Monday, November 22, 2010

කොරනවනං දෙයක් පිරිසිදු හිතෙං විතරයි

(ගැමියා බොලොග් එකේ අළුත් කතා, හුණු කිල්ලෝටය මේ කොයි හංවඩුවෙත් මං ලියාපු බේගල් බලංට හරි, එහෙම නැත්තං වැරදීමෙං කිලික් කොරාපු හරි ලංකාවේ හාදයෝ අටසීය පනහත් පැංන එකේ හිතුනා බොලව් තවත් හංවඩුවක් දාංට ඕනේ කියලා ඇබැද්දි කියලා හිටං. මේ හංවඩුවෙං අතාරිංනේ ආයුබොවං එදිං එදාට ගමේ උංට වෙච්චි එක එක විදිහේ ඇබැද්දි. හැබැයි ආයුබොවං, ඒ කොයි එකත් වෙංට හේතු ධරුමයක් තියෙනවා ඕං. කියවමුකො හෙනං මුල්ම ඇබැද්දිය.)


ගමේ මහා වසවරුතියෙක් උංනා බොලාලා කවුරුත් දංන විලියොං කියලා හිටං. අර පොළගා මැරුව රා ගුඩ්ඩා. දංනේ නැත්තං ඔංන ඔය අස්සක් මුල්ලක් අවුස්සලා බලා ගංන එකයි තියෙංනේ. විලියොංගේ ගෙවත්ත පොඩිවුනාට ආයුබොවං යස පස. මූට හිතුනා මේ පොළොව බිදලා හිටං වගාවක් දාංට කියලා. තක්කාලි ද, බටු ද, බඩඉරිගු ද හෙම නැත්තං බතල ද මෙංන මේම  මේකා හිත්තයා එක්ක කේවල් කොරලා හිටං අංතිමේට තීංදු කොරා කියමුකො පොළව බිදලා හිටවනවා මයියොක්කා කියලා. විලියොං එක ගලෙං කුරුල්ලෝ දෙංනෙක්ම බාගංට තමයි මයියොක්කම වවංට හිතුවේ. මුල්ම කුරුල්ලා මයියොක්කා සල්ලි කොරන එක. අනිකා තමයි ඉතිං  අල එරෙන කාලෙට කොටුවට වදින ඌරෙක් හෙම විඩෙං විඩේ මංදකට හරි, බොරු වළකිං හරි ආංබාං කොරාගත්තම සල්ලි තමයි  ඉතිං රාත්තල් ගානට. මයියොක්කාවලටත් වඩා ඌරු මසෙං ලාබ ගත්තෑකි.
මේම කම්පනා කොරලා විලියොං වත්ත මැදට වෙංට උගෙ ගෙට  එංට තිවුන පළල් පාර  ගල් බැම්ම අයිනෙං බෝම කෙසග අඩි පාරක් කොරලා වත්ත පුරා පුලුවං උපරිමේට හිටෙව්වා මයියොක්කා දඩු.
දැං ඉතිං මාසයක් දෙකක් ගියා මයියොක්ක පදුරු ගහලා සරුවට වැවුනේ නැතෑ අඩි පාර තවත් හීං කොරාගෙන. ඒ වුනත් විලියොංගේ හිතේ පැලපදියං වෙලා තිවුනේම අලවලටත් වඩා ඌරු මස. එක දවසක් මෝසං වැහිකාලේ අර සුරාගේ කුඹුරෙං පල්ලට පෙරලුන ගල වගේ මීහරකෙක් විතර හුණු ගල් ගෙඩියක් බැම්ම උඩිං පෙරලුනා කියමුකෝ විලියොංගෙ ගෙට යන අඩි පාරට. මේ හීං අඩි පාරෙ ගලක් හරස් වුනාම ගෙට එංනෙ කෝමද.
ඉතිං විලියොං කියංනේ බෝම හයි හක්තිය තියෙන මිනිහෙක් නෙව. මූ උදේම පටං ගත්තා ගල බිදිංට. මාත්තුව නැති හුණු ගලක් කුළු ගෙඩියෙං බිදිනවා බොරු. ගල තුනෙං එකකට විතර හීං වුනා. කුළු ගෙඩි පාර වදිංට වදිංට ගල රවුං වෙනවා. ඒ වුනාට ඉළ ඇදෙනකං ගල බිංදත් ගල අස්කොරාගංට බැරි වුනා විලියොංට. ඇගේ අමාරුව හිංදම විලියොං ගියා නිකලංදේ රාපොළ පැත්තෙ. මූ රා පොලේදිත් කිව්වේ රාපොලේ උංට අනාගතේ කට ගැස්මට මයියොක්කයි ඌරු මසුයි දෙන හැටි. ඉතිං මේකා රා මතෙං ගම් මැද්දේ හතර ගාතේ වැටිලා කලුවරේ ඔලුව උස්ස ගංට පුලුවං වුනාම වැනි වැනීම ගෙදරට යනවා අර හීං අඩි පාරෙං. මූට ඉතිං දැං නිතරම මතක් වෙන්නෙ අනාගතේ මයියොක්කා කොටුවට වදින වල් ඌරංට උගුල් අටවලා ඌරු මස් කන එකයි ඌරු මස් විකුණලා සල්ලි හම්බකරන එකයි.
ඕවා ගැන හිත හිතා වෙරි මරගාතේ අඩි පාරේ ගේ දිහාවට යද්දිං මෙංන බොලේ ගෙට යන අඩි පාර මැද වල් ඌරු තඩියෙක් දපල ඉංනවා. මූට දෙලෝ රත්වුනා. දැං මොනවා කොරංටද. විලියොංට හිතුනා 
“දැං ඌරු තඩියා මයෙ දෙපරැංදෙං  රිංගනාවා සිකුරුයි.”
විලියොංට සූරු හිදුනා. ඇති පදං වීරිය අරං දුංනා පයිං ඌරා බඹ ගානක් වීසික්කා වෙංට තරමට පයිං පාරක්.
කකුළ ඌරගේ ඇගේ වදිද්දී තමයි මූට මතක් වුනේ,

"යකෝ මේ ඌරෙක් නෙවේ නොවැ; මම උදේ ඉදං කඩංට තනාපු ගල්ගෙඩිය නොවෑ"


 කියලා හිටං . එතකොට පෙරහැර ගොහිං අහවරයි.


ඊට පහු මහෙං මහට කාලේ ගෙවුනා, මයියොක්ක වගාව හිතේ හැටියට වැවුනා. ඒත් ඌරංට රජ මගුල්. වගාව ඌරංට දීලා විලියොං බලං උංනා. විලියොං ආයෙත් වත්තට පය තිබ්බේ ආයුබොවං වල් ඌරො හිතේ හැටියට වගාව පාළු කොරලා අහවර උනාට පස්සෙං පහු ඕං.
ඇයි විලියොංට මෙහෙම වුනේ එක ගලෙං කුරුල්ලො දෙංනෙක් මරාගංට ගිය හිංදයි. ඒ කියංනේ චේතනාව අපිරිසිදුයි.
ඒ හිංදා හැමෝම ඔළු ගෙඩිවලට දා ගංට ඕනේ බොලල්ලා යමක් කොරනවනං හෙම ඒක,
“බෝම පිරිසිදු චේතනාවෙං”
විතරක්ම කොරංට ඔනේ ආයිබොවං.