Showing posts with label මීරුප්පේ මාමාගේ ජනකවි. Show all posts
Showing posts with label මීරුප්පේ මාමාගේ ජනකවි. Show all posts

Thursday, March 10, 2011

හිත ගිය හිගුරු මල


පිංචි එතනා මළ පොතේ අකුරක් අදුරගෙන හිටං සද්ද කොරලා කියංට බැරි එකී වෙච්චි. ඒ වුනාට පිංචි එතනට ඇලේ දොළේ, ගහේ වැලේ, කැලේ, මලේ, සතා සීපාවගේ, රැහැයි නාදේ, හාතියල් වෙල් යායේ රැව් දුංන කුරුළු නාදේ, අව් කාස්ටකේ, වරුසාවේ, දූවිලි පුසුබේ විතරක් නෙවෙයි මෙකී නොකී  හැම තැනම  අකුරු වෙලා තිව්න කංදක් තරං දේවල් පපු කැනත්තට වැටහෙන විදිය බෝම තේරුං කොරලා කියව ගංට  සුවල්ප වැටහීමක් නෙවෙයිලු තිවුනේ ඕං. ආයිබොවං ඒ විතරක් යෑ. ඒ හැම දේම බෝම අගේට කවි කොරලා හිටං තාලෙට කියංටත් පිංචි බෝම දස්සයිලු. ඉතිං මේ කවිකාරිට බෝම මනාප වෙලා හිටං ලංදෙ දෙවැටේ පිංචිගේ හිත ගංට කියලා “ගොං පස් අල්ලංට වගේ” උංදෑ පස්සෙ වැටුනේ කවුද දංනවද ආයිබොවං. ඒ කාලේ ගමේ ඉස්කොලේ උංනු ලොකු ලොකු ඉස්කෝලේ මහත්තැංලු.

කොයි තරංනං දැනමුත්තෙක් වුනත් පිංචි එතනා ඒකිගෙ ආලවංතකම එහෙම ලේසියෙං පුදංට ගොහිං නෑල්ලු බොලල්ලා ලොකු ඉස්කෝලේ මහත්තැංට.

මේ කාලේ තමයි පිංවත්තේ ඉස්කෝලේ බෝම ජයට තිව්න කාලේ. කංනංගර මහත්තැං මද්ය විද්යාලෙ හදංට කලියෙං.

“උඔ වගෙ එකෙක් ගමේ හදලා ආයෙත් මෙහෙ වරෙං”

කියලා හිට තමයිලු ඒ කාලේ ‍සිදාදියෙං ඉස්කොලේ මහත්තැංලා ගමේ ඉස්කෝලවලට එවංනෙ. ඒ කියංනෙ, ඒ වගේම දැනුමැත්තෙක් ගමේ හදංට  කියන එකලු. හිතාපල්ලකෝ ඒ චිංතනේ කොයතරංනං උත්කුරුස්ටද කියලා හිටං. මේක වැරදියට ‍උච්චාරනේ කොරලා වෙන නොසංඩාලකං කොරාපු ගුරාලත් ඒ සංදියෙ උංනලු. මොකෑ තමං වගේ දැනමුත්තෙක් ගමේ හදංට ආව ගුරාලා තමං වගේ රූප සොභාවෙ උං තනලා හිටං පැදුරටත් නොකියා යංට ගිය කතා පිංචි දංන හිංදා.  ඒක ඒම වැරදියට තේරුං ගත්ත සමහර උං ගමේ බිංන බැස්සලු. ඔය මේ ගමෙත් සමහර තැංවල දැනුත් ඉංනේ එහෙව් ගුරාලා හැරමිටියට බර දීගෙන හිටං.

මෙහෙව් දේවල් මට කියලා දෙංනෙ මීරුප්පෙ මාම නෙව. මේව ඉතිං උංදැගේ ඉස්මරනේ අවුස්සලා, අල්ලසට බුලත්විටක් හෙම දීලා විතරක් යෑ ඒක වංගෙඩියේ කොටලත් දීලා එලියට ගත්තු දේවල් ඕංන. මීරුප්පෙ මාමා කියව්වේ පිංචි එතනා උංමාද චිත්තරා වගේ කියල හිටං. උංදැත් දැං වයසයි නොවැ සමහර විට උංමාද චිත්තරා දැකලත් ඇති. ඒ තරමට වයසයි උංදැටත්. ඒත් ඔය කීව කවියට  සීපදේට බෝම දස්ස හිටිවන කවිකාරි වෙච්චි පිංචි එතනා කෙනෙක්නං හැරමිටියෙං යනවවත් මංනං මේ ගං තුලානේ කවදාවත් දැකලා නෑ සත්තකයි ආයිබොවං.

ඔංන ඉතිං කතාවෙං ලංවෙංට බැරිවුනු සෙනේවංතකමට  පිංචිට තේරුං යන සීපදෙංම තේරුං කොරලා දෙංට තමයි දැංලොකු ඉස්කෝලේ මහත්තැං උත්සහ කොරංනේ. ඔංන දවසක්දා තනිපංගලමෙ ඇස්සර ගැටිච්චි පිංචි එතනට සිදාදියෙං ආව ලොකු ඉස්කෝලේ මහත්තැං  ඒ ගං තුලානේ සිරියාව පිංචිට ආදේස කොරල හිටං මෙහෙව් සී පදයක් කියනවලු,

හිගුරු මලයි පතනට දෙංනේ                 පිරිය
තිසරු සරයි විල මත පෙංනා                  සිරිය
සඳරු මවයි මුව මත මැවෙනා                සිරිය
බමරු පතයි අවසර රොං සුව                 රිසිය 

ඕක තාලෙට කියල හිට මීරුප්පෙ මාමා මට කියනවා,

‘පිංචිට ආගංතුක දෙයක් යෑ බොල කයිය, ඊට පස්සෙං පහු ඒකිත් කියාපි මේම’
                                             
හිගුරු පෙති හළා පතනේ යාය            පුරා
තිසරු තටු හැලී විල මත හිදී                 බලා
සදරු මුහුන සගවයි කෙළවරේ            වළා
බමරු කුමට රොං උරනා පියුම්             තලා

ඒකෙං කියවෙලා තියෙංනේ සිදාදියෙං ආව ඇත්තංට සෙනෙහෙ පුදල ගමේ ගෑනූ වළේ වැටුනු හැටිලු
                                                       
තමං එහෙව් නොසංඩාල වැඩ නොකරන විත්තියත්, පිංචිට හැබෑවටම මනාප විත්තියත් තේරුං බේරුං කොරංට ඊට පස්සෙං පහු ලොකු ඉස්කෝලෙ මහත්තැං කියලා තියෙංනෙ මෙංන මේ සී පදේ,

හිගුරු මල සුවද නැහැයට        දැනෙනවනං
තිසරු විල රඟන දෑ‍හට          පෙනෙනවනං
සඳරු  මුව සුවය  හිත කිති          කවනවනං
බමරු දුරිං ඉද රොං ‍බොන              ඕනතරං

ඒ ටික කණේ වැටුනට පස්සෙං පහු පිංචි බෝම පැහැදුනාලු නෙව ඉස්කෝලෙ මහත්තැංට. එදා ඉදං ඒ ආලවංතකම ලියලංට ගත්තලු. ආයිබොවංට මං කීව නෙව කමවදාකවත් මං පිංචි කෙනෙක් ගමේ දැකල නැති විත්තියක්. මං ඉතිං ඇහුවා මාමංඩියාගෙං,

‘මාමංඩි දැං ඉතිං ඒ පිංචි කොයි’ කියලා හිට.
උංදෑ කියාපි,

‘ලොකු ඉස්කොලෙ මහත්තැං කැටුං දීගතල ගියෑයිං පහු  මාත් නොදැක්ක එකී;  තෝ වගේ කජුකිරි කොල්ලංට කොහෙ ඇස්සර ගැටෙංටද බොල?

Thursday, December 30, 2010

තනිකඩයගේ පැල් කවිය

ඔංන කාණ්ඩෙම අවුරුද්ද ගෙවෙංට කලියෙං මීරුප්පේ මාමා කිව්ව පරණ කාලේ කවියක් කියවල ඉමුකො හෙනං. ඒකාලේ පැල් රැකපු තනිකඩයෙක් තමංගෙ හිත ගිය ළමිස්සිට ඇහෙංට කියාපු කවියක් කියලා හිටං තමයි මාමාණ්ඩි මේක කියව්වේ. රෑ හඳ කාලෙක තනිපංගලමේ පැලේ ඉංදැද්දිං පෙනුන දැනුන දේවල් එක්ක හිත ගිය ඇත්තී ගැන කියවුනු කවියක්ලු මේක.
තනිපංගලමේ පැල් රකින මේ හාදයගේ දෑහට පේනවා කන්ද උඩිං පායාගෙන එන හඳ. ඒ හඳ දැකලා හිටං උගෙ සිහියට එංනේ තමංගෙ හිතේ ළගින ආදරවංතිය. හැබැයි කොච්චරනං ආලවට්ටං දැම්මත් මේකි නෙවේ ඒවට ඇල්ලෙංනෙ. ‍දැං මේ රාත්තිරියේ කොඳ මල් පිපිලා ඒ සුවදත් මේ හාදයට දැනෙනවා. පැල් රකින එකා එංනේ නිදා ගංට බලාන  නෙවේ නෙව. ඌ රාත්තිරිය අවදියෙං ඉංට ඕනේ. මේ අහන දකින දේවල් එක්කං නිදාගංට උවමනාව තිබුනත් මේ හාදයට නිංද අහලටවත් ආවේ නෑ බොලව්. ඒ හිංදාම සිහියට ආව සාංකාව උංදෑ පිට කොරව්වේ මෙංන මේ විදිහටලු ආයුබොවං.
කන්දටත් උඩින් පුන් සඳ මෝදු             වෙලා
මන්දටත් නොඑන සාවිය හිදී                   බලා
ළන්දටත් දැනේ කොඳ මල් සුවඳ             ගලා
                              නින්දටත් ඉතිං මට දැං කොහෙද           වෙලා

Saturday, September 25, 2010

මුලාවේ වැටුන මාමණ්ඩිට

      
      මීරුප්ප කිට්ටුව ගමක් තියෙනවා තලාව කියලා. තලාවේ බෝම සිරියාවන්ත කුඹුරු යායක් තියෙනවා. මේ යායේ අස්වැන්නෙං බඩ පුරව ගංට කලියෙං ඒ සිරියාව දැක්කම හිත පිරෙනවා. 
          
     මේ පැත්තට ඉතිං මහා වරුසාව එංනේ ඇහැළ මහෙං පස්සේ. ඉල්, උදුවප් මාසවලදී බෝම තදයි. ආකාසේ වළාකුළුවලිං පිරිලා.මී වදයක් වගේ මේ කාලෙට. පාලොස්වක පෝයටවත් හඳ පේංනේ නැහැ. ඒ තරමට වළාකුළු. ඒත් එක්කම කොහෙටත් දැනෙන දුරුතු හීතලත් හරිම තදේට  දැනෙනවා. හැබැයි මේ හීතල බාල මහළු කාගෙත් සරීරවලට දැනෙන විදිහයි ආලවංත හිත්වලට දැනෙන විදිහයි දෙකක්.

තලාව ගමේ හිටියා තනිපංගමේ ජීවත්වුන ඉළංදාරි වයසේ කොලුවෙක්. මේ කොලුවා තදෙංම ආලෙං බැදිලා  හිටිය  පෙම්වතිය හිටියෙත් ඒ ආසංනෙමයි. හීතල දුරුත්තට කලිං මේකිව සහේට ගංට තමයි හිතං හිටියේ. ඒත් ඒකට කෙල්ලගේ අප්පච්චිගෙං මනාපයක් තිව්නේ නෑ. කොල්ලා හොද හිටිවන කවිකාරයා. දැං උදුවප් මාසෙත් ගෙවෙනවා, හීතල දුරුත්ත අත ළගටම ඇවිත්. මේ ඉළංදාරියාට පෙම්වතිය පෙනුනේ හඳක් වගේ.  අර මුලිං කීවේ උදුවප් මහට පාලොස්වක හද පේංනෙ නෑ කියලා හිටං. වළාකුළු හන්දා. හරියට ඒ වළාවෙං වැහුන හඳ  වගේ මේ ඉළංදාරියාගේ හදවතේ පායපු හඳ කෙල්ලගේ අප්පච්චී ඉළංදාරියාගෙං වහං කොරගෙනයි හිටියේ.

කෙලීගේ අප්ප  උංගේ ආලවංත හිත් ගැන නොදැන මහා මුලාවක වැටිලා කියලා ඉළංදාරියා හිතුවා. දැං කාලේ වගේ මේ පුරස්නේ බේරුං කොරගංට කෙල්ලගේ අප්පට හත්පොලකට පිහියෙං අණිනවා වෙනුවට මේ කොල්ලා රෑට රෑට පෙම්වතීගේ අප්පච්චීට විතරක් නෙවෙයි මුළු ගමටම ඇහෙංට කවියක් කිව්වා. මෙන්න මෙහෙම,  
                                                                                           
හීතල දුරුත්තට අත වනන            වෙලාවේ
මං පැලේ තවම තනියම                  තලාවේ
උදුවප් මහේ හඳ හංගන                  වළාවේ
කවුරුද ගමං යංනේ මං                   මුලාවේ

මීරුප්පේ මාමාගේ ජනකවි






මේ පැත්තේ, දැං කාලෙත්  පරිසරයේ වැඩිවෙනසක් නැහැ.  උරාගලිං පටං ගත්තම උඩුවෙල, රටේමුල්ල, ඇතුල්ගම, නැහිනිවෙල, හිප්පල, බටගල්ල, සගම, නුගලියද්ද ගොඩමුන්න, මැදගම, කපුලියද්ද ආයෙත් කිවුල්ළිදේ ඉදං කන්දේවෙල, තලාව, මීරුප්ප, පස්ගම,හේවාවිස්ස, , ඹලුවාවත්ත, දෙහල්කඩ, හගුරංකෙත එක දිගටම කුඹුරු යාය ඕං.

ඒ උනාට ඉස්සර; මේ කොයි යායෙත් අස්වද්දන කාලෙට මේ කාලෙට වඩා සිරියාවයි. හැම දේම පටං ගත්තෙත්; අහවර උනෙත්; කලාවෙං. කවිය තමයි ආයුබොවං අවිය වෙලා තිවුනේ, කොයි වැඩෙත් දුකත් සතුටත් හෑල්ලු කොරාගංට. මගේ මාමංඩිගේ ගං පළාත මීරුප්ප. උන්දැට හැමෝම කිව්වේ මීරුප්පේ මාමා. ඒ කාලේ කවිය ගැන මීරුප්පෙ මාමට බෝම මතකයක් තිබ්බා. උන්දැ මතක් කොරලා කීව කවි  හැමෝටම  කියවංට බොලොග් එකට  ගේංට හිතුනා. ඉතිං ඕං කවියේ නිධාන කතාවත් එක්කම ඒ කවි කියවමු.

ආයුබොවං මේක දාන ලේබල් එක (label) මීරුප්පේ මාමාගේ ජනකවි අද ඉදං කියවංට පුළුවං ඕං.