Saturday, September 18, 2010

හොරකමකට පාඩමක්


අපෙ ගම් පළාතේ ගම්මුංගෙ වතුවල වැට මායිමට හදංනේ එඬරු, වැටහිර, ඉංදියං රබර් වගේ නොවටිනා ගහකොල ඕං. මොකො එහෙම කොරංනේ. වටිනා කියන ගහක් හදාපංකො කොස්, පොල්, කරාඹු වගේ. පස්සෙං පහු ආරවුල් වෙනව නෙව, දෙපැත්ත; ගහට තංනහව ගහල.  ඒක නැති කොරංට උපායක් ඒක.

සුරා ගුරුන්නාංසෙගෙ වැටෙ මායිමක එක්කොනක් ගංසභා පාරක්. ඉතිං මේ ගං සභා පාරට මායිං වෙච්ච වැටේ වටින කියන ගහක් කොළක් හැදුනට, පස්සෙන් පහු ආරවුලකට මුල්වෙයි කියලා ඕං උගුල්ලලා දාංට ඕනැ වුනේ නැහැ.  වත්ත මැද තියෙන කොයි ගහකොළ ගැනත් බෝම විප‍රමෙං ඉංන සුරා ගුරුංනාන්සෙ මේ වැට මායිමේ ගහකොළ ගැනත් ඒ සැළකිල්ලම තිබුණා.

මේ වැටේ බෝම ජයට වැවිලා තිව්නා ගංසුරියා ගහක්. ගං සභා පාරපැත්තට යංතං ඇලවෙච්චි ඒකෙ ගොබිලක් අහස පලාන ගියා බඹ තුන, හතරක්ම උහට  එක කෙළිං. පුවක් ගහක් තරං මහතට. සුරාට මේ ගොබිල දැකලම ඒකේ ස්වරූපෙ මතක හිටලා ඕං.

ඔංන ඔය කාලේ තමයි මුල්ගම ගෙදර මැද්දු හරක් ගාල අළුත් කොළේ; වහළෙට යට ලී, පොල් අතු, පිදුරු හෙම අළුතෙංම  හෙවිල්ල ලා. මැද්දුවා ගුරුංනාංසෙගේ වත්ත කිට්ටුවම තමයි වසව්වේ. බෝම ජයට හදල තියන අළුත් ගාල දිහාවට දවසක් සුරාගෙ ඇහැ ගියේ ඒකෙ තිබුන අපූරුව හිංදමයි.


ඒත් ගාලේ වහලේ මුදුං ලීයෙනං අපුරුවක් නෙවෙයි බෝම හුරුවක් තමයි සුරාට දැණුනේ. ‘හ්...ම්..බෝම හුරු පුරුදු පාටයි.’ සුරා ඉතිං ඕක ගැන කල්පනාවෙං අත්‍ දෙකත් පස්සට කොරං වත්තට ගොහිං වැටේ ගංසූරියා ගහ බලව්වට පස්සෙං පහු තමයි තේරුනේ වෙලා තියෙන සංගදිය. යස අගෙං තිබ්බ සූරියා ගොබිල නෙව මද්දුවා මේ හොරෙං අරං ගොහිං  ගාලේ යට ලීයට දමල තියෙංනෙ කියලා සුරාට යමර කේන්තියි..

ඔංන සුරා ගුරුංනාංසෙ ඒ වුනත් වත්තෙ හෙම කරක් ගහලා හෙමිහිට පල්ලම් බහිනව ආපහු  මැද්දුවාගේ ගෙවල් දිහාවට. වයසට ගියා වුනාට මේ කාලේ ඉතිං හයි හක්තිය හෙම තිව්න කාලේ. මැද්දුවා හරක් ගාල පිටිපස්සේ බෝම සීරුවට වැඩ.

ගුරුංනාංසේ  ඉතිං ඒ ඉසව්වට ඇවිත් හිටං මද්දුවාට පේන දුරිං ඇණ තියා ගත්තා.දැං ඉතිං මැද්දුවාගේ අවසරයක් නැහැ උංදැ තනියෙං කතාව.

‘ඈ බං මැද්දුවෝ, උඹ දැක්කද මගේ වැටේ......... ගංසූරියා ගහේ තිව්න ගොබිල.’

මේක ඉතිං “හොරාගේ අම්මගෙං පේණ අහනවා” වගේ‍ වැඩක් විත්තිය සුරා දංනවා. මද්දුවා ගත් කටටම කියනවා,

‘මොන ගොබිලක්ද , ඔහෙ නෑ ගුරුංනාංසේ’ කියලා.

සුරා දැං මෙහෙම හිතනවා “වහලෙ තියෙන ගොබිල ගහේ තිව්න ගොබිලට සමයිනං; ගහෙත් ඒ ගොබිල නැත්තං, මම දන්නවා නෙව මූ ඒක කපං ඇවිත් විත්තිය. ආයේ ඉතිං මේකගෙං වහලේ ගලවලා ලීය ගංටයැ. අනෙක් අතට ඔය සතාට හෙවන දෙංට මං දානයක් දුන්න කියල හිතනවා. ඒත් ඉස්සරහටවත් මෙහෙව් හොරකං නොවෙංටනං මූට පාඩමක් කියලා දෙංට එපෑය.”  එහෙම හිතපු සුරා මැද්දුවාට ඇහෙංට මෙහෙම කියලා ඇණ තියං හිටපු තැනිං නැගිටලා අත් දෙකත් පිටිපස්සට ගැටගහගෙන යංට යනවා.

‘අනේ, විපරං කොරලා බලාපං මැද්දුවො; ඒක උඹෙ ගාලේ වහලෙටවත් යටවෙලාද කියලා. මට ආයේ ඕක දෙසැරක් බලංට වෙලාවක් නැහැ අප්පච්චී.’

No comments: