Wednesday, March 2, 2011

මද්දුවාගේ කුකුල් කේංතියේ හැටි

මතකද සුරා ගුරුංනාංසෙගෙ දෙවනි කොල්ලා මද්දුවා. උංගෙ අම්මගේ ගමෙංම මේකත් ගෙනාවා කියහල්ලකෝ ගෑනියක්. ඒ කියංනෙ කැතිගානාකදුරෙංම. උගෙ අයියංඩි ඒ කිව්වෙ ලොක්කා කාංතිව ගෙනාවෙත් ඒ ගමෙංමයි. දැං ඉතිං බාල කොලුවත් ඒ කිව්වෙ බාලෙත් උස්සං එයිද දංනෙ නෑ ඒ ගමෙංම එකියක්. ඒවා පස්සෙ බලමුකො. ඉතිං මේ මද්දුව කුකුල් කේංති කාරයා. ඉස්සර මේක ලොක්කත් එක්ක තිවුණ ආරෝව සුරා විසදව්ව හැටි මතකයි නෙව.  ඒත් මේකා මේ හොදට ඉංනවා, මේ තදවෙනවා.මේ තදවෙනවා, ආයෙ හොදයි.

කැතිගානාකදුරෙ පොඩි එතනගෙ දෝණියැන්දෑ මාලා. මේකා ඉතිං මුගෙ අම්මයේ, ඒ කියංනෙ ලමසගෙ මහ ගේ දිහාවේ, වත්ත පිටියට ගියෑයිං පස්සෙං පහු, ඇයි හොදයි කං පාපු එකියක් තමයි මාලා. හැමදාම දකින කුකුළයේ කරමලේත් සුදුයිලු නෙව. පුංචි සංදියේ හිටංම ඇස්සර ගැටිලා, සෑහෙන කාලයක් දැන ඇදිනිංකං තිවුණ හංදා, මේකට ඉතිං එක වහලක් යටට ආවත් මාලගේ වැඩි වෙනසක් දැණුනේ නෑ ඕං. ඒ හංදාම පොඩි පහේ ආරෝවල් හෙමත් ඇත්වෙච්චි. මොකෑ මද්දුවත් කුකුල් කේංති කාරයා නෙව. ඒකටම හරියංට මේ ගං පළාත්වල ආයිබොවං ඒ සංදියේ  ගෑණු, ගොළුබෙල්ලා කට්ට ඇතුළට රිංගංනහේ පොඩ්ඩ ඇත්තං ඒකිලාගෙ අම්මයෙ තුරුලට යංටම තමයි බලව්වේ. (ඒ සංදියේ බොලල්ලා, දැං ගෑණූ ‍ඒ අතිං හොදයි) ඒ හංදම ඇබිත්තං ආරෝවත් ලොකුවට අරං, කෙහෙවැලෙං අඹරලා හිටං හොම්බට දෙකක් මිනිහට කියලා ඇණ ගංන තැනට වැඩ සිද්ද කොරවා ගංනවා. ඉතිං මද්දුවාට කියලත් මේ යෝදී මාසෙකට හමාරකට සැරයක්වත් මේ ආසාව ඉස්ට කොරා ගත්තා. සුරා ගුරුංනාංසෙයි ලමසයි එක්කම, මහ ගේ ම තමයි මෙවුනුත් උංනෙ. ඉතිං මේ හඹේ සුරා ගොයියටත් ඇහුනා.

ඒ කාලේ නං මේ වගේ පුරස්නවලට සුරා බෝම අගේ ඇති උත්තර දුංනා නෙව. ඒත් මේ හඹේට හොට දාංට සුරා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ ලමසත් ඉතිං මේවයෙ වගක් ගත්තේ නෑ කියමුකෝ. ඒ උංදැයේ හැටි නෙව. අනික් අතට පොඩි සංදියේ ඉදංම මද්දුවා කුකුල් කේංති කාරයා වග ‍උංදැලත් දංනව. මේ නහුතෙට නගිනවා. ඩිංගෙං හොදයි. මේ හොදයි, ආයෙත් තහුතෙට නගිනවා. ඉතිං මේකගේ මැද්දට පැනල කොයි වළට යංට වෙයිද කවුද දංනෙ. ඊට මීට වැඩිය හොදයි නෙව කරබාං ඉංන එක.

ඔංන ඔය අතරෙ ඉතිං මාලා කැංදං ඇවිල්ලා හිටං පෝය හදවල් දෙක තුනක් ගතවුනාම මේකි ගැබ්බරත් වෙච්චි. දැං නං ඉතිං මාලට ආපහු කැතිගානාකදුරේ අම්මලාගේ දිහාවේ යංට තදිංම දොළදුක. කීප සැරයක්ම එහෙ යංට මද්දුවාට කිව්වත්; ‍ඒක උගේ මේ කණෙං රිංගලා අනික් කණෙං එළියට ගියා ඌටත් නොදැනීම.

ඉතිං මේ හංදාම මාලා, කොහොමිං හරි ලැවැංනක් අරං මද්දුවාට කියලා හොම්බට දෙකක් අන්නවා ගත්තා. ඒ කොරලා හිටං ඇදුං කඩමාලු ටිකයි, බඩගෙඩියයි උස්සං යංට ගියපි කැතිගානාකදුරේ. 

ඒ කොරලා හිටං, පොඩි එතනට; කදුළු පෙරාගෙන, එක දෙක කොරලා හිටං කියපි,

‘අපෙ අම්මා මද්දු හරියකට මාව බලංනේ නෑ. ඒ හංදා මං ගෙදර ආවා

කියලා හිටං.  පොඩි එතනත් ඉතිං වැලේ ගෙඩි වැලට බර නෑ කියලා හිටං මේකි තියං ඉංන බඩ ගෙඩිය ගැනවත් නොහිතා ඒකිව තියා ගත්තා කියමුකො.

ඕං ඉතිං දැං මද්දු තනියෙං රාත්තිරිය ගෙවනවා. හිතේ ජවෙං රාත්තිරියත් ගෙවුනා. දැං මුගේ කේංතිය අහවරයි. ඊට පස්සෙ රාත්තිරියේ නින්දක් නෑ මද්දුවට. ඇහැ ඇරුන හැටියෙම අත ගෑවෙංනෙ පැදුර. ඉතිං දෙවනි රාත්තිරියෙත් පැදුරෙ පලුවක්ම හිස්.  මුගෙ පපුව හෝස් ගානව; ඒ හිස් පළුව අත ගෑවුනම. ඉතිං මද්දු තීරණේ කොරා පහුවදා මාලා එක්කහු කොරාන එංට උදැහැනැක්කෙම කැතිගානාකදුරේ යංට. මොකෑ ගංටාරේ වදිද්දිවත් ගෙයිං පිටත් වෙංට ඕනේ කලු අප්පුගෙ අත්තමට යංට. මේ වැඩේ හංදා මාලත් කැටුං අවුදිං අත්තමට යංට වෙංනෙ හෝරාවක්වත් සුනංගු වෙලාම තමයි.
 
ඉතිං පහුවදා උදහැනැක්කෙම  මද්දු මාලගෙ ගෙදෙට්ට ගොඩ වෙච්චි. වෙනදටත් මාලා රොස් වෙලා හිටං කැතිගානාකදුරෙ ගියාම මද්දු කොරංනේ මේ විදිහම තමයි. හැබැයි වෙනදනං වේලකට නැංදම්මගෙ බතුත් කාල හිටං තමයි මාලවත් කැටුං ගෙදර එංනෙ.


මාලටත් බෝම සතුටුයි  මද්දු දැක්කම. ඉතිං මද්දුට නොපෙනෙංට වාං වෙලා අම්මට කිව්ව මද්දු ආපු වග. පොඩි එතනටත් සතුටුයි මද්දු ආව එකට.  ගෙදර උංදෑ බඩදරු උනාම සුවාමියත් එක්ක ඉංන එක නෙව වටිංනෙ. ඉතිං මද්දුත් මේකම තමා හිත හිතා උංනෙ. ඔය අතරේ පොඩි එතන මද්දු ඈදී ගෙන උංනු පිල්කඩ ළගට ආවා. අවුදිං හිටං බඩ දරු ගෑණියෙකුට සුවාමියා සලකන පිළිවෙල මද්දුට කියලා දෙංට තමයි හරි බරි ගැහුනේ.

ඒ අල්ල පනල්ලේ මද්දු කියනවා,

‘නැංදංමා මාලට එංට කියාපල්ලකො. මං මේ උදැහැනැක්කෙම ආවෙ මට අත්තමකට යංට තියෙනවා. ඒ හංදා වැඩි වෙලා හිටිංට විදිහක් නෑ.’

කියල. දැං මද්දුවාට අර පරණ සිද්ද වෙච්චි දේවල් ඔක්කම අමතකයි. ඒ උගෙ හැටිනේ.

ඒ උනාට මොකො මොන හදිස්සිය තිවුනා වුනත් පොඩි එතනට ඒව ඒම අමතක කොරලා හිටං මාලව පිටමං කොරංට බැහැ නෙව. මුං ඉංට ඕන පිළිවෙල කියල දීලා යවංටත් එපෑයෑ. හෙට අනිද්දට දරු මල්ලෝ එක්කං ජීවත් වෙංට ඉංන උං නෙව. ඒක හංදාම මද්දුට මාලා කැටුං යංට දෙංට කලියෙං පොඩි එතන මේ විදිහට කිව්ව.

‘ඈ මද්දු උඹත් එක්කං දීග ගියෑයිං පස්සෙං පහු මාලා ඔය කී පාරටද ආපිට ආවේ.’

මද්දුවට මේවයෙ වගක් තියෙන එකෙක් ඈ. ඒ හිංදා කියනවා.

‘ඒ ගැන ආයේ මොනවට කියනවද නැංදංමා. මාලාට එංට කියංට. මට සුනංගු වෙනවා.’

‘එහෙම කොහොමද, උඹ දංනවද මාලා පෙරේදා ගෙට ගොඩ වෙද්දිං මොනවද කියාන ආවේ කියලා හිටං, ඒ හංදා ඒකිව ඒම ඔනෑ විදිහට කැටුං යංට දෙංට බෑ.’

කියලා පොඩි එතන බෝම සැරෙං ඒ ගමන කිව්වා. මද්දුවත් කුකුල් කේංති කාරය නෙව. එහෙං අත්තමට යංට සුනංගු වෙනවා මෙතන වාද කොරව්වොත්. එහෙං නැංදංමා වුනත් ගෑණුංගෙං බැණුං අහංට. ඉතිං දැං මද්දුවගෙත් හීමාව පනිනවා පොඩි එතනගෙ මේ වැඩ හිංදා. මද්දුවත් ඇබිංදක් සුවරෙ වැඩි කොරලා ඇහුවා,

‘හා හොදයි කියාපං නැංදංමා, මොනවද මාලා කියං ආවේ උඹලට.’

උංදැත් හයියෙංම කියපි


‘කියං ආවෙද? උඹ ඒකිව හරියකට බලං නෑල්ලූ.

දැං මද්දුට හීමාව පැංනා. දැං මූට මතක් වෙංනෙ කුණු හංබ. ඒ ගමන මූ ඇස් දෙකත් ලොකු කොරලා, කට හීංකොරලා,  පොඩි එතනගේ ළගට බෙල්ල දික් කොරලා හිටං,

‘මට බලංට පුලුවං විදියට තමයි ඔය බලලා තියෙංනෙ. මං බලාපු හැටියට ඔය වෙලා තියන දේ මදෑ. උඹත් ඒනං.............. ඕකිගෙ ඇදුං ටික ගලවලා හිටං හොද.............ට බලා ගංනිං.’

ඒම කියලා මද්දුවා කලු අප්පුගේ අත්තමට ගියා.

Thursday, February 17, 2011

ලොකු අම්මගේ ජංම ගති

ආයිබොවංට, පහුවුන දාක වෙච්චි සංගදියක් කියංටයි ලක ලෑස්ති වෙංනෙ ඕං. මයෙ ලොකු අම්ම ඉංනෙ අපේ දිහාට වතු දෙකක් එපිටහිං වෙංට. උන්දැගෙ සරිරෙත් බෝම හයියයි ඇස්වහක් කටවහක් නැහැ හිතත් හයියයි. ඒ වුනත් මං ගෙවල් දිහාවෙ ඉංන වග දැන ගත්තොතිං හෙම ආයෙ දෙකක් නෑ උංදැට සිද්ද කොරවා ගංට ඕන කාරිය යංනෙ මයෙ පිටිං තමයි ඕං. ඉතිං උංදැගෙ ගෙදර උංනෙ උංදැයි ලොකු අප්පච්චියි දෙංනා විතරයි. කෙල්ලො දෙංනා දීග දීලා. කොල්ලා හමුදාවෙ. ඉතිං ඔංන බැරි වෙලා‍වත් උංදැගේ කටෙං,

‘පොඩි පුතේ මෙහාට වරෙං, මයෙ අප්පච්චී................’

කියලා කීවොතිං හෙම මම ලොකු අම්මලාගේ දිහාවෙ යංනෙ මොනව නමුත් සුමයක් උංදැට කොරංට බලාගෙනයි. පෙර ආත්මෙ ණයක්ද කොහෙද මයෙ හිතේ.

ඉතිං බොලව් මාත් ඉතිං එහෙම වෙලාවට විගහට ලොකු අම්මලායෙ දිහාවට ගොඩවෙනවා.

‘ඇයි ලොකු අම්මා, මොකක්ද කාරිනාව’

කියාගෙන හිටං. හැබැයි මම එහාට යංට සුනංගු වුනොතිං හෙම උංදෑ වීරිය අරං කෑ ගහංට තියා ගංනව ගමටම ඇහෙංට. ඒ උංදැගෙ හැටි මෙංන මේ විදිහෙ  උංදැටම උරුම ජංම ගති  නොයෙකුත් තිවුනා. ඉතිං මේ පහුංදාක වෙච්චි සංගදියත් උංදැගෙ මේ ජංම ගතියකට සංබංදයි. ඒක කියංට තනද්දියි මේ ටිකත් මතකෙට ආවේ. ඒවත් කියලම ඉංනංකො. කාලෙකට කලිං දාක අර මුලිං කීව සුවරෙං ලොකු අම්මා බිං කළුවර වැටෙන වෙලාවෙ මට කතා කොරලා හිට කිව්වා,

’මයෙ අප්පච්චී, ලොකු අප්පච්චිට සනීප මදි, මී දෙං හාතියල් වෙලේ ඉංනේ. ඒකා ඇරං අවුදිං වත්තෙං දිගෑලි කොරලා බැදහංකො’

කියලා හිටං. උංදැට වතු දෙකක් තිවුනා උඩහවත්තට ගියෝතිං මට ආයෙ එංට වෙංනෙ වල් ඌරංගෙ ඇගේ හැප්පි හැප්පි. ඒ හංදා මං කිව්වා,

‘හොදයි මං යංනං. හැබැයි මීදෙං බදිංනෙ පල්ල්‍වෙත්තේ ඔංන’

කියලා හිටං. ලොකු අම්මා කිව්වා,

‘අනේ මයෙ අප්පච්චි, එහෙමනං උඹ ගොහිං පල්ලෙවත්තෙං බැරිනං ඕනෑ වත්තකිං මීදෙං දිගෑලි කොරලා වරෙං.’

ඉතිං මං ඒම කොරලා රෑ බෝ වෙංට කලියෙං ගෙදර ආවා.

තව දවසක් ලොකු අම්ම මට කතා කොරා. ඒ කොරලා හිටං සල්ලිත් එක්ක බූලියක් දීලා මට කියපි ඒකෙං එකක් ලාබුතෙල් ගේංට කියලා හිටං. මම නිකමට කිව්වා,

‘මේකෙං එකක් ‍ලාබුතෙල් ගේංට තැංනෙකුඹුරටම යංට වෙයි’

කියලා හිටං. මොකෝ සම්පකාරේ තෙල් කඩේ තියෙංනෙ එහෙ හංදා. උංදා කීවා,

‘අනේ මයෙ අප්පච්චි, එහෙමනං උඹ ගොහිං තැංනෙකුඹුරෙං බැරිනං ඕනෑ කුඹුරකිං මේකට ලාබුතෙල් අරං වරෙං’

කියලා. මොකක් නමුත් උංදැට ඕනෑකරන කාරියක් කොරා ගංට ඔනෑ වුනාම මේ විදිහට අනික් එකා කියපු පදේ එක්ක ඒ පදේ කොට කොරලා හිටං වාක්කියක් හදලා කියන එක ලොකු අම්මට තිවුන තවත් ජංම ගතියක්.  ඒක නිරායාසෙංම ලොකු අම්මට කියවෙනවා. ඒකේ බරපතලක් ගංට දෙයක් නෑ බොලව්. ඒ හංදා තමයි මං මී දෙං බදිනවා ‘පල්ල්‍වෙත්තේ’ කියද්දිං උංදෑ කිව්වේ ‘පල්ලෙවත්තෙං බැරිනං ඕනෑ වත්තකිං’ කියලා. ඒත් එක්කම මං තෙල් ගේනවා ‘තැංනේකුඹුරෙං’ කියද්දිං උංදෑ කිව්වේ ‘තැංනෙකුඹුරෙං බැරිනං ඕනෑ කුඹුරකිං අරං වරෙං’ කියලා. ඉතිං ඒකෙං ලොකු අම්ම ඉඟි කොරව්වේ තැන කොතැන වුනත් උංදැගෙ කාරිය කෙරෙනවනං ඇති කියන එකනේ ආයිබොවං. ඉතිං ඒම කියද්දිං උංදැගෙ බැරිකම හංදා පොඩි සංවේගෙකුත් අවුදිං උංදැට ඔනෑ දේ කොරලා දෙංටම හිතෙනවා.

දැං ඉතිං කියංනංකො පහුංදාක වෙච්චි ‍සංගදිය. පහුංදාක රෑ මැද ලොකු අම්ම මං බුදිය ගංට ලක ලෑස්ති වෙනකොටම කෑ ගහනවා ඇහුනා අපේ වැට ලගටම අවුදිං.

‘පොඩි පුතේ, පොඩි පුතේ මෙහාට වරෙං මයෙ අප්පච්චී................

 කියලා.මොකැක්දෑ බොල මේ රාත්තිරියේ හදිස්සිය; මැදියමටත් කිට්ටු හංදා මාත් දිව්වා ලොකු අම්ම ළගට,

‘ඇයි, ඇයි ලොකු අම්මා...................’ කියාගෙන.

ලොකු අම්මගෙ එකම පුතා රාජකාරි කොරංනෙ හමුදාවෙ නෙව. බැලිංනං මේ රාත්තිරියේ ඒකා ඇවිත් නෙව හදිසියෙම ගෙදෙට්ට. තවත් උගෙ සගයො දෙංනෙකුත් එක්කං. මෙවුං  මොකද කොරංනේ මගිං කඩේකිංවත් මොකවත් බඩට දා ගංනේ නැතුව අවුදිං; ලොකු අම්මට කියලා රාත්තිරියෙ කංට මොකවත් තම්බංට කියලා හිටං. අම්මෙක්ට වාවනවා යෑ දරුවෙක් කුස ගින්දරේ ඉංන එක. ඉතිං මුංට කටට රහට කංට දෙංට මේ රාත්තිරියේ  ගෙයි හරියක මොකවත් නැති හංදා, මොනවා හරි ගෙංන ගංට මාව කඩේ යවංට තමයි ලොකු අම්ම මට කෑ ගාලා කතා කොරව්වේ. ළග පාත මොකෙක්වත් හිටියෙත් නෑ. ඒත් ලොකු අම්ම බෝම හෙමිං සුවරෙ පාත් කොරලා මයෙං අහනවා,

‘පොඩි පුතේ, මේ වෙලාවට කඩ ඇරලද අප්පච්චී................’ කියලා.
  
මම අහුවා ‘ඒ මොකෑ ලොකු අම්මා’ කියලා.

ඊට පස්සෙ පුතංඩියා සගයො දෙංනෙක් එක්කං ආව විත්තියත් බෝම ආඩංබරෙං මට කිව්ව. ආයිබොවං, මේ පැත්තේ  එහෙම මහ රාත්තිරිය වෙනකං කඩ ඇරං බලාන ඉංන තැං නෑ බොලව්. ඒ වුනාට ටවුමෙ කෙළවරට වෙංට ඉංන කරුපයියා මුදලාලි නිදා ගංනෙත් කඩේම හංදා මහ රෑ වුනත් දොරට තට්ටු කොරාම බඩුවක් මුට්ටුවක් ගංට පුළුවං. ඒක මතක් වුන හංදා මං ‍කිව්වා,

‘හැබැයි ලොකු අම්මා, කරුපයියගෙ දොරට තට්ටු කොරෝතිං නං කඩේ අරී. මිනිහා නිදා ගංනෙ කඩේමනේ’

ඒක ඇහුන ගමං ලොකු අම්මගේ අර කිව්ව ජංම ගතිය ඉබේටම මතුවෙච්චි. උංදැට ඉබේටම කියවෙච්චි,

‘අනේ මයෙ අප්පච්චි..............., එහෙමනං උඹ ගොහිං කරුපයියගෙං බැරිනං ඕනෑ ........යෙක්ගෙං සාඩිං ටිං එකක් අරං වරෙං’

Tuesday, February 1, 2011

ආලෙං මත්වුන බාලේ

වයසට නොගැලපෙන උංගේ ආස්සරේට වැටිලා අමාරුවේ වැටුන සුරාගේ බාල කොල්ල‍ ගැන මතකයි නෙව. අමතකනං තද කොරහල්ලා මෙතන.  ඉතිං මේ බාලේ  දැං ඉලංදාරියා වේගෙන එනවා. මේ ඉළංදාරි වයසට සමහර උං කීවේ “කොල්ලා බල්ල වෙන කාලේ” කියලයි ඕං. මේ කාලෙට ඉතිං කියංට තරමේ අසනීපයක් ඇති එකෙක් නෙවේනං හෙම, කොයි එකාගෙත් හිත්වල ආලවංතකං ලියලනවා. මෙහෙව් ඉළංදාරි ගොං ඉතිං පොල් පැල දිහාවට හැරෙංට ගංනවා නෙව.   ඕං ඉතිං දැං බාලෙටත් ගැහුව මදන විසේ. එ‍්ම කීවාම කාටත් තේරුං ගංට පාසුයි‍ නෙව.  වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිවම බාලේ, “හිත ගිය තැන මාළිගාව” කියලා හිටං තෝරා ගත්ත කියමුකො එගොඩ ගමෙං ඉස්කෝලෙට ආව කෙල්ලක්ව. ඒකිගෙ නම ලලිතා. දැං ඉතිං බාලේ මේ දැරිවිට පේංට ඉගි බිගි පානවා. ආලවට්ටං දානවා, මේ විදිහට ලීලේ පාංට ගත්තා තමංගෙ හිතේ තියෙන ලෙංගතුකම ඒ දැරිවිට පෙංනංට. ඒත් බොලව් මේ දැරිවි ඒම පාසුවෙං නම්ම ගංට පුළුවං එකියක් නෙවේ ඕං. බාලේ සෙනේ පානකොට මේ දැරිවි පෙනේ පාංට ගංනවා, ගස්සනවා, රවනවා, ඒ විතරක් යැ බණිංටත් ගත්තා. 


ඉතිං මේ දැරිවිගේ හිතේ තිව්ණේ කොහොමිං කොහොම හරි විභාග පාස් කොරලා හිටං අම්මා අප්පටත් නම්බුවක් වෙන විදිහේ රස්සාවක් හොයා ගංට විනා පරස්තාවම නෙවේ ඕං. දැං ඉතිං ඉස්කෝලෙයි, දෙවැටෙයි කංදෙයි, ලංදෙයි හැම තැනම ඉදං මේ දැරිවිගෙ හිත ගංට බාලේ කොරන විකාර මේකිට දැං වදයක් වෙච්චි. ඒ විතරක් යෑ ඉස්කෝලේ මේකි යන එන හැම තැනම මේකා වහං වෙවී යංට ගත්තා බොලව්. මුංගේ ඉස්කොලේ වැසිකිලිය තිව්නෙ ඈත ලංදක් දිහාවට වෙංට. ලලිතා දොට්ට පිළට ගියත් මූ ලංදෙ වහං වෙලා අහලිංම ඉදලා තියෙනවා නෙව හැබෑටම. සමහර දවස්වල කාටත් හොරෙං හවහට ආයෙත් ඉස්කෝලෙට අවුදිං ලලිතගෙ පුටුවේ වාඩි වෙලා ඉංනවා.

එක අතකිං ඉගනීම කඩාකප්පල්වෙනව. ඒ මදිවට මේකි බාලෙට වැඩි මනාපෙකුත් නෑ. අනික් අතට ලොකු ඉස්කෝලෙ මහත්තයට මේවා ආරංචි උනොත් හෙම ඉස්කෝලෙමුත් දොට්ට දානවා සිකුරුයි. මීට කලියෙං එහෙම දේවල් ලොකු ඉස්කොලෙ මහත්තැං කොරලා තියනවලු ඉස්සර උංන තැංවලදී.

ඒ හංදා ලලිතගේ හිතේ වැඩියෙංම බය තිව්නේ ඉස්කෝලෙං දොට්ට දායි කියල කීවොත් වරදක්ම නෑ. දැං ලලිතට ඕනෙ බාලෙගෙ කරදරෙං  ගැලවෙංට. ඒ හංද මේකි මේ පලහිලව්ව ඉස්කොලේ හාමිනේ කෙනෙකුට කියපි. නිකං නෙවේ අඬ අඬා.

‘අනේ ඉස්කොලේ හාමිනේ මේ කරදරේ හංදා මාව ලොකු ඉස්කෝලේ මහත්තයා ඉස්කොලෙමුත් දොට්ටදාවි’

කියලා හිටං අඬංට ගත්තා. ලලිතත් ඉතිං ඉස්කෝලේ හොද දැරිවියක්. ඉගන ගංටත් මනාපයි. ඒ හංදා ඉස්කෝලෙ හාමිනෙත් ලලිතට මනාපයි.

ඉතිං ඉස්කොලෙ හාමිනේ දැං මේක ලොකු ඉස්කොලෙ මහත්තැංගෙ කණේ නොවැටෙන විදිහට විසදංටයි ලක ලෑස්තිය. මොකෑ මේවා නියපොත්තෙං කඩලා දැම්මාම ලේසියි. පොරවෙං කොටංට තියා ගංනවට වඩා. දැං ඉතිං මේ උංදෑ බාලෙයි, ලලිතයි  ගෙංන ගත්තා ඉස්කෝලේ කවුරුවත් නැති ඉසව්වකට. බාලෙට ඉතිං සිද්ද වෙංට යන දේ හිතා ගංට පුළුවං වෙච්චි. බාලෙට දැං ලලිතා ගැන තරහත් එක්කලා. දැං ඉස්කෝලේ හාමිනේ නඩුව විසදනවා, දකුණු අතේ තඩි පොල්ලකුත් තියෙනවා. ලලිතා බයවෙලා ඉංනෙ ඉස්කොලෙං දොට්ට දායි කියලා නෙව. ඉස්කෝලේ හාමිනේ බාලෙගෙං අහනවා;

‘මේ ලලිතා උඹේ නොසංඩාල වැඩවලට බයවෙලා ඉංනෙ ඇයි කියලා උඹ දංනවද බූරුවා.’

කියලා හිටං. මූ අර සමාජ ආස්සරෙං උත්තර දෙන එකා නෙව.  මූට මතක් වුනේ එහෙම එකක්. බාලේ බෝම ගරු සරුව කියනවා,

‘එහෙමයි මම දංනවා ඉස්කොලේ හාමිනේ, ඒත් මගෙං ඒම දෙයක් දැංම සත්තකටම වෙංනෙ නෑ ලලිතා’

කියලා. මේ හතර බීරි කතාව ඉස්කොලේ හාමිනේටවත් ලලිතටවත් තේරුං ගියෙ නෑ නෙව. ඉස්කෝලේ හාමිනේට මේක දැනගංටත් ඕනේ. ඒ හංදා කියාපි මේ විදිහට,

‘කියාපිය බලංට උඹම, ඔය කීව කතාව තේරුං කොරලා ආයෙත් සැරයක්’ කියලා බෝම කෝපාවිස්ට වෙලා හිටං.

ආයෙ දෙකක් නෑ දකුණු අතේ තියෙන පොල්ලෙං කනවට වැඩිය හොදයි මම දංන දේ කියන එක කියලා හිතපු බාලේ කියනවා

‘ඉතිං මං ලලිතට කීවා යෑ දැංම දීගෙක යං කියලා හිටං

‍බාලේ දුංනු උත්තරෙං ඉස්කොලේ හාමිනේට කියාගංට බැරිතරං ලැජ්ජා හිතුනා. ඒත් එක්කම නහුතෙට තදවුනා. ඒ හිංදා තරහෙං පුපුර පුපුර වෙව්ලන ගමං ඉස්කෝලේ හාමිනේ වං අතෙං බාලෙගෙ දකුණු කණ ඇඹරුවා, බාලෙට මූත්තරා වෙන ගානට. මොකෑ, ඉස්කොලේ හාමිනේ හිතව්වේ ලලිතගේ ඉස්කෝලෙ ගමනත් මේකගෙ වැඩ හංදා නතර වෙයි කියලයි. ලලිතා බය වුනෙත් ඒක නිසාවෙං නෙව. මේකගේ තියෙන නොසංඩාලකමට මේකා හිතංනේ වෙන කුණුහරුපයක්. ඉස්කොලේ හාමිනේ බාලෙගෙං  බලාපොරොත්තු වුනේ මේවා ලොකු ඉස්කොලේ මහත්තැංගේ කණ වැටුනොතිං හෙම ලලිතා ඉස්කොලෙං දොට්ට දායි කියන එක. බාලේ දීපූ උත්තරෙං පස්සේ දැණුන ලැජ්ජාවත් එක්කලා ඉස්කොලේ හාමිනේ අංදුං කුංදුං වුනා, ඒ හිංදම කියංට ඕනෙ මොනවද කියලත් අමතක වෙච්චි. ඒත් එක්කම  හිතේ තිබ්බ දේ බාලෙට කිව්වට මොකෑ ඒක කියවුනේ සමහර වචන නැතුව  බාගෙට.


ඉතිං බාලේ දංනවායෑ ඒකෙ වගක්. ඉස්කෝලේ හාමිනේ වචන අඩුවෙං කියාපු පද ටික   ඊළගට  ඇහුනම බාලෙට මතක් වුනේ වෙන දෙයක්. අංදුං කුංදුං වෙච්චි ඉස්කොලේ හාමිනේට ඊළගට කියවුනේ මෙහෙමයි,

‘මම අහන්නේ බූරුවො, උඹ දංනවා නෙවෙද, ලලිතා දොට්ට දැම්මහම මොකද වෙංනෙ කියලා හිටං

මොකද මේ දැරිවිගෙ ඉගෙනීම කඩා කප්පල් වෙනවා නෙව. ඉස්කොලෙ හාමිනේ හිතංනෙ ඒක නෙව. 'ලලිතා ඉස්කෝලෙං දොට්ට දැම්මහම මොකද වෙංනෙ' කියලා හිටං අහංට හිතුවට ඉස්කොලෙ හාමිනේට කියවුනේ "ඉස්කෝලෙං" කියන පදේ නැතුවයි. 

මේක ඇහුණ ගමං බාලෙට කණ අඹරපු එක අමතක වුනා. තරු පෙනුනා. හීං දාඩිය දැම්මා. මොකද බොලල්ලා  මේකා හිතුවෙ ලලිතා දොට්ට දාංට ගියාම මේකා හොරෙං බලාන හිටපු එකත් ඉස්කොලෙ හාමිනේ දැනගෙනයි කියලා. දැං ඉතිං මේක ලොකු ඉස්කෝලේ මහත්තයා දැන ගත්තෝතිං හෙම විසුමක් වෙංනෙ නැතිවග බාලෙට හිතුනා. ඊට පස්සෙ සිද්ද වෙංට පුලුවං දේවල් බාලෙට සුටුස් ගාද්දිං මැවිලා පෙනුනා. ලලිතා දොට්ට දානවා බැලුව එක දැන ගත්තෝතිං බාලේ ඉස්කෝලෙං දොට්ටදාවි කියලා ඌට හිතුනා. මේක හැමෝම දැනගෙන වහකංට වෙයි කියලා බාලෙගෙ ඉහමොළ රත් වුනා. ඔංන ඔය විදිහට ඉස්කෝලෙ හාමිනේ පද අඩුවෙං කියාපු දේට  කලබල වුනු බාලේ ඉස්කෝලෙ හාමිනේ ඉස්සරහ වැද වැටිලා, බැගෑපත් වෙලා මෙහෙම කිව්වා.


'ලලිතා දොට්ට දාද්දිං මම ඒ අහලිං වහංවෙලා උංන බව හැබෑව. ඒත් මං මොනවාවත්ම දැක්කෙ නෑ ඉස්කෝලෙ හාමිනේ' 

මේ නොසංඩාලයා කියන මොකකවත් අගක් මුලක් නොදංන ඉස්කොලෙ හාමිනේ නඩු විසදිල්ල පැත්තක තියලා, බාලෙට අතේ තිව්න පොල්ලෙං නෙලුවා පිට මැදටම.


ප ලි -  මුල් ලිපිය පළකර පැයකට පමණ පසු සංශෝධනයකට ලක්කරන ලදී.

Sunday, January 16, 2011

වැහි අස්සේ පුච්චපු රොටිය

කොහොම නමුත් මේ වැහි අස්සේ ගේ අස්සටම වෙලා ඉදලා හිටං, රාජකාරියකට යංට‍ ලක ලෑස්ති වෙද්දිං සිද්ද වෙච්චි දේකිංම රසකතා පටං ගත්තනං හොදා කියලා හිතුනා ඕං.

පරිසරේ මොක වුනත් අපේ ගෙදර උංදැ බලංනේ උංදැගේ රාජකාරි ටික සීරුවට කොරලා හිටං එකිං එක නිදහස් වෙංටයි. ඉතිං බොලව් ඔයිං උංදැගේ එක රාජකාරියක් තමයි රෙදි හේදිල්ල. දවසේ ඇඳල දැම්ම සරම, කමිසේ, කළිසම, බැනියම මේ කෝකත් ඉක්මනිං හෝදලා වේළලා හිටං අල්මාරියේ දාංට හරි, බෝල කූඩුවේ එල්ලංට හරි තියෙනවනං උංදෑ නිදහස්. මේ වැහි අස්සෙත් ඉතිං උංදෑ රෙදි හේදිල්ල අතනොහැර කොරාය කියමුකො. දංනවා නෙව ඒ වහිංට ගත්තු ගමන තවම ඉර දෙයියො දැක්කෙ නෑ නෙව හරියකට. මට හිතෙන විදිහට ‘නව ඉර බැලීම’ කියලා චාරිත්තරයක් කොරංටත් වේවිද මංදා. එහෙව් එකේ මේ හෝදපු එක රෙදි කෑල්ලක්වත් වේල ගංට ලැබුනේ නෑ හරියකට තාමත්. ඉතිං රාජකාරියකට එලිපෙහෙලියකට ඇදං යංට ඇදුමක් ඕනම නෙව. මුල් දින කීපෙනං කොහොමිං කොහොම හරි අටව ගත්ත. පස්සෙං පහු මේ විදුලි බිලත් වැඩිවෙනවා කියන අල්ල පනල්ලේ වුනත් ඉස්තිරික්කෙට පිං සිද්ද වෙංට තමයි රාජකාරියට ගියේ ඕං. ඔංන ඉතිං මේ වැඩි ඈතක නෙවේ ගිය සවුදා උදේ රාජකාරියට යංටෙයි කියලා හිටං, ඇඳං යංට රාත්තිරියේ මැදලා තියාපු ඇඳුං කෑලි ටික ගත්තා කියමුකො.

කොයි තරං මිළෙං වැඩි උනත් රටේ ලෝකේ එවුංට ඇඳං යද්දිං නොපෙනුනත්, පුරුස පාර්සවේට අත්තියාවස්ය තුං හුලස් ඇදුමක් තියෙනවා නෙව සරමට හරි, කලිසමට නැත්තං, සරම ඇදලා හිටං රිසව් එකටත් යටිං අදින. මගේ අංන ඒවා ඇදං යංට බැරි තරමටම තෙත බරියං වෙලා. ඉතිං අපෙ දිහා ඔය වොසිං මැසිං හෙම නෑ නෙව. වේලා ගංට පුලුවං විදිහේ. දැං ඉතිං විදුලි මීටරේ දිහාව නොබලා මේ තුං හුලස් ඇදුම ඉස්තිරික්කෙංම වේලා ගංට තමයි මම වළි කංනේ. මේක නැතුව පාරේ යනවා බොරු පිරිමියෙක් වුනාම. 

අනේ බොලව්  ඒ පුංචි ඇඳුං කෑල්ල උඩිං ඉස්තිරික්කේ ති‍යනකොට චිරී....ස් කියලා අඩංට ගංනවා, දුං දදා.  ටික වෙලාවක් ඒ සද්දේ ආවා ඉතිං දැං ඒ සද්දේ අහවරයි. ඒත් තෙත බරියං ගතිය එහෙමම හිංදා දැං මං ඒක තවත් මදිනවා දුං දම දමා ඕං. ඒක ඒම දැං සිද්ද වෙනවා.

අපේ ‘කොයිං කුඩම්මා’ බෝම හිත හොද උංදෑ. පාරේ අහළිං යනවනං හෙම අපෙ ගෙදෙට්ටත් ගොඩවෙනවාම තමයි. අපෙ අම්මට,

‘අපෙ අක්කා තේ ඇබිංදක් බොමු ඈ’

කියාගෙන. උංදෑ ඉතිං මොනවා නමුත් කටෙං බඩට යන දෙයක් කියං තමයි ගෙට ගොඩවෙංනේ ඕං. ගෙදෙට්ට ගොඩවෙන කෙනෙකුට වතුර උගුරක් හරි දෙන එක අපිටත් ‘ලොකු තට්ටක්’ හංදා ඒවා ඉල්ලන විදිහටම සිද්ද වෙනවා. සමහර දාක කරෝල කෑල්ලක් තෙල් දාන දවසට මුංදෑ ගෙට ගොඩ වෙංනේ,

‘අපෙ අක්කා කරෝල පුසුඹ අපේ ගේ දිහාවටම ආව. පාං කෑල්ලක් තිබ්බනං හෙම ගෙදෙට්ට වෙලා පුසුඹෙංම කංට පුළුවං ගානයි.’

කියාගෙන.  එදාට ඉතිං කොයිං කුඩංමට අපෙ අම්ම කරෝල එක්ක බත් දෙනවා. එහෙම කීවාම අනිවාරියෙං උංදැට ඒ පංගුව ලැබෙනවාය කියන විස්සාසේ දැං උංදැගේ හිතේ පැලපදියං වෙලා.

ඉතිං බොලව් මේ කියන දවසෙත් උංදෑ ගෙට ගොඩ වෙච්චි. මම කාමරේ වහංවෙලා ‍අර තුං හුලස් ඇදුම මදින ගමං තමයි උංනේ. දැං ඒකේ දුම ගේ පුරාම යනවායි කියමුකෝ. මට ඇහුනා කොයිං කුඩංමා මේම කියාගෙන ගෙට ගොඩ වෙනවා.

‘අපෙ අක්......කා රොටී පුච්චන පුසුම්....බ අ අ අ.  අදනං අපෙ අක්කගෙං රොටියක් කාලා හිටං කහට උගුරක් බොංට පුලුවං මේ නොකල් හීතල අන්තරස්දාන වෙංටම’ කියාගෙන.

‘මොන රොටීද බං’

අපෙ අම්ම අහනවා මට ඇහුනා.එතකොට කොයිං කුඩංමා කියනවා

‘ඇයි ඔය එංනෙ පුසුඹ’ කියලා හිටං.

නොකල් හීතල අන්තරස්දාන වෙංට කොයිං කුඩම්මට කහට කෝප්පයක් දෙන එකනම් අහවල් දෙයක් යෑ. ඒත් රොටිය වගේ කරවෙච්ච මගේ තුං හුලස් ඇඳුම උංදැට දීලා කොහොමද ආයුබොවං.

හැබෑටම ඊට පස්සේ අපෙ අම්ම මොනව කොරා ගත්තද මං දංනෙත් නෑ. අහංට ගියෙත් නෑ.  

Saturday, January 15, 2011

වැහි අස්සේ මොන රස කතාද එක අතකට




වැස්ස වළාහක දෙයියංට මොන වරදක් වුනාටද මංදා හැබෑවටම මෙහෙව් වැස්සක්. ඉස්සරනං මේ කාලෙ හීතල දුරුත්ත. රෑ එළිවෙනකං වකුටුවෙලා පටලං වැඩක් පළක් කොරලා නිදාගෙන ඉදලා හිටං දවල්ට හේනේ කුඹුරෙ වැඩක් පොළක් කොරනවා බෝම අගේට. ඊයේ වෙනකම්ම තිවුන හීතලේ හැටියට දවල්ටත් පටලං ගුළි වෙලා නිදා ගංටමයි හිතෙංනේ වැඩක් පොළක් නොකරම. ‍මේ දැණුත් මේ පළාතේ ගහ කොළ නිකං ‘නයා මැරුණු අහිකුංටකයෝ’ ගානයි. බුම්ම ගත්තු ගමං. ඒ මදිවට මන්දාරම.

පහු ගිය දවස්වල සොබාදර්මේ කණපිට හැරුණ අංදම හංදා ‍බොලොග් ලියනවා තියා කියවංටවත් බැරි වුනා නෙව. ඒ කොහොම වුනත් ‘රසකතා’ කියලා හංවඩුවක් දානවා කියලා හිටං පෝස්ටුවක් දැම්මට මේ  වෙලා තියෙන සංගදිය එක්කං මොන රස කතාද කියලා හිතුනා හැබෑටම. ඒක හිංදම ‘මූණ එක්ක තරහ අවුදිං නාසේ කපා ගන්නවා’ කියැංනැහේ මකලා දැම්ම ඒ පොස්ටුව. ඒ ගැන කියලා හිටං ලාංකීය සිතුවිලි ඇත්තංටනං මං පයිංඩෙකුත් තිබ්බා.

ඒත් බොලව් මේ පැත්තේ තවම වරුසාව. මංදාරම.

ගේ දොර කැඩිච්ච විනාශ වෙච්චි, ජීවිතේ අහිමි වුනු, අවදානමට අහු වෙච්චි මිනිසු අස්සේ එක අතකට මොන රස කතාද නොහිතෙනවනං, මං මේ පොළොවේ එකෙක් වෙංට බැහැ නෙව. ඒ කොහොම වුනත් උංදැලා කීප දෙනෙකුට හරි සහනයක් වෙංට අබ ඇටයක් හරි තරමට හරි ගැමියත් අනුමෝදං වුනා. ඉස්සරහටත් වෙංටයි සූජානම.

මං හිතංනේ ආපදා තත්වෙ හංදා ලියන එක පරක්කු වෙනවයි කිව්ව එකට කොමෙන්තු දාපු සිතුවිලි මංඩිය, නවං මාවත, පුතාට හෙම උත්තරේකුත් ලැබෙංට ඇති මේ පෝස්ටුවෙං.

ඇතිවුන ආපදා තත්වේ තවම පහවෙලානං නැහැ. ඒවටත් කොහොම හරි මූන‍ දෙංට හිත දැඩි කොර ගත්තා. මේ තත්වෙට මූණපාපු  අපෙ ඇත්තංට ඉස්සරහටත් මොනවා හරි උදව්වක් කොරංටත් එක්කම. මං හිතංනෙ බොලොග් කරුවො හැමෝටම එකතුවෙලා මෙහෙව් ආපදාවංවලදී මිනිස්සු වෙනුවෙං මැදිහත් වෙංට කිරමයක් තියෙනවනං ඒකත් බෝම සද් කිරියාවක් වෙයි ආයේ සැකයක් නෑ ආයිබොවං.

ඒ කොහොම වුනත් හෙට උදේම කියවංට පුලුවං වෙයි ‘රසකතා’ කියන අලුත් හංවඩුව මේ වැහි අස්සේ සිද්දවුන කතාවකිංම ඕං.

Wednesday, January 12, 2011

මහනුවර ඇතුළුව දිවයින පුරා ඇතිව ඇති හදිසි ආපදා තත්වය යථා තත්වයට පැමිණෙන තෙක් ගැමියා තාවකාලිකව යාවත් කාලීන නොවන බව සළකන්න.

Saturday, January 8, 2011

සුරාට බඩේ රුජාවක්. ලමසට පුරස්නයක්

ඔංන ආයුබොවං පපුවේ තිවුන හතිය ඇරෙංට වෙනත් අමාරුවක් නොතිබ්බ අපේ සුරා ගුරුංනාංසෙට එක දවසක් මද්දහනේ බඩේ රුජාවක් හැදිලා හිටං කෑ ගහංට තියා ගත්ත. මේ අල්ලපනල්ලේ ලමසගේ කෑගැහිල්ල ඇහිලා හිටං වටේ පිටේ උං සුරාලයේ ගේ දිහාවට හනි හනිකට එංට තියාගත්ත. මේම වෙලාවට ගමේ උං එක්කාසු උනාම කරංට ඕනෑ දේ අහ අහ ඉංනෙ නෑ බොලව්.

ඉතිං කට්ටියම එකතුවෙලා හිටං ගෙදර තිබ්බ හාංසි පුටුවට ලී දඩු දෙකක් ගැට ගැහුවා. සුරා ඒ හාංසි පුටුවේ වාඩි කරවලා හිටං, හයි හක්තිය තියෙන පිරිමි මේ හදා ගත්තු දෝළාව කරගහං සුරා ගුරුංනාංසේ උස්සං ගියා වෙද ගෙදෙට්ට. වෙද රාළත් අපරාදේ කියංට බෑ ඕං සරම ඇඳ ඇඳ මිදුලටම දුවං ඇවිත් සුරා ගුරුංනාංසෙගේ තත්තේ අර ‍හාංසි පුටුවෙම තියාන බෝම හොදට බැලුවා ඕං. ඊට පස්සෙං පහු නාඩි අල්ලලා බැලුවා, ඇස් යටබැලුවා. වෙද රාළට තේරුනා මහා ලොකු අමාරුවක් නැති වග. ඊට පස්සෙං පහු  ගේ ඇතුලෙං කලුපාට බෙහෙත්  ගුළියක් ගෙනත් ගිලිංට දුංනා. ඒ කොරලා හිටං කසාය නියම කොරා.

ඉතිං මේ අල්ල පනල්ලේ ලමසත් සුරා පස්සෙංම ඇවිත් වෙද ගෙදරටම. ලමසට තමයි ඉතිං සුරාට වෙච්ච අසනීපෙ අමාරුව තදිංම දැණුනේ. අනේ ඉතිං උංදැට මැවි මැවී පේනවා සුරාගේ කියුං කෙරුං. මොන හතිය තිවුනත් වත්තෙ කුඹුරේ කාරිය කොරාන හරක  බානේ වැඩත් කොරාගෙන බෝම නිදහස්ව හිටපු මිනිහෙක් නෙව. ලමසගේ වැඩවලට සුවල්ප ඉස්පාසුවක් යෑ උන්දැගේ සුවාමියාගෙං ලැබුනේ. බැරි වෙලාවත් සුරා ඔත්පල වුනෝතිං ලමසට ඒ කාරියයි, මේ කාරියයි ඔක්කොම එකතුවෙනවා නෙව. මේ වෙද්දිං බාල කොල්ලා වෙච්ච බාලෙයි, පොඩි කෙල්ල වුන පොඩි යි ඇර අනෙක් උං පවුල් පංසල් වෙලා. උංගෙයි, දරුවංගෙයි වැඩත් බාගයක්ම තිවුනේ ලමසගේ කර පිට.   අනේ ඉතිං සුරා මේවට බැරි බැරි ගාතේ හරි උදව් පදව් වුනා නෙව.

දැං ඉතිං වෙද මහත්තයා ලෙඩේ අදුනං උවමනා කරුණු කාරණා පැහැදිලි කොරනවා ලමසට.

“ඔය එහෙ මෙහෙ තනි පංගලමේ යංට එංට දෙංට එපා. මහංසි වෙංට දෙංට එපා. දැං පරිස්සං කොරා ගනිල්ලා. කියාපු විදිහට කසාය ටික තම්බලා දීපල්ලා. මේ කසාය ටික ඉවර වුනාම ගුණ වෙයි. මහංසි වෙංට දෙංට එපා.”

ඉතිං මේ වෙද්දිං සුරා අර දෝලාවෙම ගෙදර උස්සං යනවා.

ලමසා වෙද රාළ ළගට වෙලා කල්පනා කොරනවා ‘කංදක් තරං වැඩ දැං ඉතිං තමංගෙ පිට තමයි’ කියලා. ඒ කරලා හිටං තමංගේ හිතේ තියෙන පුරස්න බෝම යටහත් පාත්ව  වෙද රාළගෙං අහනවා. ඒව එකිං එකට උත්තර දුංනු වෙද රාළ කියනවා

“හා  ඉතිං බොලාට දැං තේරුනා නෙව‚ කසාය ඉවර වුනාම වරෙල්ලා මාත් දෙදොහකිං විතර එංඤං. දැං ඉතිං පළයල්ලා.”

ලමසත් දැං බෝම වයසයි නෙව.  උංදැට හිතෙංනෙම සුවාමියා නැතුව වැඩපොළ කොහොමදෑ කොරාගංනේ කියලා. අනික් අතට මෙච්චර කාලෙකට ජීවිතේ තමංගෙ අහලිංම උංනු මනුස්සයා නෙව. ඒ මදිවට වෙද රාළම කියනවා නෙව සුරාට මහංසි වෙංට ‍දෙංටත් එපාය  කියලා හිටං. ඒත් ලමසට හිතෙනවා ‘මේ බොංට දෙන කසායෙං සුවවෙනවනං, ඊට පස්සෙ සුරා වැඩක්පලක් කොරාන පුරුදු විදිහටම උන්නාම මක් වෙනවද?’ කියලා. ඒ හිංදා ලමසා වෙද රාළගෙං උත්තරයක් බලාපොරොත්තුවෙං බෝම යටහත් පහත්ව හිතේ තියෙන ලොකුම පුරස්නේ අහනවා,

“වෙද මහත්තයො, මේ මිනිහගෙං ආයේ............වැඩක් පොළක් කරවා ගංට බැරිවෙයිද? හැබෑටම