Saturday, October 16, 2010

එහෙම මොකවත්වෙන්නේ නැහැ


ගමේ කුඹුරු යායවල් කෝකටත් නිච්චියට අදුන ගංට නමක් තියෙනවා.
ගම්මු නෙල්ලි ගල කියලා හදුන්වපු පරුවතේ තිවුනේ කුඹුරු යායක් මැද . මේ කුඹුරුයායට ඒ හංදා ගම්මු කිව්වේ නෙල්ලි ගලේ යාය කියලා. ඒක ගම්මුංගෙ කටෙං කියවුනේ බෝම සුරුහමට නෙලිගලයාය කියලා හිටං ඕං. ඉතිං මේ නෙලිගල යායේ ඇළ ළගම කුඹුර  සුරාගේ. මෙහෙ ඉතිං හෙල්මළු කුඹුරු නෙව තියෙංනේ. ඊට පාත කුඹුර අප්පොගේ. සුරයි අප්පොයි කියන්නේ අහසට පොළොව වගේ. ඒ වුනාට සුරාගේ වක්කඩෙං පැන්නට පස්සෙ තමයි අප්පොගේ කුඹුරටත් වතුර ගියේ. එක යායට අස්වද්දන හිංදා ආරවුල් වුනේ නැහැ ඕං. අප්පොගේ කුඹුරයි සුරාගේ කුඹුරයි වෙංවෙන නියරේ උඩ මී හරකෙක් විතර ගල් ගෙඩියක් තිවුණා. ඒ හිංදා කිසිම දවසක අප්පොට සුරාගේ නියර සැහැල හිටං මායිම ලොකු කොරගංට හිතනවා හෙම බොරු.


ඒ වුනාට දවසක් වැහි කාලේ මේ ගල් ගෙඩිය නියරත් පතුරු ගහං පත බෑවුනා අප්පොගේ ලියද්දට. උදේම කුඹුරට ගිය සුරා මේක දැකලා හොදටම කළකිරුනා. නියරේ මායිමට තිවුන ලකුණ. මම නැති කාලෙක අප්පො මයේ දරුවංට හයිරං පෙන්නලා ලියද්ද ලොකු කරගංනවා සිකුරුයි කියලා.

ඕක ගැන කල්පනාවෙං ඉන්දැද්දි අප්පොත් ආවා මෙතැනට. මිනිහට බෝම කේන්තිය. නියර හෑරිල්ල කෙසේ වෙතත් ලියද්දේ මීහරකෙක් ලැගලා වගේ පාඩුව මිනිහට. අප්පො ටිකක් නෙවේ හොදටම සැරෙං සුරාට මෙහෙම කියනවා,


 ‘සුරා උඔ මේ ගල අස්කරලා දීපං


හොදයි පස්සෙං පහු බලමු’ සුරා බෝම කෙටියෙං කිව්වා


ඒ කතාවට අප්පොට ඌරු ජුවල් නැංගා


පස්සෙං පහු නෙවේ දැංමම අස් කොර ගනිං කියලා අප්පො කිවුවා


මී හරකෙක් විතර මේ ගල අස්කොරන්ට එක්කො වෙඩි දාන්ට ඕනේ නැත්නං ගිනි ගහලා දිය දාංට ඕනේ.


සුරා හිතා ගත්තා මේක ඔතනම තිවුදෙං මං අස් කොරංනේ නැහැ කියලා.
අප්පො සුරාට ආයෙත් කියනවා


හෙනං උඔ හවහ වෙංට කලියෙං ගල අස් කොරාගංට ඕනේ ඕං


සුරා ඇට ගන්නේ නැතිව ඒ ගමන මෙහෙම කියව්වා,


ඔය ගල් ගෙඩිය පරම්පරා ගානක් මගේ ලියද්දේ නෙව තිවුනේ. මං කිවුවද අප්පොට ඒක අස් කරලා දෙංට කියලා. අනෙක ඕක මං තල්ලු කොරලා ඔතැනට ආවයෑ. ගලට ඕන හංදා ඇවිත් මිසක්. අප්පොම තියා ගංට. මොකද අප්පොගේ ලියද්දෙ තිවුනා කියලා..................... ගල් ගෙඩිය පිළුනු වෙන්නේ නෑ ආයුබොවං

නියර හෑරෙන්නෙත් නැහැ, අදටත් ආයිබොවං ගල් ගෙඩිය අප්පොගේ ලියද්දෙ තියනවා ඕං.




3 comments:

charmi said...

සුරා ගොයියා කාලෙකට පස්සෙ නොවැ. මොකද අමාරුවක් අසක්කුවක් වෙලා හෙම උන්නයි?
මොනවා උනත් ඔය පුරාජේරුව නැතුව වස කාංසියේ උන්නෙ ඕං.

විකී said...

Charmi කිසිම ඉසෙන් බහින රෝගයක්නෙවෙයි. පහුගිය කාලේ යාපනේ පැත්තේ තමයි ගෙවුනේ. ඒකයි වෙලාවක් නැතිවුනේ.

දුමී said...

හරිම අපූරුවට ලියවෙන ලියවිල්ලක් නෙවේ බොල මේක. හරිම අපූරුයි, හරිම අපූරුයි.