ සමහර විට බූරු ගහපු අයට පාර හදල දුංනට මේකටත් තෝං කියනවද මංදා. තෝං දාංට දුංනේ හිස් ගල් අරක්කු ‍බෝතලයක්. මේකෙං වැඩ කීපයක්ම වුනා. බූරු පොළ දාපු හීං මාමා හරි විජේ මාමා හරි ආරම්බෙම දුංන අල්ලසක් තමයි මේ බෝතලේ. ඒක මුලිංම හිස් කරලා හිස් බෝතලේ තෝං බෝතලේ විදිහට ගංනවා. එයාලා ළග හොර අරක්කුත් ඒ වෙනකොට තියෙනවා. ඒකත් හිමීට විකිනෙනවා. ඊට වැඩිය කට හීනි බෝතලේට සිල්ලර ඔබංට බැහැ. දාංට වෙංනෙම නෝට්ටු කොළ. අනෙක් එක ආයේ ඇදලා ගංට බෑ. දැම්මොත් දැම්මා. පොළේ අයිතිකාරයා ආයේ ඒක ගංනේ වැඩ ඉවර වුනාට පස්සෙ බෝතලේ කඩලා.
                                                                          
බූරු පොළේ වටේට බූරු ගහන උදවිය ඉදං හිටියා. ඒ පිටිපස්සෙං හිටං හිටියා කෙලිංම බූරු නොගහ ඔට්ටු අල්ලපු උදවිය.  මෙතැනට කීවේ මංඩිය කියලා. ඒ වගේ මෙතනත් අමුතුම බාසා භාවිතයක් තිබුන තැනක්. උප සංස්කුරතියක් කියන්නේ. ඒකක්. කුට්ටම කියංනේ දෙකක් කියන එක වුනාට කොල පනස් දෙකකටම බූරු පොළේ කීවේ කුට්ටම කියලා. ඔට්ටුව අල්ලන පැත්තක් තිබුනා. ඒක ගියේ දකුණ අත පැත්තට රවුමට. කුට්ටම අතේ තිබුන කෙනා පැරදුනොත් දිනපු කෙනාගේ අතට කුට්ටම මාරු වෙනවා.කලිං කුට්ටම තිබුන කෙනාට දකුනෙං හිටිය කෙනා ඔට්ටු අල්ලන කෙනා වෙනවා. ඔට්ටු අල්ලලා කුට්ටම කපන කෙනාට කීවේ කටර්. කුට්ටම අතේ තියෙන කෙනාට කීවේ “කුට්ටම” කියලමයි. “මුල” කිව්වෙත් මෙයාට අනෙකා එතකොට “අග” වුනා.

‘මුල පරාදයි’
‘අග දිණුම්’
‘කුට්ටම පැරදියි’ 

මේ විදිහට තමයි ඔට්ටු ඇල්ලුවේ. එක දිගට කවුරු හරි තුං අතක් දිණුවොත්

‘තෝං දාපං’ කියලත් ඇහුනා. සමහර කොලවලට විවිධ කතා කිවුවා. කුට්ටම හා කටර් අතරෙයි තමයි ගොඩක් කතා කියවුනේ. නානප්පකාර කතා සමහර කොලෙං කොලේට කියවුනා. කීපයක් මතකයි. කුට්ටමේ A කොලය ආසියා. ආසියා ඉල්ලපුවාම කුට්ටමෙං ඒ කියන්නේ, මුල නැත්තං අණන කෙ‍නාගෙං බොහෝ විට කියවුනේ,

‘ආසී......... වර වේසී’ කියලා.

ඒ විදිහට අනෙක් කොලවලට මෙහෙම කීවා මතකයි.

2 කොලේට - 'දෙකේ පුලුං බං, දෙක පල් වෙයි
3 කොලේට - ‘තුන හමේ, හම නැත්තං බිම’
5 කොලේට - ‘පහ මඩේ’
8 කොලේට - ‘අට නෙවෙයි හුට....................’ (තවත් ටිකක් කියනවා ඒක සැරවැඩියි)
 J කොලේට කියංනේ බූරුවා කියලා. බොහෝ වෙලාවට ඒක ඉල්ලුවේ ‘කොලේ උඹ’ කියලා
Q කොලේට කිව්වේ පොරව, මේකෙ ඉංනේ රැජිණ නෙව. මේක ඉල්ලලා ආව කෙනා කොලේ ඉඹිනවා ‘අනේ තිගේ ලෙල්ල’ කියලා. මුං “ලෙල්ල” කියලා තියෙංනේ ඉස්තිරි නිමිත්ත කියන අර්තෙං කියලා මම දැන ගත්තෙත් මෑතදී.
K කොලේට කියංනේ හේරා කියලා. ‘හේරා මං බේරා’ කිය කියා තමයි කොලේ බෙදුවේ.

මේක ඉතිං බෝම හොරෙං ඒත් සද්දෙං කරපු වැඩක්. වටේ හිටගෙන ඉදලා ඔට්ටු ඇල්ලුව අ‍යත් කීයක් හරි හොයා ගත්තා. බැරි වෙලාවත් ඔට්ටුව  ආරවුලකට ගියොත් “ඔට්ටු උරුං” කියලා ඒක සමාදාන කරගත්තා.

ගමේ කෙනෙකුට  පොඩි පහේ වාසියක්  උනාම කියනවා “තට්ටක් ආවා” කියලා.  වටේ ඉදං ඔට්ටුවක් අල්ලපු කෙනෙක් ඒක දිනපුවම ගත්තේ “අපිට ලොකු තට්ටක්” කියලා.
එ‍ක්කෙනෙක්ගේ පැත්තකට සල්ලි ගොඩ ගැහෙද්දී  එයා බෝම උජාරුවෙං සල්ලි ගොඩ පෙන්නලා ‘බලපල්ලා මහකන්ද.........’ කියලා  හයියෙං කියනවා.

ගමේ හිටියා අපේ ලොකු අප්පච්චි කෙනෙක්. තනියමයි හිටියේ  එයාට මී හරක් හිටියා. කිසිම ඉහෙං බහින රෝගයක් තිබුනේ තැති වුනාට තනිපංගලමේ ජීවත් වුන මේ අහිංසකයට ගමේ අය කීවේ “පිස්සා” කියලා. මෙයාගේ මී හරක් පට්ටියේ ඇස්වහක් කටවහක් නැහැ වැස්සියන්ට පැටවුනං අඩුවක් උනේ නැහැ. ඉතිං කාත් කවුරුවත් නැති මෙයාට  කොච්චර හරක් හිටියත් වැඩක්යෑ. ඉතිං  බුරුපොළේ එක්කෙනෙක්ම දිනද්දී ඒක කියන්න මංඩියේ අය මේකෙං  ප්‍රස්ථා පිරුලක් තනා ගත්තා. මොකක්ද දන්නවද?  

‘බලපංකො මේකමයි දිනංනේ, හරියට පිස්සට හරක් බෝවෙන්නා වගේ’ කියලා.

ඉතිං බූරු පොලේ පරාද වෙලා පොඩි පහේ අතමාරුවක් ඉල්ල ඉල්ල ලතවෙංටත් සමහරුංට සිද්දවුනා. සමහරු ඔරලෝසුව, ඉනේ බදින බැල්ට් එක (බඳ පටිය) උකස් කළා. හැබැයි ‘මංඩියේ අතමාරු මංඩියේ විතරයි’ කියලා තමයි කීවේ. සමහර විට අද ගත්ත අත මාරුව ගෙවංට බැරි වුනොත් ඒක ගෙව්වේ වෙනිං දවසක මංඩියේදිමයි. පහුගිය අවුරුද්දෙ දේවලුත් සමහරු මතක් කලා.
ගම්මුංගේ සල්ලිය බාගේ තබා ගත්ත තැං කීපයක්ම තිබුනා. බවලතුන් සල්ලි තියාගත්තේ හැට්ටෙ අස්සේ. මේකට පස්සෙ කාලේ ඉළංදාරි කියව්වේ “තංගල්ලේ බැංකුවේ සල්ලි දානවා” කියලා. බවලත්තු එතනිං සල්ලි අරං “දෙකේ කඩේ මුදලාලි”ට දෙද්දී මිනිහා ඒව ගත්තේ ‘ආ කිරි සල්ලි නේද?’ කියලා. පිරිමි සල්ලි දා ගත්තේ ඉනේ බැදගත්ත බැල්ට් එකේ. ඊට අමතරව සමහර මුදලාලිලා හිටියා සරම අදින. හම්බවෙන මුදල ඉණ ළගින් සරමට තියලා රෝල් කරලා පොටක් අස්සෙ ගහනවා. මෙහෙම කරපු සමහර මුදලාලිලාගේ හවස්‍ වෙද්දී සරම තිබුනේ දණිහටත් උඩිං. ආදායං තත්වේ හිතාගංටකෝ. තවත් සමහරු සරමට යටිං කොට කලිසමක් ඇංදා. මේක සරමට යටිං නිසා එළියට පේංනේ නෑ නෙව. බූරු මංඩියෙදී බැල්ට් එකේ සල්ලි පිච්චියටම නැතිවුනොත් මේ අය සරම උස්සලා කලිසමේ සාක්කුවට අතදාලා සල්ලි අරං ඔට්ටු දානවා. මෙහෙම කරපු කෙනෙක් තමයි මද්දු. පස්සෙං පහු හැදුන ඉළංදාරි ඒ කියංනේ තිරි වීලර් එහෙම වැඩ කරන මේකට කිව්වේ 

‘ආංන බලපං මද්දු රිසව් එකෙමුත් අදිනවා’ කියලා.

පස්සෙ බූරු පොලේ බාසාවට මේකත් එකතු වුනා. මෙහෙම කරපු එකෙක්ගෙං තව එකෙක් අතමාරුවක් හෙම ඉල්ලුවොත් ඌ උත්තර දුනනේ බෝම කේංතියෙං.

‘තොට පිස්සුද බං මං රිසව් එකෙනුත් ඇදලා ඉංනේ’ කියලා.

බුදු බණේ තියෙන විදිහට

“සරු දේ සරු විදිහටත් නිසරු දේ නිසරු විදිහටත් දකින අය සරු දෙය ලබනවලුනේ.

මේක දැනංද මංදා හරියට අවුරුදු කාලෙට සමහරුංට “ජාතික කිරිඩාවක් වගේ” එළියට ආව බූරු ගැහිල්ල දැංනං ගමේ වෙන්නෙම නැහැ. හැබැයි  ගමේ කාගෙ උනත් අටුවක් කොටුවක් සරු වෙද්දි හෙම ‘හරියට පිස්සට හරක් බෝවෙනවා වගේ’ කියල එහෙම තවම ඇහෙනවා. මේ කතාව ඇහුන වෙලාවට මම දායක නොවුනත්, කණගාටුවක් නැතත්; මෑතදී මයෙ ඇස් මායිමේම ගමෙං අතුරුදං වුන බූරුමංඩිය එක පාරටම මගෙ මතකෙට එනව ආයුබොවං.

Saturday, October 16, 2010

එහෙම මොකවත්වෙන්නේ නැහැ


ගමේ කුඹුරු යායවල් කෝකටත් නිච්චියට අදුන ගංට නමක් තියෙනවා.
ගම්මු නෙල්ලි ගල කියලා හදුන්වපු පරුවතේ තිවුනේ කුඹුරු යායක් මැද . මේ කුඹුරුයායට ඒ හංදා ගම්මු කිව්වේ නෙල්ලි ගලේ යාය කියලා. ඒක ගම්මුංගෙ කටෙං කියවුනේ බෝම සුරුහමට නෙලිගලයාය කියලා හිටං ඕං. ඉතිං මේ නෙලිගල යායේ ඇළ ළගම කුඹුර  සුරාගේ. මෙහෙ ඉතිං හෙල්මළු කුඹුරු නෙව තියෙංනේ. ඊට පාත කුඹුර අප්පොගේ. සුරයි අප්පොයි කියන්නේ අහසට පොළොව වගේ. ඒ වුනාට සුරාගේ වක්කඩෙං පැන්නට පස්සෙ තමයි අප්පොගේ කුඹුරටත් වතුර ගියේ. එක යායට අස්වද්දන හිංදා ආරවුල් වුනේ නැහැ ඕං. අප්පොගේ කුඹුරයි සුරාගේ කුඹුරයි වෙංවෙන නියරේ උඩ මී හරකෙක් විතර ගල් ගෙඩියක් තිවුණා. ඒ හිංදා කිසිම දවසක අප්පොට සුරාගේ නියර සැහැල හිටං මායිම ලොකු කොරගංට හිතනවා හෙම බොරු.


ඒ වුනාට දවසක් වැහි කාලේ මේ ගල් ගෙඩිය නියරත් පතුරු ගහං පත බෑවුනා අප්පොගේ ලියද්දට. උදේම කුඹුරට ගිය සුරා මේක දැකලා හොදටම කළකිරුනා. නියරේ මායිමට තිවුන ලකුණ. මම නැති කාලෙක අප්පො මයේ දරුවංට හයිරං පෙන්නලා ලියද්ද ලොකු කරගංනවා සිකුරුයි කියලා.

ඕක ගැන කල්පනාවෙං ඉන්දැද්දි අප්පොත් ආවා මෙතැනට. මිනිහට බෝම කේන්තිය. නියර හෑරිල්ල කෙසේ වෙතත් ලියද්දේ මීහරකෙක් ලැගලා වගේ පාඩුව මිනිහට. අප්පො ටිකක් නෙවේ හොදටම සැරෙං සුරාට මෙහෙම කියනවා,


 ‘සුරා උඔ මේ ගල අස්කරලා දීපං


හොදයි පස්සෙං පහු බලමු’ සුරා බෝම කෙටියෙං කිව්වා


ඒ කතාවට අප්පොට ඌරු ජුවල් නැංගා


පස්සෙං පහු නෙවේ දැංමම අස් කොර ගනිං කියලා අප්පො කිවුවා


මී හරකෙක් විතර මේ ගල අස්කොරන්ට එක්කො වෙඩි දාන්ට ඕනේ නැත්නං ගිනි ගහලා දිය දාංට ඕනේ.


සුරා හිතා ගත්තා මේක ඔතනම තිවුදෙං මං අස් කොරංනේ නැහැ කියලා.
අප්පො සුරාට ආයෙත් කියනවා


හෙනං උඔ හවහ වෙංට කලියෙං ගල අස් කොරාගංට ඕනේ ඕං


සුරා ඇට ගන්නේ නැතිව ඒ ගමන මෙහෙම කියව්වා,


ඔය ගල් ගෙඩිය පරම්පරා ගානක් මගේ ලියද්දේ නෙව තිවුනේ. මං කිවුවද අප්පොට ඒක අස් කරලා දෙංට කියලා. අනෙක ඕක මං තල්ලු කොරලා ඔතැනට ආවයෑ. ගලට ඕන හංදා ඇවිත් මිසක්. අප්පොම තියා ගංට. මොකද අප්පොගේ ලියද්දෙ තිවුනා කියලා..................... ගල් ගෙඩිය පිළුනු වෙන්නේ නෑ ආයුබොවං

නියර හෑරෙන්නෙත් නැහැ, අදටත් ආයිබොවං ගල් ගෙඩිය අප්පොගේ ලියද්දෙ තියනවා ඕං.