Tuesday, December 21, 2010

පිච්චිය නැති අල්ලපනල්ලේ ලමසත් කොරන වැඩ




කැතිගානාකදුරේ ගමෙං කැංදං ආපු ලමසා තමයි සුරා ගුරුන්නාංසෙගේ අඹුව. සුරා ගුරුංනාංසෙට කොයි එකටත් ඉංන සිරිදුව උනෙත් ඉතිං උංදෑම තමයි. සුරා ගුරුංනාංසේ වළ පයයි ගොඩ පයයි තියං ඉංන අල්ල පනල්ලෙ උංනැ හදිස්සියේ හහ් ගෑවොත් ඒම ලමසගෙ කයි කතංදර බොලාලට කියන එක බොරු.  ඒ හංදම උංදෑ ගැනත් වටිං ගොඩිං කියලා තියෙන එක ඇගට ගුණයි කියලා හිතුන හංදා එහෙම කොරංට හිතා ගත්තා ඕං. හැබැයි මේක උංදැගෙ කෙරුවාවකට සුරා දුංනු උත්තරයක් බෝම ඉස්සර.


ගමේ කොයි එකාටත් ඉතිං නැතිබැරිකං කියන ඒවා උපදිනවා නෙව, හිටි අඩියෙම. ඉස්සර කාලයක් සුරාගේ ගෙදෙට්ටත් නැතිබැරිකං ගොඩවෙලා උංනා කියමුකො. ඉතිං වැඩියෙංම නැතිබැරිකං තිවුනේ ගේ ඇතුලේ කුස්සිය පැත්තෙ. පිටිං ගේන ලුණු, සීනි, කරවල ටික බෝම හිපාඩුව දැණුනා. ඇගේ පතේ වේස නිවාගංට රණවරා, පොල්පලා ටිකක් හරි, කෝපි කෝප්පයක් හරි බී ගංට සීනි ඩිංගිත්තක් ගේ හරියේ නැති එක බෝම තදේටම දැණුනා. කුඹුරේ පිටියෙං හාල් ටික පොල්ටික, පළා ටික ලැබුන හිංදා වගෙම වැලි කාලා හරි ඉංට පුළුවං විදිහට දරු මල්ලො හැ ගැහිලා උංනු එක මේ හැම එකටම බෝම ඉස්පාසුවක් වුනා.

ඉතිං පිටිං අඩු වැඩිය ගංට සුරාට පිච්චිය නැති කාලෙක දවසක් සුරා ගෙට ගොඩවෙද්දී ලමසයි සුරාගේ කොල්ලො කුරුට්ටෝ ටිකයි වටවෙලා බිත්තිය දිහාව කට කොට්ටං අල්ලං බලං ඉංනවා. මේ මොකද බොලව්, තොපිට අමු කැවිලද?  කියලා ඔළුව දාලා බැලිංනං සුරා දැක්කේ බිත්තියේ ගහලා තියෙන අලුත්ම ඔරලෝසුව. සුරා ගුරුංනාංසේ ඇහුවා ගත් කටටම;

කොහෙංද බොලං මේක

 කියලා. ඒකට ලොක්ක එක පාරට පට පට ගාලා කියාපු උත්තරේට සුරාට ඌරු ජුවල්;

මනි බඩු කාරයගෙං අම්ම හැටපහකට ගත්තෙ.

සුරාගේ අඹුව මනි බඩු කාරයගේ නානප්පකාර කයිවාරුවට වසී වෙලා හිටං ගේ හංගං උංනු පිච්චිය දීලා බිත්ති ඔරලොසුවක් අරං. යකො මගෙ අතේ පිච්චචියක් නෑ මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා සුරා දැං හිත්තයා එක්ක වාද කොරනවා බෝම තරහෙං. ඒත් ලමසටනං බෝම සතුටුයි කොරාපු දේට. ඉතිං මේ වෙද්දි උංදෑ හිටියේ කොරාපු දේ ගැන බෝම උජාරුවෙං.

සුරාට අහවල් එකකටද ඔරලෝසු.  සුරා දංනවා කුකුළා අඩලනකොට පාන්දර පහ විත්තිය. ඉං හෝරාවක් ගියාම අවිච්චියා කෑ ගහනවා. තව හෝරාවක් යනකං කපුටො කෑ ගහනවා. ඔය කාරියං වෙද්දිං උදේ හත විතර වෙනව. දෙමලිත්තො වත්තට එංනෙ ඊළග හෝරාව ගෙව්නම. ඉරගල මුදුං වෙද්දි දවවල් දොළහයි.  හවස වැඩපොළ ඉවරකරංට කියලා තමයි හෙංදිරික්කා මල් පිපෙංට ගංනෙ. ඔය විදිහට පරිසරේ වට පිටාව එක්ක උංනු සුරාට ඔරලෝසුවෙං ඇති පලක් තිව්නේ නෑ.

කොහොමිං කොහොම හරි සුරා දැං තරහ නිවෙංටත් එක්ක කඩ මංඩිය පැත්තට යංට හිතාගෙන යංට යනවා. සුරා ගුරුංනාංසේ කියංනේ තමංගෙ තරහ අතිං පයිං පිට කොරාපු මිනිහෙක් නෙවේ නෙව. මේ වගේ ලමස නිසාවෙං ඌරු ජුවල් එන කාරනාවලදිං සුරා කොරව්වෙ ම ඇරලා ගොහිං තරහ නිව්නම ගෙදෙට්ට එන එක. සුරා යනවා දැක්ක ලමසට බෝම දුක හිතුනා. ඔරලෝසුව දිහා ඇහැක් ඇරලා නොබලංට හේතුව ඒකට තියෙන අමනාපෙ බවත් ලමසා දංනවා. ගෙදෙට්ට ලැබුන මේ අළුත් වස්තුව දිහා බලා ගත් ගමංමයි තවම පොඩි උං ටික. ඒ හිංදා අප්පගෙ හැසිරීම උංට ගානක් නෑ. එහෙම හිටපු කොල්ලංට ලමසා මෙහෙම කියනවා,

ආං උඔලගේ අප්පොච්චා ආයෙත් කොහෙද යනවා. කහට කෝප්පයක් දෙංටවත් සීනි ඇබිංදක් නෑ නෙව ගේ හරියේ

කියලා, ඒ කරලා හිටං සුරාට ඇහෙංට සද්දෙං මේම කිව්වා,

ඇහුනද? කඩ මංඩියටනං යංනෙ පොඩි උං එක්ක කහට බොංට සීනි කාලකුත් අරංම වරෙල්ලා.

මේක ඇහුනම සූරාගේ දිවේ උංනු යකා එළියට පනිංට ඔංන ලෑස්ති වෙනවා.  යකො මේකිට ඔරලෝසු ගංට සල්ලි තියෙනවා. ලමස කොරාපු වරද පෙංනල නොදී යන එක වැරදි විත්තියත් එක්ක මේක පෙංනංට හොදම වෙලාව දැං තමයි කියලා හිතපු සුරාගෙ හිතට ආවා හොද පද.
සීනි කාලක් මං ගේංනෙ මගෙ අහවල් එක දීලා ඈ වගෙ දෙයක් කියංට. ඒ උනාට සුරා ගුරුංනාංසේ ලමසට දීපු උත්තරෙං, තමංගේ සුවාමි පුරුසයා තමංට කොයිතරංනං ලෙංගතුද කියලා හිතෙනවත් එක්කම තමං කොරේ අයුතු දෙයක්ය කියන එක උංදැට තේරුං ගියා.

සුරා කිවේ මෙංන මේ පද ටික,

උඹ ඔය ඔරලෝසුව ලෙවකාලා පොඩි උං එක්ක කහට බීපං.

6 comments:

SL said...

Good line by Sura!

Anonymous said...

ඈ බොල ගැමියො, උඹ මෙච්චර කල් කොහෙද වහන්ගු වෙලා හිටියේ ? එකටත් එක්ක තව කතා දෙක තුනක් වත් දැම්මනන්.............

විකී said...

Anonyයෝ අනිවාර්යයි දාංනං. SL-Thanks

චමිල said...

කතාවටම ගැලපෙන පින්තූරේ....

``` Outsider``` said...

මේ සැරෙත් නියමයි කතාව...

විකී said...

චමිල, OS බෝම පිං