Thursday, February 17, 2011

ලොකු අම්මගේ ජංම ගති

ආයිබොවංට, පහුවුන දාක වෙච්චි සංගදියක් කියංටයි ලක ලෑස්ති වෙංනෙ ඕං. මයෙ ලොකු අම්ම ඉංනෙ අපේ දිහාට වතු දෙකක් එපිටහිං වෙංට. උන්දැගෙ සරිරෙත් බෝම හයියයි ඇස්වහක් කටවහක් නැහැ හිතත් හයියයි. ඒ වුනත් මං ගෙවල් දිහාවෙ ඉංන වග දැන ගත්තොතිං හෙම ආයෙ දෙකක් නෑ උංදැට සිද්ද කොරවා ගංට ඕන කාරිය යංනෙ මයෙ පිටිං තමයි ඕං. ඉතිං උංදැගෙ ගෙදර උංනෙ උංදැයි ලොකු අප්පච්චියි දෙංනා විතරයි. කෙල්ලො දෙංනා දීග දීලා. කොල්ලා හමුදාවෙ. ඉතිං ඔංන බැරි වෙලා‍වත් උංදැගේ කටෙං,

‘පොඩි පුතේ මෙහාට වරෙං, මයෙ අප්පච්චී................’

කියලා කීවොතිං හෙම මම ලොකු අම්මලාගේ දිහාවෙ යංනෙ මොනව නමුත් සුමයක් උංදැට කොරංට බලාගෙනයි. පෙර ආත්මෙ ණයක්ද කොහෙද මයෙ හිතේ.

ඉතිං බොලව් මාත් ඉතිං එහෙම වෙලාවට විගහට ලොකු අම්මලායෙ දිහාවට ගොඩවෙනවා.

‘ඇයි ලොකු අම්මා, මොකක්ද කාරිනාව’

කියාගෙන හිටං. හැබැයි මම එහාට යංට සුනංගු වුනොතිං හෙම උංදෑ වීරිය අරං කෑ ගහංට තියා ගංනව ගමටම ඇහෙංට. ඒ උංදැගෙ හැටි මෙංන මේ විදිහෙ  උංදැටම උරුම ජංම ගති  නොයෙකුත් තිවුනා. ඉතිං මේ පහුංදාක වෙච්චි සංගදියත් උංදැගෙ මේ ජංම ගතියකට සංබංදයි. ඒක කියංට තනද්දියි මේ ටිකත් මතකෙට ආවේ. ඒවත් කියලම ඉංනංකො. කාලෙකට කලිං දාක අර මුලිං කීව සුවරෙං ලොකු අම්මා බිං කළුවර වැටෙන වෙලාවෙ මට කතා කොරලා හිට කිව්වා,

’මයෙ අප්පච්චී, ලොකු අප්පච්චිට සනීප මදි, මී දෙං හාතියල් වෙලේ ඉංනේ. ඒකා ඇරං අවුදිං වත්තෙං දිගෑලි කොරලා බැදහංකො’

කියලා හිටං. උංදැට වතු දෙකක් තිවුනා උඩහවත්තට ගියෝතිං මට ආයෙ එංට වෙංනෙ වල් ඌරංගෙ ඇගේ හැප්පි හැප්පි. ඒ හංදා මං කිව්වා,

‘හොදයි මං යංනං. හැබැයි මීදෙං බදිංනෙ පල්ල්‍වෙත්තේ ඔංන’

කියලා හිටං. ලොකු අම්මා කිව්වා,

‘අනේ මයෙ අප්පච්චි, එහෙමනං උඹ ගොහිං පල්ලෙවත්තෙං බැරිනං ඕනෑ වත්තකිං මීදෙං දිගෑලි කොරලා වරෙං.’

ඉතිං මං ඒම කොරලා රෑ බෝ වෙංට කලියෙං ගෙදර ආවා.

තව දවසක් ලොකු අම්ම මට කතා කොරා. ඒ කොරලා හිටං සල්ලිත් එක්ක බූලියක් දීලා මට කියපි ඒකෙං එකක් ලාබුතෙල් ගේංට කියලා හිටං. මම නිකමට කිව්වා,

‘මේකෙං එකක් ‍ලාබුතෙල් ගේංට තැංනෙකුඹුරටම යංට වෙයි’

කියලා හිටං. මොකෝ සම්පකාරේ තෙල් කඩේ තියෙංනෙ එහෙ හංදා. උංදා කීවා,

‘අනේ මයෙ අප්පච්චි, එහෙමනං උඹ ගොහිං තැංනෙකුඹුරෙං බැරිනං ඕනෑ කුඹුරකිං මේකට ලාබුතෙල් අරං වරෙං’

කියලා. මොකක් නමුත් උංදැට ඕනෑකරන කාරියක් කොරා ගංට ඔනෑ වුනාම මේ විදිහට අනික් එකා කියපු පදේ එක්ක ඒ පදේ කොට කොරලා හිටං වාක්කියක් හදලා කියන එක ලොකු අම්මට තිවුන තවත් ජංම ගතියක්.  ඒක නිරායාසෙංම ලොකු අම්මට කියවෙනවා. ඒකේ බරපතලක් ගංට දෙයක් නෑ බොලව්. ඒ හංදා තමයි මං මී දෙං බදිනවා ‘පල්ල්‍වෙත්තේ’ කියද්දිං උංදෑ කිව්වේ ‘පල්ලෙවත්තෙං බැරිනං ඕනෑ වත්තකිං’ කියලා. ඒත් එක්කම මං තෙල් ගේනවා ‘තැංනේකුඹුරෙං’ කියද්දිං උංදෑ කිව්වේ ‘තැංනෙකුඹුරෙං බැරිනං ඕනෑ කුඹුරකිං අරං වරෙං’ කියලා. ඉතිං ඒකෙං ලොකු අම්ම ඉඟි කොරව්වේ තැන කොතැන වුනත් උංදැගෙ කාරිය කෙරෙනවනං ඇති කියන එකනේ ආයිබොවං. ඉතිං ඒම කියද්දිං උංදැගෙ බැරිකම හංදා පොඩි සංවේගෙකුත් අවුදිං උංදැට ඔනෑ දේ කොරලා දෙංටම හිතෙනවා.

දැං ඉතිං කියංනංකො පහුංදාක වෙච්චි ‍සංගදිය. පහුංදාක රෑ මැද ලොකු අම්ම මං බුදිය ගංට ලක ලෑස්ති වෙනකොටම කෑ ගහනවා ඇහුනා අපේ වැට ලගටම අවුදිං.

‘පොඩි පුතේ, පොඩි පුතේ මෙහාට වරෙං මයෙ අප්පච්චී................

 කියලා.මොකැක්දෑ බොල මේ රාත්තිරියේ හදිස්සිය; මැදියමටත් කිට්ටු හංදා මාත් දිව්වා ලොකු අම්ම ළගට,

‘ඇයි, ඇයි ලොකු අම්මා...................’ කියාගෙන.

ලොකු අම්මගෙ එකම පුතා රාජකාරි කොරංනෙ හමුදාවෙ නෙව. බැලිංනං මේ රාත්තිරියේ ඒකා ඇවිත් නෙව හදිසියෙම ගෙදෙට්ට. තවත් උගෙ සගයො දෙංනෙකුත් එක්කං. මෙවුං  මොකද කොරංනේ මගිං කඩේකිංවත් මොකවත් බඩට දා ගංනේ නැතුව අවුදිං; ලොකු අම්මට කියලා රාත්තිරියෙ කංට මොකවත් තම්බංට කියලා හිටං. අම්මෙක්ට වාවනවා යෑ දරුවෙක් කුස ගින්දරේ ඉංන එක. ඉතිං මුංට කටට රහට කංට දෙංට මේ රාත්තිරියේ  ගෙයි හරියක මොකවත් නැති හංදා, මොනවා හරි ගෙංන ගංට මාව කඩේ යවංට තමයි ලොකු අම්ම මට කෑ ගාලා කතා කොරව්වේ. ළග පාත මොකෙක්වත් හිටියෙත් නෑ. ඒත් ලොකු අම්ම බෝම හෙමිං සුවරෙ පාත් කොරලා මයෙං අහනවා,

‘පොඩි පුතේ, මේ වෙලාවට කඩ ඇරලද අප්පච්චී................’ කියලා.
  
මම අහුවා ‘ඒ මොකෑ ලොකු අම්මා’ කියලා.

ඊට පස්සෙ පුතංඩියා සගයො දෙංනෙක් එක්කං ආව විත්තියත් බෝම ආඩංබරෙං මට කිව්ව. ආයිබොවං, මේ පැත්තේ  එහෙම මහ රාත්තිරිය වෙනකං කඩ ඇරං බලාන ඉංන තැං නෑ බොලව්. ඒ වුනාට ටවුමෙ කෙළවරට වෙංට ඉංන කරුපයියා මුදලාලි නිදා ගංනෙත් කඩේම හංදා මහ රෑ වුනත් දොරට තට්ටු කොරාම බඩුවක් මුට්ටුවක් ගංට පුළුවං. ඒක මතක් වුන හංදා මං ‍කිව්වා,

‘හැබැයි ලොකු අම්මා, කරුපයියගෙ දොරට තට්ටු කොරෝතිං නං කඩේ අරී. මිනිහා නිදා ගංනෙ කඩේමනේ’

ඒක ඇහුන ගමං ලොකු අම්මගේ අර කිව්ව ජංම ගතිය ඉබේටම මතුවෙච්චි. උංදැට ඉබේටම කියවෙච්චි,

‘අනේ මයෙ අප්පච්චි..............., එහෙමනං උඹ ගොහිං කරුපයියගෙං බැරිනං ඕනෑ ........යෙක්ගෙං සාඩිං ටිං එකක් අරං වරෙං’

7 comments:

sithuwilimandiya said...

හපොයි,කාල වරෙන්කෝ සාඩින්.අපේ ඉස්කෝලේ යන කාලේ ගුරුන්නාන්සේ කෙනෙක් හිටියා,ඔය ජාතියෙම වෙච්චි.මේ කියන එක වාක්කියක්."පෙරලෙනවනම් ලෙන්නේ මෙන්න මෙතන හරහා"

බූරු පුතා said...

හතරමහ විලිලැජ්ජාවයි නෙ බොලං කාරණාව.
ඉතිං ඔය කියන එකෙං සාඩිං ගන්ට නං කනත්තකට වත් ගොහිල්ල ලඟදි වලදාපු පිරිමි මල සිරුරක් වත් ගොඩගන්ට වෙනව නෙ බොල.

charmi said...

අනේ මයේ අප්පච්චි උඹ එහෙනං ලොකු අම්මටත් මඩක් ගැහුවා නේද මයේ පුතේ?

විකී said...

සිම - ලොකු අම්මගෙ මල්ලිත් ඉසකෝලෙ මහත්තැං කෙනෙක්.
බූරුපුතා ට - ඒක ලේසියි බං. මුදලාලිගෙ කඩේ ඇර ගංට මං කෑව කට්ටට වැඩිය
චාර්මි ට- කොහේද බං මෙච්චර දවස් හිටියෙ. චී චී චී...........එහෙම මඩ ගහනවද මං උංදැටග

nawammawatha said...

ඉතිං මයෙ අප්පච්චි ඕනෙ ......යකින් ගෙනාවැයි කියාපු එක? හිකිස්... මහෙව් ලොකුඅම්මෙක් ගැන අහැව්වමයි නෙව උපන්තේකට.

අනුෂ්ක තිලකරත්න said...

අනෙ මයෙ අම්මෝ..මෙහෙමත් ලොකු අම්මෙක්...ඕන ..යෙක් ගෙන ඇන්න වරෙන් ඉතින් කිව්ව විදිහට

කිරිපුතා said...

මයෙ අප්පච්චි සාඩිං ටිං එකක් ගෙනාවෙ කරුපයියගෙන්මද නැත්නං වෙන ....යෙක්ගෙන්ද?